ආක්‍රමණය, ආරක්ෂාව හා පාස් කිරීම යන සියලු අංගවලින් බංග්ලාදේශය ප්‍රදර්ශනය කළ ඉතා ඉහළ මට්ටමේ පාපන්දු ක්‍රීඩාවක් හමුවේ අන්දමන්ද වූ ශ්‍රී ලංකාව ගෝල 4-0ක පරාජයක් ලබමින් සාෆ් කුසලාන පාපන්දු ශූරතාවලියෙන් ඊයේ ඉවතට විසිවුණා.

මේ පරාජයත් සමග, ශ්‍රී ලංකාව ට එරෙහි පෙර තරගය ජය පැරදුමින් තොරව අවසන් කර ගත් භූතානය ‘ඒ’ කොටසෙන් ඉදිරියට පැමිණ බංග්ලාදේශය සමග අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත් අතර ‘බී’ කොටසෙන් ඉන්දියාව හා පාකිස්තානය අවසන් පූර්ව වටයට පිවිසියා.
මේ අනුව, නොවැම්බර් 14 වැනිදා අවසන් පූර්ව තරගය පැවැත්වෙන්නේ බංග්ලාදේශය හා පාකිස්තාන අතරයි. අවසාන තරගයේ අනෙක් ස්ථානය වෙනුවෙන් ගැටෙන්නේ ඉන්දියාව හා භූතානය යි.
ඊයේ පැවති අනෙක් තරගයෙන් ඉන්දියාව ගෝල 1-0කින් මාල දිවයින් පිල පරාජය කළා.
ආක්‍රමණශිලී ක්‍රිඩා විලාශයක්

බංග්ලාදේශයේ ධකා අගනුවර ජාතික ක්‍රීඩාංගණයේ 18,000කට වැඩි ක්‍රීඩා ලෝලී ජනතාවක් ඉදිරියේ පැවති තරගය ආරම්භයේ සිටම ශ්‍රී ලංකා ආරක්ෂක වළල්ල බිඳ දැමීමට බංග්ලාදේශය සමත් වුණා.
මෑත අතීතයේ දස්කම් පෑ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට ඊයේ රාත්‍රිය ඔවුන්ගේ දිනය වුණේ නැහැ. තරගයේ අට වැනි මිනිත්තුවේදී ම බංග්ලාදේශය ඔවුන්ගේ ගෝල යන්ත්‍රය ක්‍රියාත්මක කිරීම ආරම්භ කළා. ගෝල් රකින සුජාන් පෙරේරා දෙවරක් දැරූ උත්සාහය ව්‍යර්ථ කරමින් ෂමිට් ෂොමී පළමු ගෝලය වාර්තා කළා. ෂොමී ට මේ ගෝලය ලබා ගැනීමට මං විවර වුණේ පෙරේරා පන්දුව රැක ගැනීම වෙනුවට එයට අතින් පහර දුන් නිසා.
තරගයේ මුල සිටම බංග්ලාදේශය තරග වැදුනේ ආක්‍රමණික සැලැස්මකට අනුවයි. තරගයේ වැඩි වේලාවක් පන්දුව තමන් සතුව තබා ගැනීමට සමත් වූ ඔවුන් දැල වෙත පහර 17ක් එල්ල කළ අතර මෙයින් හතක් ම ගෝලය වෙත එල්ල වී තිබුණා. නමුත් ඉලක්කය සාර්ථක වුණේ සිවු වතාවක් පමණයි. ශ්‍රී ලංකාව දැල ආරක්ෂා කර තිබුණේ තෙවතාවකි.
අපොහොසත්කමේ පරාජයක්
41 වැනි මිනිත්තුවේදී ගෝලයක් ලබා ගැනීමට උදාවූ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට ශ්‍රී ලංකාව අසමත් වුණේ හරස් පහරකින් පැමිණි පන්දුව ඉලක්කයට යැවීමට ක්‍රීඩකයින් දෙදෙනෙකු ම අපොහොසත් වූ බැවින්.
හම්සා ෂවුඩ්රි 44 වැනි මිනිත්තුවේදී දෙවැනි ගෝලය ලබා ගැනීමත් සමග නැඟුනේ ධකා ජාතික ක්‍රීඩාංගණය දෙවනත් කරවන ප්‍රීති ඝෝෂාවක්. තරගයේ පළමු භාගය අවසන් වන විට බංග්ලාදේශය ගෝල 2-0කින් පෙරමුණ ගෙන සිටියා.

පළමු භාගයේදී අත්කර ගත් සාර්ථකත්වයෙන් විශ්වාසය වැඩි කරගත් බංග්ලාදේශ කණ්ඩායමේ අභියෝගය ඉදිරියේ දෙවැනි භාගයේ ආරම්භයේ සිටම ශ්‍රී ලංකා කණ්ඩායමෙන් දිස්වූයේ දුර්වල පන්දු ‘පාස්’ කිරීමක්. මෙහිදී බංග්ලාදේශ ක්‍රීඩකයින් ශ්‍රී ලංකාව අයිති කරගෙන සිටි පන්දුව උදුරා ගැනීමට කිහිප වතාවක්ම සමත් වූ අතර ඔවුන් එයින් නිසි ඵල නෙලා ගෙන තිබුණා නම් ශ්‍රී ලංකා පරාජය මීට වඩා දරුණු වීමට ඉඩ තිබුණා.

ශ්‍රී ලංකා ආරක්ෂක වළල්ලට දැඩි පීඩනයක් එල්ල කළ බංග්ලාදේශ ඉදිරි පෙළ ක්‍රීඩකයින් තරගයේ 53 හා 87 වැනි මිනිත්තුවලදී තවත් ගෝල දෙකක් ලබා ගැනීමට සමත් වුණා. ෆර්හාන් වාහිඩ් සහ රකිබ් හොසේන් එම ගෝල ලබා ගනිමින් බංග්ලාදේශයේ ගෝල 4-0ක ජයග්‍රහණය සම්පූර්ණ කළා.




