2026 සාෆ් කුසලාන පාපන්දු ශූරතාවලියේ ශ්‍රී ලංකාවේ ඉරණම තීරණය වන තරගය බංග්ලාදේශය ට එරෙහිව හෙට ධකා අගනුවරදී පැවැත්වෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් පළමු තරගය ගෝල 2-2ක් ලෙස සම කර ගැනීමට භූතානය සමත් වීමත් සමග බංග්ලාදේශය දැනටමත් තරගාවලියේ අවසන් පූර්ව වටයේ ස්ථානයක් සුරක්ෂිත කරගෙන සිටිනවා.
ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට පිවිසීමට නම් හෙට (11) තරගය ජය ගත යුතු ම වනවා. පරාජයක් හෝ ජය-පැරදුමින් තොර අවසානයකදී ශ්‍රී ලංකාව තරගාවලියෙන් ඉවතට විසිවීමට ඉඩ තිබෙනවා.
බංග්ලාදේශය ට ගෝල 1-0කින් පරාජය වූ භූතාන කණ්ඩායම ශ්‍රී ලංකාව සමග තරගය ජය පැරදුමින් තොරව අවසන් කර ගැනීමත් සමග ඔවුන්ගේ අවසන්-පූර්ව බලාපොරොත්තු ප්‍රාණවත් වී තිබෙනවා. ශ්‍රී ලංකා - බංග්ලාදේශ තරගයේ ප්‍රතිඵලය මත භූතානයේ ඉරණම රැඳී තිබෙන්නේ ශ්‍රී ලංකාව හා භූතානය යන කණ්ඩායම් දෙක ම ලකුණක් බැගින් ලබා ගෙන සම තත්ත්වයේ සිටින බැවින්.
අබ්දුල්ලා අල්මුටයිරිගේ ශ්‍රී ලංකා කණ්ඩායම හෙට තරගය ජයග්‍රහණය කිරීමේ දැඩි අදිටනින් පසුවනවා. දේශීය ක්‍රීඩකයින් සමග යුරෝපීය හා ඔ්ෂනියා ඩයස්පෝරාවක මිශ්‍රණයක් කෙරෙහි විශ්වාසය තබා සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ අපේක්ෂාවන් වඩාත් රැඳී තිබෙන්නේ ඔලිවර් කෙලාට් සහ වසීම් රසීක්ගේ ආක්‍රමණශීලී ක්‍රීඩාව මතයි.
දැනටමත් අවසන් පූර්ව වටයට පිවිස සිටීම මෙන්ම සත්කාරක රට ලෙසින් තම භූමියේ වාසියෙන් ද ශක්තිමත්ව සිටින බංග්ලාදේශ කණ්ඩායම විශ්වාසය අතින් ඉහළ ස්ථානයක සිටිනවා. ශ්‍රී ලංකාව වඩාත් පීඩනයට හසුව සිටින කණ්ඩායමයි. බංග්ලාදේශයේ ක්‍රීඩාව පිටිය මැද ස්ථාවරත්වය හා ප්‍රතිප්‍රහාරයන් කේන්ද්‍ර කර ගනිමින් ගොඩනැගී තිබෙනවා.
විනිසුරු තීරණ සමග ගැටුම
ශ්‍රී ලංකාව ට ඉතාම තීරණාත්මක හෙට තරගය පැවැත්වෙන්නේ භූතානය සමග පැවති තරගයේ ශ්‍රී ලංකාව ට අවාසි වන අයුරින් විනිසුරු දුන් අසාධාරණ තීන්දුවලින් කලකිරීමට පත් අල්මුටයිරි, “අවසාන තරගය බංග්ලාදේශය හා ඉන්දියාවට ඔන්න ඔහේ දීලා දාන්න” යනුවෙන් ප්‍රකාශ කර තිබෙන පසුබිමකයි.
භූතානය සමග පැවති තරගයේදී විනිසුරුවරයා ලබා දුන් වැරදි තීරණ දැඩි විවේචනයට ලක් කළ ශ්‍රී ලංකා පාපන්දු ප්‍රධාන පුහුණුකරුවා, මෙවැනි තත්ත්වයක් යටතේ සත්කාරක බංග්ලාදේශය ට එරෙහි තරගයේදී තම කණ්ඩායමට අපේක්ෂා කළ හැක්කේ කුමන ආකාරයේ තරග විනිශ්චයකටදැයි ප්‍රශ්න කරයි.
වාණිජමය වාසියට ප්‍රමුඛතාව දෙන්නේ නම් දකුණු ආසියානු පාපන්දු සම්මේලනය හුදෙක්ම බංග්ලාදේශ - ඉන්දියා අවසාන තරගයක් පැවැත්විය යුතු බවට යෝජනා කරන අල්මුටයිරි, තරගාවලියේ මූලික වටයේ සිට VAR තාක්ෂණය යොදා ගත යුතු බවට තරයේ කියා සිටිනවා.



