BREAKING
Top Ad
ක්‍රීඩා

ඊශ්‍රායලය හමුවේ අයර්ලන්තයෙන් ගෝල් 3-0ක නිහඬ විරෝධයක්

T

The Leader

September 28, 2026 • 9:14 AM

ඊශ්‍රායලය හමුවේ අයර්ලන්තයෙන් ගෝල් 3-0ක නිහඬ විරෝධයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යුද විරෝධය පාමින් සම්ප්‍රදායික ආචාර මඟහැරි අයර්ලන්තය, නේෂන්ස් ලීග් පිටියේදී ඊශ්‍රායලය ගෝල් 3-0කින් පරදවයි.
  • හංගේරියාවේදී ඉරිදා රාත්‍රියේ පැවති මේ තරගය අයර්ලන්තය ගෝල් 3-0කින් ජයග්‍රහණය කළා.
  •   මධ්‍යස්ථ ක්‍රීඩාංගණයක පැවති තරගය මේ කණ්ඩායම් දෙක තරගාවලියේ B3 කොටසේ එකිනෙකාට එරෙහිව තරග වැදීමට නියම වූ පෙබරවාරියේ සිට මතභේදයක පටලැවී තිබුණා.
  •   කළු අත්පටි පැළඳ කළ නිහඬ සටන   එහෙත් තරගයට පෙර ඊශ්‍රායලය සමග චාරිත්‍රවිධිවල නිරත නොවීමෙන් තම ක්‍රීඩකයින් ලොව පුරා දැනුවත් කිරීමක් සිදුකර තිබෙන බව අයර්ලන්ත ප්‍රධාන පුහුණුකරු Heimir Hallgrimsson ප්‍රකාශ කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ක්‍රීඩා පිටියේ රාජ්‍ය තාන්ත්‍රික විරෝධය

 

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ ඉන්දියාව හා පාකිස්තානය අතට අත නොදීමේ පිළිවෙත දැන් ජාත්‍යන්තර පාපන්දු තරග බිමටත් පැමිණ තිබෙනවා.

 

අයර්ලන්ත සමූහාණ්ඩුව හා ඊශ්‍රායලය අතර පැවති නේෂන්ස් ලීග් තරගයේදී දෙපිලේ ක්‍රීඩකයින් අතට අත නොදුන් අතර ඊශ්‍රායලයේ ජාතික ගීය වාදනය වෙද්දී අයර්ලන්ත කණ්ඩායම හිස නමා සිටියා. හංගේරියාවේදී ඉරිදා රාත්‍රියේ පැවති මේ තරගය අයර්ලන්තය ගෝල් 3-0කින් ජයග්‍රහණය කළා.

 

අතට අත නොදුන් අයර්ලන්ත නායක Dara O’Shea සහ ඊශ්‍රායල නායක Manor Solomon අතර කොඩි හුවමාරුවක් සිදුවුනේත් නැහැ.

 

මධ්‍යස්ථ ක්‍රීඩාංගණයක පැවති තරගය මේ කණ්ඩායම් දෙක තරගාවලියේ B3 කොටසේ එකිනෙකාට එරෙහිව තරග වැදීමට නියම වූ පෙබරවාරියේ සිට මතභේදයක පටලැවී තිබුණා.

 

දැන් පවතින ඊශ්‍රායල-ගාසා යුද්ධය අරබයා “තරගය නතර කරනු!” – Stop the Game - යන පාඨයෙන් ‘පලස්තීනය සඳහා වන අයර්ලන්ත ක්‍රීඩාව’ නමැති සමාජ ක්‍රියාකාරී සමූහය විසින් සංවිධානය කර තිබෙන මෙහෙයුම හේතුවෙන් අයර්ලන්ත ජනරජයේ ක්‍රීඩකයින්ට මේ තරගවලින් ඉවත් වන ලෙසට කෙරෙන බලපෑම් වැඩිවෙමින් තිබුණා.

 

කළු අත්පටි පැළඳ කළ නිහඬ සටන

 

එහෙත් තරගයට පෙර ඊශ්‍රායලය සමග චාරිත්‍රවිධිවල නිරත නොවීමෙන් තම ක්‍රීඩකයින් ලොව පුරා දැනුවත් කිරීමක් සිදුකර තිබෙන බව අයර්ලන්ත ප්‍රධාන පුහුණුකරු Heimir Hallgrimsson ප්‍රකාශ කරනවා.

 

අයර්ලන්ත ක්‍රීඩකයින් තරගයට පෙර දින ඔවුන්ගේ හෝටලයේ දීර්ඝ වශයෙන් පැවති රැස්වීමකදී නේෂන්ස් කුසලාන තරගාවලියේ තමන්ගේ යුතුකම ඉෂ්ට කරමින් ඊශ්‍රායලය සමග තරගයට සහභාගි වීම පිණිස ඡන්දය දුන්නා.

 

එදින පසුකාලයේ අයර්ලන්ත ගෝල් රකින්නා වන Gavin Bazunu කණ්ඩායමෙන් ඉවත් වෙමින්, ඉරිදා තරගයටත් ඔක්තෝබර් 4 වැනිදා සර්බියාවේ පැවැත්වෙන මේ තරගයේ දෙවැනි අදියරටත් ක්‍රීඩා කිරීම වැරදි ක්‍රියාවක් ලෙස තමන්ට හැඟෙන බව කියා සිටියා.

 

isrire2 20260928

 

අයර්ලන්ත ක්‍රීඩකයින් කළු අත්පටි පැලඳ තරගයට සහභාගි වූ අතර එය ගාසා යුද්ධයෙන් මිය ගිය සියලු ජීවිත ගැන සිහි ඇති බව දැන්වීමට කළ ක්‍රියාවක් බව අයර්ලන්ත පාපන්දු සංගමයේ (FAI) ප්‍රධාන විධායක David Courell ප්‍රකාශ කරනවා.

 

අයර්ලන්තයේ තෙවැනි ගෝලය වාර්තා කිරීමෙන් පසුව Jack Moylan ඔහුගේ අත්පටිය ගලවා සිපගෙන ඉන්පසුව ඔහුගේ කණ්ඩායමේ ලාංජනය සිප ගත්තා.

 

තරගයට පෙර ශරීර උණුසුම් කර ගැනීමට අයර්ලන්ත ක්‍රීඩකයින් පිටියට පිවිසෙද්දී ක්‍රීඩාංගණයේ සිටි ඊශ්‍රායල ක්‍රීඩා ලෝලී සුළු පිරිස ඔවුන්ට සමච්චල් කළා. එහෙත් මුවින් වෙනුවට කකුල්වලින් ඊට පිළිතුරු දෙමින් අයර්ලන්තය ගෝල් 3-0ක අන්ත පරාජයක් එම ක්‍රීඩා ලෝලීන්ගේ කණ්ඩායමට අත්කර දුන්නා.

 

වර්ජන බලපෑම් සහ උණුසුම් වූ අර්බුදය

 

2024 වසරේදී අයර්ලන්ත කාන්තා බාස්කට්බෝල් කණ්ඩායම ඊශ්‍රායල ක්‍රීඩිකාවන් සමග අතට අත දීමෙන් වැළකී සිටිමින් එම යුරෝ බාස්කට්බෝල් සුදුසුකම් ලැබීමේ තරගයට පෙර ජාතික ගීත වාදනය වෙද්දී පිටියේ සිටගෙන සිටීම පවා ප්‍රතික්ෂේප කළ ද, කණ්ඩායම් දෙක නැවත වතාවක් පසුගිය වසරේ මුණගැසුණු අවස්ථාවේ ඔවුන් එකිනෙකාට අතට අත දුන්නා.

 

පසුගිය නොවැම්බරයේදී අයර්ලන්ත පාපන්දු සංගමය මෝසමක් අනුමත කරමින් ඊශ්‍රායලය ට යුරෝපීය පාපන්දු සංගම් සම්මේලනයේ (UEFA) තරගාවලියන් තහනම් කරන ලෙසට ඉල්ලා සිටියා.

 

මැයි මාසයේදී කටාර් රාජ්‍යය සමග පැවති අයර්ලන්ත කණ්ඩායමේ මිත්‍ර තරගයට බාධා පමුණුවමින් ක්‍රීඩා ලෝලීන් පලස්තීන ධජයන් ප්‍රදර්ශනය කරන ටෙනිස් බෝල පිටියට විසිකළා.

 

ජූනි මාසයේදී FAI නිවේදනයක් නිකුත් කරමින්, ඔවුන්ගේ සත්කාරක තරගය ඩබ්ලින් නුවර Aviva ක්‍රීඩාංගණයේ ක්‍රීඩා නොකර එය සර්බියාවේ Backa Topola ක්‍රීඩාංගණයේ දොරටු වසාගෙන පවත්වන බවට ප්‍රකාශ කළේ මවුබිමේ තරගය පැවැත්වීමට බලපෑ හැකි මෙහෙයුම් අභියෝගයන් උපුටා දක්වමින්.

 

ඊශ්‍රායලය සමග තරග වර්ජනය කිරීමෙන් සැලකිය යුතු මට්ටමේ දීර්ඝ කාලීන හානියක් සංගමයට සිදුවිය හැකි බවට කල්පනා කිරීමෙන් පසුව එම තරගවලට සහභාගි වීම සඳහා අවසරය ඉල්ලමින් FAI ඉදිරිපත් කර තිබූ මෝසමක් ජූලි මාසයේ පැවති විශේෂ මහ සභා රැස්වීමකදී එහි නියෝජිතයන් අනුමත කළා.

 

isrire3 20260928

 

තරග වර්ජනය කරන ලෙසට අයර්ලන්ත සමූහාණ්ඩුවට කෙරෙන ඉල්ලීම් පසුගිය සතිවල වැඩි වී තිබෙනවා. පසුගිය සතිය මුලදී, අයර්ලන්ත ක්‍රීඩකයින් 160කට වැඩි දෙනෙක් ‘පලස්තීනය වෙනුවෙන් අයර්ලන්ත ක්‍රීඩාව’ සමූහයේ විවෘත ලිපියකට අත්සන් කරමින් කණ්ඩායමට ක්‍රීඩා නොකරන ලෙසට බලකර සිටියා.

 

අයර්ලන්තය හා ඊශ්‍රායලය අනාගත තරගාවලියන් හිදී වෙන්ව තබා ගන්නා ලෙසට කරන ලද ඉල්ලීම UEFA ප්‍රතික්ෂේප කර ඇති බව ද Courell සඳහන් කළා.

 

“අපි ක්‍රීඩා කරන්නේ මිනිස් සංහාරය සමග නෙවෙයි, අපි ක්‍රීඩා කරන්නේ මිනිස් සමූල ඝාතනයට එරෙහිවයි” යනුවෙන් පැවසූ අයර්ලන්ත පුහුණුකරු “නූගත්, කුහක මෝඩයෙක්” යැයි ඊශ්‍රායල පාපන්දු සංගමය චෝදනා කිරීමෙන් පසුව කණ්ඩායම් දෙක අතර ඇති නොඉවසුම් ගතිය පසුගිය සතියේ උත්සන්න වුණා.

 

 

warnan Gunasekara (සටහන : වර්නන් ගුණසේකර)
 'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
 gunasekera33@gmail.com

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...