වසර අටක නිහඬතාව බිඳ දැමීම
2018 වසරේ කේප්ටවුන්හිදී ලෝක ක්‍රිකට් පිටිය කැළඹූ 'වැලි කඩදාසි' පන්දු පළුදු කිරීමේ සිදුවීම පිළිබඳව උස්මාන් කවාජා සිය 'සබර්' (Sabr) කෘතියෙන් කළ අනාවරණය සම්පූර්ණයෙන්ම සත්‍ය බව හිටපු උපනායක ඩේවිඩ් වෝනර් තහවුරු කරයි.
තමන් වෙත පනවා තිබූ නායකත්ව තහනම ඇතුළු දැඩි දඬුවම් හමුවේ වසර අටක් නිහඬව සිටි වෝනර්, ඉන්ස්ටග්‍රෑම් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ එවකට ක්‍රිකට් ඕස්ට්‍රේලියා ආයතනය පැවැත්වූ පරීක්ෂණය අතිශය අසාර්ථක හා දෝෂ සහගත ක්‍රියාවලියක් බවයි.
ඇසින් දුටු සාක්ෂි මඟහැරීම
එවක ක්රීඩාගාරයේදී කැමරන් බැන්ක්‍රොෆ්ට් අසලම අසුන්ගෙන සිටි උස්මාන් කවාජාගෙන් පරීක්ෂණ නිලධාරීන් කිසිදු ප්‍රශ්න කිරීමක් සිදු නොකිරීම වෝනර්ගේ දැඩි මවිතයට හේතු වී තිබේ.
ප්‍රධාන සාක්ෂිකරුවන් පසෙක තබා කළ එම පරීක්ෂණයේ විනිවිදභාවය ප්‍රශ්න කරන ඔහු, මෙය පැරණි තුවාල පෑරීමක් නොව අදාළ ආයතනයෙන් සත්‍යය හා වගවීම බලාපොරොත්තු වීමක් බව අවධාරණය කරයි.
දියණියන්ට සත්‍ය කියාදුන් පියෙකුගේ අත්දැකීම
කවාජාගේ පොත එළිදැක්වීමෙන් පසුව ප්‍රකාශයක් කිරීමට දින කිහිපයක් ප්‍රමාද වූයේ, එදා රූපවාහිනී කැමරා ඉදිරියේ හඬාවැටෙමින් මාධ්‍ය හමුවට මුහුණ දුන් ආකාරය පිළිබඳව සිය 12 හැවිරිදි දියණිය අයිවි ඇතුළු දරුවන්ට කරුණු පැහැදිලි කිරීමට සිදුවූ නිසා බව ඔහු සඳහන් කරයි.
බොරු කවදා හෝ හෙළිවන බැවින් ජීවිතයේ ඕනෑම මොහොතක සත්‍යය වෙනුවෙන් පෙනී සිටින ලෙස තමන් දියණියන්ට උපදෙස් දුන් බව හිටපු ආරම්භක පිතිකරු හැඟීම්බරව ප්‍රකාශ කර තිබේ.
චෝදනා හමුවේ නිහඬ වූ ක්‍රිකට් බලධාරීන්
එම මතභේදාත්මක සිදුවීම මුල්කරගෙන තරග තහනමකට ලක්වූ ක්‍රීඩකයන් තිදෙනා අතුරින් ප්‍රසිද්ධියේ කවාජාට පක්ෂව අදහස් පළකළ පළමු ක්‍රීඩකයා බවට ඩේවිඩ් වෝනර් පත්ව සිටියි.
මෙම ආන්දෝලනාත්මක හෙළිදරව්ව සම්බන්ධයෙන් එවක නායක ස්ටීව් ස්මිත්, කැමරන් බැන්ක්‍රොෆ්ට් හෝ ක්‍රිකට් ඕස්ට්‍රේලියා ආයතනය මෙතෙක් කිසිදු නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.
වැඩිදුර තොරතුරු ඇතුළත් සබැඳිය:
ABC News වාර්තාව හා ඩේවිඩ් වෝනර්ගේ සම්පූර්ණ ප්‍රකාශය
The Leader පූර්ව විග්‍රහය: වසර අටක වැලි කඩදාසි රහස යළි පුපුරා යයි



