නිවාස අඩස්සියේ පසුවන ඇෆ්ගනිස්තාන චෙස් ක්‍රීඩකයින් තිදෙනාගේ ඉරණම පිළිබඳව දැන් චෙස් ලෝකයේ අවධානය යොමුව තිබෙනවා. මේ තිදෙනා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ උස්බෙකිස්තානයේ පැවති චෙස් ඔලිම්පියාඩ් තරගාවලියට සහභාගි වීම පිණිස සමර්කාන්ඩ් නගරයට යාම හේතුවෙන්.
චෙස් ක්‍රීඩාව තහනම් කර ඇති ඇෆ්ගනිස්තානය ට පෙරළා පැමිණීමේදීයි මේ ක්‍රීඩකයින් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. ඒ අනුව ඛයිබර් ෆරාසි, හබිබුල්ලා අමිනි සහ හබිබුල්ලා ගුල්ඩූස්ට් යන ක්‍රීඩකයින් ටලිබාන් බලධාරීන්ගෙන් දඬුවම් නියම වනතුරු බලා සිටිනවා.
ජාත්‍යන්තරයේ අවධානය සහ බලාපොරොත්තුව
කෙසේ වෙතත්, මේ තිදෙනාට බලාපොරොත්තුවක යම් සේයාවක් ඇති කරමින් ජාත්‍යන්තර චෙස් සම්මේලනය, යුරෝපීය පාර්ලිමේන්තුව හා ස්පාඤ්ඤ රජය ඔවුන්ට සහයෝගය දැක්වීම පිණිස කටයුතු කරමින් සිටින බව වාර්තා වනවා.
වැඩිම මානසික පීඩාවකට ලක්ව සිටින්නේ ෆරාසි යි. ඇෆ්ගන් රූපවාහිනියේ ප්‍රහසන ශිල්පියෙකු ලෙසින් ඔහු ජනප්‍රියව සිටින අතර ඔහුගේ ඥාතීන් කිහිප දෙනෙකු ම ප්රචණ්ඩ ක්‍රියාවලින් මරුමුවට පත්ව තිබෙනවා. ඔහු සිය බිරිඳ සමග ජීවත් වන කාබුල් නුවර සිට ඔහුගේ මානසික පීඩාව මෙසේ විස්තර කරනවා.
“අපි මුහුණ දී සිටින තත්ත්වයට අනුව, මටත් මගේ බිරිඳටත් මහා අනාරක්ෂිත බවක් දැනෙනවා. අපට ගෙදර ඉන්න බයයි. මෙය අපේ චිත්තවේගී හා මානසික යහ සාධනයට සැලකිය යුතු බලපෑමක් කරනවා. අපේ ආරක්ෂාව ගැන ඉතාමත් සැලකිලිමත්ව සිටින අපට අපේ වර්තමාන තත්ත්වය දරා සිටීමට හැකිවනු ඇතැයි විශ්වාස කරන්නේ නැහැ.”
මේ වචන ස්පාඤ්ඤ මාධ්‍යයේ පළවී වැඩි වේලාවක් යන්නට මත්තෙන්, ඇෆ්ගනිස්තානයේ සිටින යුරෝපීය සංගමයේ නියෝජිත පිරිසේ සාමාජිකයෙකු කෙළින්ම ෆරාසි අමතා ඔහුගේ සහයෝගය ලබා දෙන බවට ප්‍රකාශ කර තිබෙනවා.
"ප්‍රායෝගික පිහිටක් ලැබේවි" - ක්‍රීඩකයින්ගේ අපේක්ෂාව
ඇෆ්ගනිස්තාන ජාතික චෙස් කණ්ඩායමේ ෆරාසිගේ එක් සගයෙකු වන අමිනි අපේක්ෂාවේ ඇලී සිටිනවා. “විවිධ සංවිධානවලින් කෙරෙන සහයෝගයේ ප්‍රකාශන ඵලදායී ප්‍රායෝගික සහායකට පරිවර්තනය වේවි කියලා මම විශ්වාස කරනවා” යනුවෙන් ඔහු කියනවා.
චෙස් ඔලිම්පියාඩ් තරගාවලියට සහභාගි වූ, විදේශයන්හි ජීවත් වන කාන්තාවන් සිවු දෙනෙකුගෙන් සැදුම් ලත් කණ්ඩායමේ ප්‍රධානියා වන ගුල්ඩූස්ට් ද ඔහුගේ සන්තාපය මෙසේ විස්තර කරනවා: “මාත් එක්ක ජීවත් වන මගේ බිරිඳ හා දරුවන්ට මම වැටී ඉන්න තත්ත්තවය ගැන කීවේ දින කිහිපයක් ගතවූ පසුවයි. කොහොම වුනත්, අපි ක්‍රීඩකයින් තුන් දෙනා ගැන ප්‍රවෘත්තිය ඇෆ්ගනිස්තාන ජාත්‍යන්තර රූපවාහිනියෙන් විකාශය වූ අවස්ථාවේ මගේ නම කෙළින්ම කියවුණා. අවාසනාවකට, එය මගේ පවුලේ මානසික සනීපයට බරපතළ ලෙස බලපා තිබෙනවා. ඔවුන් දැන් ඉන්නේ විශාල මානසික පීඩනයකින් හා කාංසාවකින්.”
ෂරියා නීතිය සහ ටලිබාන් තහනම
චෙස් ක්‍රීඩාව සූදුවක් ලෙස සලකන ඇෆ්ගනිස්තානය ෂරියා නීතිය යටතේ එය තහනම් කර තිබෙනවා. ඇෆ්ගනිස්තාන කණ්ඩායම් චෙස් ඔලිම්පියාඩ් තරගාවලියේ පිරිමි හා කාන්තා අංශ දෙක ට ම සහභාගි වුණේ මේ තහනම තිබියදීයි. මෙයින් ඇෆ්ගනිස්තානය පාලනය කරන ටලිබාන්වරු කෝපයට පත්වුණා. ඒ අනුව, ක්‍රීඩකයින් පෙරළා සියරට පැමිණි අවස්ථාවේ දේශසීමාවේදී ඔවුන් අත්අඩංගුවට ගෙන නිවාස අඩස්සියට පත් කර තිබෙන අතර ඔවුන් බරපතල දඬුවමකට මුහුණ දෙනු ඇතැයි පැවසෙනවා.
ඇෆ්ගනිස්තානයේ තිබෙන චෙස් ක්‍රීඩා සමාජ වසා දමා ඇති අතර ප්‍රසිද්ධියේ එය ක්‍රීඩා කරන ඔ්නෑම කෙනෙක් දඩ ගැසීමකට මුහුණ දෙනවා. මේ තත්ත්වය මධ්‍යයේ ඇෆ්ගන් ක්‍රීඩකයින් රටේ සම්ප්‍රදායික ත්‍රිවර්ණ ධජය යටතේ චෙස් ඔලිම්පියාඩ් තරගාවලියේ විවෘත අංශයේ මෙන්ම සිත්ගන්නා ලෙස කාන්තා අංශයේ ද තරග වැදුනා.
අත් පා කපා දැමීමේ අවදානමක්
අසල්වැසි රටේ පැවැත්වෙන තරගාවලියට සහභාගි වීමෙන් ප්‍රශ්නයක් ඇති නොවනු ඇතැයි ඇෆ්ගන් ක්‍රීඩකයින් උපකල්පනය කළ බවක් පෙනෙනවා. තවමත් ඇෆ්ගනිස්තානයේ ජීවත් වන මේ ක්‍රීඩකයින්ට කිසිම බාධාවකින් තොරව රටින් පිටව යාමට ද හැකිවුණා. කෙසේ වෙතත්, ඇෆ්ගන් ඔලිම්පියාඩ් නියෝජිත පිරිසේ සිටි සියලුම ක්‍රීඩිකාවන් ඇතුළු වැඩි දෙනෙක් වර්තමානයේ ජීවත් වන්නේ පිටරටවලයි.
ෂරියා නීතිය යටතේ, තහනම් සූදු ක්‍රීඩාව වෙනුවෙන් බරපතල දඬුවම් පැමිණවීමේ හැකියාව තිබෙන අතර අත් කපා දැමීම ද ඊට ඇතුළත් වනවා.
(සටහන | වර්නන් ගුණසේකර)
ක්‍රීඩා සංස්කාරක




