ප්රංශ පාපන්දු සඟරාව සංවිධානය කරන මේ ගෞරවනීය පාපන්දු සම්මාන ප්රදානය සඳුදා ලන්ඩනයේ පැවති අවස්ථාවේදී එහි ඉදිරිපත් කරන්නන් ලෙස කටයුතු කළ කේට් ස්කොට් හා තියරි හෙන්රි එම උත්සවය 37 හැවිරිදි වාර්තාකරුවාට වෙන් කළා.
ඔවුන්ට පිටුපසින් තිබූ දැවැන්ත තිරයක ග්ලේස අවුරුද්දයි මාස තුනයි දින 27ක් තිස්සේ සිරගතව සිටින බව සඳහන්ව තිබූ අතර ඔහුගේ ඡායාරූපය පසෙකින් “#FreeGleize” යන හෑෂ්ටැගය දර්ශනය වුණා.
ත්රස්තවාදයට සහාය දැක්වූ බවට චෝදනා
මේ මාධ්යවේදියා අත්අඩංගුවට ගැණුනේ ඇල්ජීරියාවේ කළ සංචාරයකදී ඔහු සමහර ජනයාට ස්වයං-නිර්ණය අවශ්යව තිබෙන ප්රදේශයක් වන කබායිලී හි පාපන්දු සමාජයක් පිළිබඳව වාර්තා කිරීමට ගොස් සිටියදීයි. ඔහු ත්රස්තවාදයට සහාය දක්වන බවට බලධාරීන් චෝදනා කර තිබෙනවා.
ජනප්රිය ප්රංශ පාපන්දු හා ක්රීඩා සංස්කෘතික සඟරාවක් වන So Foot සහ ලෝකයේ වර්තමාන සිදුවීම්වල පසු දැක්මක් ගෙන එන Society සඟරාවට ලිපි සපයන ග්ලේස 2024 වසරේ මැයි මාසයේ ඇල්ජීරියාව ට ගියේ එරට බොහෝ ජනප්රිය පාපන්දු කණ්ඩායමක් වන Jeunesse Sportive de Kabylie (JSK) පිළිබඳව වාර්තා කිරීමටයි.
මේ පාපන්දු සමාජය තිබෙන්නේ ප්රධාන වශයෙන් එමෙසීර් ජනතාවගේ (ඵෙතිහාසිකව ‘බර්බ්රේ’ යන නමින් දන්නා) නිජබිම වන කබායිලී නමැති කඳුකර ප්රදේශයේ ඇල්ජේස් අගනුවරට කිලෝමීටර් 100ක් නැගෙනහිරින් පිහිටි ටිසී උසූ පළාතේ යි.
එය ඇල්ජීරියාව විසින් ත්රස්තවාදී සංවිධානයක් ලෙස 2021 වසරේදී හඳුන්වනු ලැබූ ‘කබායිලීයේ ස්වයං-නිර්ණය සඳහා වන ව්යාපාරයේ’ (Movement for the Self-Determination of Kabylie - MAK) මූලස්ථානය ද වනවා.
ග්ලේස ජාතික ආරක්ෂාවට හානිකර ප්රකාශන ළඟ තබාගෙන සිටි බවට චෝදනා එල්ල වී තිබෙනවා.
ඔහුගේ නඩුවට කේන්ද්රගතව තිබුණේ MAK සමග ද සම්බන්ධකම් තිබෙන JSK නිලධාරියෙකු සමග ඔහුගේ තිබූ සන්නිවේදනය යි.
මේ දෙදෙනා අතර තොරතුරු හුවමාරු වුණේ මාධ්ය කටයුතු සම්බන්ධයෙන් පමණක් බවත් ඔහුගේ සමහර සන්නිවේදන සබඳතා පැවතුනේ එම සංවිධානය නීතිවිරෝධී බවට ප්රකාශයට පත් කිරීමට පෙර වකවානුවේ බවත් ග්ලේස නිදහස් කරන ලෙසට මෙහෙයුමක් දියත් කර ඇති ‘දේශ සීමා රහිත වාර්තාකරුවෝ’ (RSF – Reporters Without Borders) සංවිධානය පවසනවා.
මාධ්ය වීසා වෙනුවට සංචාරක වීසා යොදාගෙන
පසුගිය දෙසැම්බරයේ පැවති ඔහුගේ අභියාචනය ඇසීම අතරතුර ග්ලේස ඔහුගේ වාර්තාකරණයේදී සිදුවූ වැරදි පිළිගනිමින් තමා සංචාරක වීසා බලපත්රයකින් ඇල්ජීරියාව ට ඇතුළු වනවා වෙනුවට මාධ්යවේදී වීසාවක් අයැදුම් කළ යුතුව තිබූ බව ප්රකාශ කළා.
“මට මගේ පවුල සමග යළි එක්වීමට ඉඩ ලැබෙන පරිදි මම ඔබෙන් අනුකම්පාව අයැද සිටිනවා” යනුවෙන් ඔහු උසාවියට කියා සිටියා.
එහෙත් ඔහු ඇල්ජීරියාව ට පැමිණියේ මාධ්යවේදී කටයුතු කිරීමට නොව සතුරු ක්රියාවක් සිදු කිරීමට බවට පැමිණිල්ල තර්ක කළා.
යුරෝපීය පාපන්දුවේ පාලක මණ්ඩලය වන UEFA සමග ප්රංශ පාපන්දු සඟරාව හවුලේ සංවිධානය කරන ‘බැලන් ඩෝ’ සම්මාන ප්රදානයේ මෙවර උත්සවය ග්ලේස ට වෙන් කිරීමට ගත් තීරණය පිළිබඳව ඇල්ජීරියානු බලධාරීන් තවමත් ප්රකාශයක් සිදුකර නැහැ.
“#FreeGleize” වෙනුවෙන් එක්සත්කමේ තරගයක්
RSF සංවිධානය ග්ලේස නිදහස් කරන ලෙසට ඉල්ලා ක්රියාත්මක කරන ඔවුන්ගේ මෙහෙයුමේ කොටසක් වශයෙන්, ඔහු හිරභාරයේ තබා ගෙන සිටින 500 වැනි දිනය සලකුණු කරමින් නොවැම්බර් 11 වැනිදා එක්සත්කමේ පාපන්දු තරගයක් පවත්වන බවට නිවේදනය කර තිබෙනවා.
මීට සහභාගි වන බවට කියා ඇති පළමු පිරිස අතර හිටපු ප්රංශ ජාත්යන්තර ක්රීඩකයින් වන Robert Pires හා Vikash Dhorasoo මෙන්ම පැරිස් නගරාධිපති Emmanuel Gregoire ද සිටිනවා.
ග්ලේසගේ සිදුවීම වාර්තා වන්නේ ඇල්ජීරියාවේදී ලේඛකයින් හා අනෙකුත් ප්රසිද්ධ පුද්ගලයින්ට නඩු පවරමින් ඔවුන් සිරගත කිරීම සම්බන්ධයෙන් වඩාත් පුළුල් වූ සැලකිලිමත් වීමක් හටගෙන තිබීම මධ්යයේ යි.
සටහන: වර්නන් ගුණසේකර (ක්රීඩා සංස්කාරක)




