ළඟ එන ‘සාෆ් කුසලාන’ දකුණු ආසියානු පාපන්දු සම්මේලන ශූරතාවලිය (SAFF Championship) සඳහා ඉන්දියාවේ සහභාගිත්වය අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබෙන බව වාර්තා වනවා. මීට හේතුව ලෙස දැක්වෙන්නේ තරග කාලසටහන එකිනෙකට පටහැනිව තිබීම හා ක්රීඩකයින් නිදහස්ව තබා ගැනීම සමස්ත ඉන්දියා පාපන්දු සම්මේලනයට (AIFF) අභියෝගයක් බවට පත්ව තිබීමයි.
ඉන්දියා ජ්යෙෂ්ඨ කණ්ඩායමේ යෝජිත නවසීලන්ත සංචාරය නිසා සම්මේලනයේ සැලසුම් අවුල් වී තිබෙන්නේ සංචිත තේරීම හා මේ කලාපීය තරගාවලියට කණ්ඩායමක් සහභාගි කරවීමට ඉන්දියාවට හැකිවේවිද යන ප්රශ්න මතු කරමිනි.
සාෆ් ශූරතාවලිය නොවැම්බර් 4 සිට 17 දක්වා බංග්ලාදේශයේ ධාකා නගරයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. මේ තරගාවලියේ නව වතාවක ශූරයින් මෙන්ම තරගාවලි ඉතිහාසයේ වඩාත්ම සාර්ථක කණ්ඩායම වන ඉන්දියාව මෙවර තරගාවලියේදී පාකිස්තානය හා මාලදිවයින සමග ‘බී’ කාණ්ඩයට ඇතුළත්ව සිටිනවා. දැනට තිබෙන තරග සටහන යටතේ ඉන්දියාව නොවැම්බර් 5 වැනිදා මාලදිවයින සමගත්, නොවැම්බර් 11 වැනිදා පාකිස්තානය සමගත් තරග කිරීමට නියමිතයි.
නවසීලන්ත සංචාරය සහ දින ගැටුම
ඉන්දියාවේ සහභාගිත්වය සැක සහිත වී තිබෙන්නේ ඔවුන් සැලසුම් කර තිබෙන නවසීලන්ත සංචාරය හේතුවෙනි. එම සංචාරයේදී ඔවුන්ගේ ජ්යෙෂ්ඨ පාපන්දු කණ්ඩායම නොවැම්බර් 12 සහ 15 යන දිනවල ජාත්යන්තර සුහද තරග දෙකකට සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. මේ තරගවලින් දෙරට අතර ක්රීඩා සබඳතාවේ වසර 100ක් සනිටුහන් කරන අතර 2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ක්රීඩා කළ නවසීලන්තය සමග තරග කිරීමේ අවස්ථාවක් ද ඉන්දියාවට උදාවනවා.
ඉන්දියා ජ්යෙෂ්ඨ කණ්ඩායම නවසීලන්තයට සංචාරය කරද්දී සාෆ් ශූරතාවලිය සඳහා වයස අවුරුදු 23න් පහළ කණ්ඩායමක් යැවීමට AIFF මුලදී සලකා බලමින් සිටි බව වාර්තා වනවා. කෙසේ වෙතත්, ජාත්යන්තර පාපන්දු සම්මේලනයේ ජාත්යන්තර තරග වින්ඩෝව (FIFA international window) විවෘත වන නොවැම්බර් 9 වැනිදාට දින පහකට පෙර, එනම් නොවැම්බර් 4 වැනිදා සාෆ් තරගාවලිය ආරම්භ වීම සංචිත තෝරාගැනීම සඳහා ලොකු බාධකයක් නිර්මාණය කර තිබෙනවා.
ක්රීඩා සමාජවල අකැමැත්ත සහ 23න් පහළ අර්බුදය
FIFA ජාත්යන්තර තරග වකවානුව නොවැම්බර් 9 සිට 17 දක්වා දිවෙන්නේ සාෆ් ශූරතාවලියේ පසු භාගය ආවරණය කරමිනි. මෙයින් කියැවෙන්නේ පාපන්දු ක්රීඩා සමාජ ඔවුන්ගේ ක්රීඩකයන් ශූරතාවලියේ ආරම්භක තරග වෙනුවෙන් නිදහස් කිරීමට බැඳී නැති බවයි. මේ හේතුවෙන් තරගකාරී සංචිතයක් එකලස් කිරීමේ අභියෝගයට ඉන්දියා පාපන්දු බලධාරීන් මුහුණ පා සිටිනවා. ඉන්දියානු සුපර් ලීග් වාරය ද ආරම්භ වී තිබෙන බැවින්, ජාත්යන්තර තරග සමය පටන් ගැනීමට පෙර තමන්ගේ ක්රීඩකයින් නිදහස් කිරීමට ක්රීඩා සමාජ අකැමැති වීමට ඉඩ තිබෙනවා.
සාෆ් ශූරතාවලිය FIFA පළමු ස්තරයේ තරගාවලියක් වන බැවින් සහ එහි ප්රතිඵල FIFA ශ්රේණිගත කිරීම්වලට බලපාන බැවින්, දකුණු ආසියානු පාපන්දු සම්මේලනය (SAFF) ඉන්දියාවේ වයස අවුරුදු 23න් පහළ කණ්ඩායමක් භාරගනීවිද යන සැකය ද මෙහිදී මතුවනවා.
සාෆ් ශූරතාවලිය සැප්තැම්බරයේ සිට නොවැම්බර් මාසයට කල් දමනු ලැබුවේ ඉන්දියාවේ සහභාගිත්වයට ඉඩ සැලසීම පිණිස බවට ද වාර්තා වී තිබුණා. නවසීලන්තය සමග පැවැත්වෙන සුහද තරග එකට ගැටීම නිසා සාෆ් පාපන්දු ශූරයින් මෙවර තරගාවලියට එක්වීමේ අවිනිශ්චිතතාවක් දැන් නිර්මාණය වී තිබෙනවා.
කලාපීය තරගාවලියට එල්ල වන බලපෑම
මේ අවිනිශ්චිතතාවට මුහුණ දී සිටින එකම කණ්ඩායම ඉන්දියාව පමණක් නොවේ. FIFA තහනම හේතුවෙන් 2021 අනුශූරයින් වන නේපාලයේ සහභාගිත්වය ද සැක සහිත වී තිබියදී ඉන්දියාව ද ඉවත් වුවහොත් සිදුවන්නේ තරගාවලියේ කණ්ඩායම් පෙළගැස්මට දැඩි බලපෑමක් එල්ල වීමයි.
සාෆ් පාපන්දු ශූරතාවලියේ ඉන්දියාවේ සහභාගිත්වය සම්බන්ධයෙන් අවසන් තීරණයක් AIFF විසින් තවමත් ප්රකාශයට පත් කර නැහැ. ඉන්දියා පාපන්දු සම්මේලනයට තම කලාපීය ශූරතාව රැක ගැනීමේ වටිනාකම ජ්යෙෂ්ඨ කණ්ඩායමේ නවසීලන්ත සංචාරයට සාපේක්ෂව කිරා මැන බැලීමට සිදුව ඇත්තේ ක්රීඩා සමාජවලින් ක්රීඩකයින් මුදා හැරීම සහ අවුරුදු 23න් පහළ සංචිතයක සුදුසුකම් පිළිබඳ ප්රශ්න ද විසඳා ගන්නා අතරතුරයි.
ඉන්දියාව මීට පෙරත් මේ තරගාවලිය සඳහා අවුරුදු 23න් පහළ කණ්ඩායමක් ඉදිරිපත් කර තිබෙනවා. 2009 වසරේ සාෆ් පාපන්දු ශූරතාවලිය සඳහා බංග්ලාදේශයට ගිය ඉන්දියා අවුරුදු 23න් පහළ කණ්ඩායම දඬුවම් පහරවලින් මාලදිවයින පරාජය කර ශූරතාව දිනා ගැනීමට සමත් වුණා.
(සටහන | වර්නන් ගුණසේකර)
ක්රීඩා සංස්කාරක




