ශ්රී ලංකාවේ ප්රමුඛතම පාපන්දු තරගාවලිය වන ‘සුපර් ලීග්’ – Super League - තරගාවලියේ ක්රීඩා කරන තරග 81 ම රට පුරා විසිරී සිටින පාපන්දු ලෝලීන් සමීපයට ගෙන ඒම සඳහා ශ්රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL) ඩයලොග් ආයතනය සමග අත්වැල් බැඳගෙන සිටිනවා.
මේ හවුල්කාරිත්වය යටතේ සුපර් ලීග් සියලු තරග ‘ඩයලොග් ප්ලේ’ - Dialog Play - ජංගම යෙදුම ඔස්සේ සජීවීව විකාශය කෙරෙනවා.
දිවයිනේ ඩිජිටල් ධාරාවේ එක් ප්රධානතම වේදිකාවක් වන Dialog Play සමග එක්ව කටයුතු කිරීම සඳහා FFSL ඊයේ පාපන්දු නිවහනේදී ගිවිසුම්ගත වුණේ ශ්රී ලාංකේය පාපන්දු ක්රීඩාවේ තවත් වැදගත් පියවරක් සනිටුහන් කරමින්. මේ හවුලකාරිත්වයෙන් රටේ ඔ්නෑම ප්රදේශයක සිටින පාපන්දු ලෝලීන්ට ඔවුන්ගේ ජංගම දුරකථනවලින් සුපර් ලීග් තරග සජීවීව නරඹමින් ඔවුන් කැමති කණ්ඩායම්වලට සහයෝගය දැක්වීමට අවස්ථාව ලැබෙනවා.
සුපර් ලීග් තරගාවලියේ වටිනාකම, දෘශ්යතාව සහ ජනප්රියත්වය ඉහළ නැංවීම සඳහා ශ්රී ලංකා පාපන්දු සම්මේලනය ගන්නා උත්සාහයට මේ හවුල්කාරිත්වය ඉතාමත් වැදගත් පියවරක් වන බව පාපන්දු නිවහනේ පැවති මාධ්ය හමුවේදී සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහතා කියා සිටියා.
“ශ්රී ලංකාවේ ප්රධානතම විදුලි සන්දේශ යෝධයින් වන ඩයලොග් සමග හවුල්කාරිත්වයකට එළඹීමට ලැබීම ගැන සතුටු වන අපි ඔවුන්ට අපගේ ස්තූතිය පුද කරනවා. මේ සහයෝගීතාව මගින් ක්රීඩකයින්, ක්රීඩා සමාජ හා ක්රීඩා ලෝලීන් අතර වැඩි උනන්දුවක් නිර්මාණය කරන්නේ තමන්ගේ ජංගම දුරකථන ඔස්සේ පාපන්දු ක්රීඩා කිරීමට, තරග නැරඹීමට සහ පාපන්දු ක්රීඩාවෙන් විනෝද වීමට වැඩි ජනතාවක් පොලඹවමින්. අපේ දේශීය තරගාවලියට පහසුවෙන් ළඟා වීමට හැකියාවක් උදා කිරීම මගින් අපි රට පුරා පාපන්දුව ව්යාප්ත කිරීමේ ඉලක්කය දිසාවට තවත් වැදගත් පියවරක් තබනවා” යනුවෙන් ජස්වර් උමාර් මහතා ප්රකාශ කළා.

පසුගිය තෙවසර තුළ ශ්රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම අත්කර ගෙන සිටින සිත්ගන්නා දියුණුව හා සමස්තයක් වශයෙන් ශ්රී ලාංකේය පාපන්දුවේ සංවර්ධනය පිළිබඳව ද උමාර් මහතා මෙහිදී මතුකර දක්වා සිටියේ මේ ගැම්ම ස්ථිරව පවත්වා ගෙන යාම පිණිස නොකඩවා කරන අයෝජනය, නවෝත්පාදනය හා උපායමාර්ගික හවුල්කාරිත්වයේ තිබෙන භාරදූරකම අවධාරණය කරමින්.
රටවල් 23ක් අභිභවා යාම
“අවුරුදු තුනක් තිස්සේ අපේ අවසාන ඉලක්කය වී තිබුණේ අවුරුදු 31කට පසුව සාෆ් (SAAF) පාපන්දු ශූරතාව දිනා ගැනීමයි. මොකද, ආසියාව දිනන්න පෙර, අපි යම් ප්රගතියක් පෙන්වන්න අවශ්ය නම් මුලින් අපි කලාපීයව (දකුණු ආසියාව) අපේ ස්ථානය තහවුරු කර ගත යුතුයි. මෙය අපේ කලාපයේ තියෙන ‘ලෝක කුසලානය’ යි. මීට අවසන් වශයෙන් සූදානම් වීම සඳහා අපි අපේ කලාපයෙන් පිට ගිහින් අප්රිකානු කණ්ඩායම් දෙකක් වන සීෂෙල්ස් හා මොරීෂස් සමග තරග තුනක් ක්රීඩා කර ඒ තරග සියල්ලම ජය ගත්තා.”
“සාෆ් තරගාවලියට සූදානම් වූ මේ වකවානුව තුළ අපි ජාත්යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) ලෝක ශ්රේණිගත කිරීමේ 207 වැනි ස්ථානයේ සිට අංක 184 ට පැමිණ සිටිනවා. ඒ කියන්නේ අපි රටවල් 23ක් අභිභවා ගොස් තිබෙනවා. මේ අනුව අපි සාෆ් අභියෝගයට ඉතා හොඳින් සූදානම්ව සිටිනවා. ලබන නොවැම්බර් මාසයේ බංග්ලාදේශයේ පැවැත්වෙන සාෆ් පාපන්දු තරගාවලියේදී අපේ අනාගතය බොහෝ දුරට තීරණය වේවි” යනුවෙන් ශ්රී ලංකා පාපන්දු ප්රධානියා සඳහන් කළා.
පාපන්දු 25,000ක් - හයිබ්රිඩ් පාපන්දු පිටි දෙකක්
ශ්රී ලංකා පාපන්දුව මෙවැනි සාර්ථක දුරක් ඉදිරියට පැමිණ තිබෙන්නේ FIFA ආධාර මත බව පෙන්වා දුන් ජස්වර් උමර්, දිළිඳු ළමයින්ට බෙදා දීම පිණිස පාපන්දු 25,000ක් ඇතුළු FIFA විශේෂ ආධාර කිහිපයක් ළඟදීම ලංකාවට ලැබෙනු ඇති බව අනාවරණය කළා.
සාෆ් ශූරතාවලිය වෙනුවෙන් ශ්රී ලංකාව ට සාමාජිකයින් 35 දෙනෙකුගෙන් යුත් සංචිතයක් තිබෙන බවත් යුරෝපයෙන් හා නවසිලන්තයෙන් ක්රීඩකයෙකු බැගින් (ශ්රී ලාංකික සම්භවයක් තිබෙන) සංචිතයට අලුතින් එක් සිටින බවත් කී ඒ මහතා, ලබන වසර වන විට දකුණු ආසියාවේ අනර්ඝතම තත්ත්වයේ හයිබ්රිඩ් පාපන්දු පිටි දෙකක් ශ්රී ලංකාව සතුවනු ඇති බවත් පැවසුවා.
සාෆ් පාපන්දු ශූරතාවලිය නොවැම්බර් 4 වැනිදා ආරම්භ වන අතර 17 වැනිදා පැවැත්වෙන අවසාන මහා තරගය රටේ ප්රධාන නගරයන්හි ඉදි කෙරෙන දැවැන්ත රූපවාහිනී තිරවලින් සජීවීව නැරඹීමේ අවස්ථාව ජනතාවට ලබා දීමට ශ්රී ලංකා පාපන්දු සම්මේලනය කටයුතු කරමින් සිටිනවා.
“1996 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසාන තරගයට ශ්රී ලංකාව පිවිසි රාත්රිය ඔබට මතක ඇති. ශ්රී ලංකාව සාෆ් පාපන්දු තරගාවලියේ අවසාන තරගයට පිවිසෙන නොවැම්බර් 17 වැනි රාත්රියත් එවැනිම අමතක නොවන රාත්රියක් වේවි” යනුවෙන් ජස්වර් උමාර් විශ්වාසය පළ කරනවා.
(වර්නන් ගුණසේකර)
ක්රීඩා සංස්කාරක




