BREAKING
Top Ad
ක්‍රීඩා

70 හැවිරිදි ආච්චි මිනිබිරියගේ නායකත්වයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට

T

The Leader

September 30, 2026 • 9:31 AM

70 හැවිරිදි ආච්චි මිනිබිරියගේ නායකත්වයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වයස 70 දී මිනිබිරියගේ නායකත්වය යටතේ චිලී ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ඉවොන් විල්ඩොසොලා ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයට එක්වෙයි.
  • දැන් ඇය ඇගේ මිනිබිරිය වන කැමිලා ඕයාස් (Camila Oyarce) නායකත්වය දරන චිලී T20 ජාතික කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහර දීම ආරම්භ කරනවා.
  • ඒ වන විට 16 වැනි වියේ පසුවූ කැමිලා ඕයාස් තමා සමග ක්‍රීඩාංගණයට පැමිණෙන ලෙසට ඇගේ ආච්චි පොලඹවා ගත්තා.
  • ඕයාස් පවා 2010 වසරේදී ක්‍රිකට් ක්‍රීඩාවට හඳුන්වා දී තිබුනේ ඇයට වයස අටක්ව තිබියදී.
අකුරු ප්‍රමාණය (Font Size):

 

මිනිබිරියගේ නායකත්වය යටතේ 70 හැවිරිදි ආත්තම්මෙක් ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක ප්‍රථම වතාවට ක්‍රීඩා කිරීමේ ඇදහිය නොහැකි පුවතක් චිලී දේශයෙන් වාර්තා වී තිබෙනවා.

 

ඉවොන් විල්ඩොසොලා (Ivonne Vildosola) ප්ලාස්ටික් පිත්තක් හා ටෙනිස් බෝලයකින් ක්‍රිකට් ක්‍රීඩා කිරීම ආරම්භ කළේ මීට වසර හතකට පෙරයි. දැන් ඇය ඇගේ මිනිබිරිය වන කැමිලා ඕයාස් (Camila Oyarce) නායකත්වය දරන චිලී T20 ජාතික කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහර දීම ආරම්භ කරනවා.

 

මේ සියල්ල ආරම්භ වුණේ දේශීය කුරුල්ලෙක් වන ලස් ලොයිකාස් (Las Loicas) නමින් හැඳින්වෙන චිලී කාන්තා ක්‍රිකට් කණ්ඩායම එකල එහි නායිකාව වූ ජෙනෙට් ගාසස්ගේ (Jeannette Garces) මෙහෙයවීමෙන් ‘මවුවරුන්ගේ හා දූවරුන්ගේ’ ක්‍රිකට් තරගයක් නියොබ්ලේ නගරයේ පැවැත්වූ අවස්ථාවේ. ඒ වන විට 16 වැනි වියේ පසුවූ කැමිලා ඕයාස් තමා සමග ක්‍රීඩාංගණයට පැමිණෙන ලෙසට ඇගේ ආච්චි පොලඹවා ගත්තා. ඕයාස් පවා 2010 වසරේදී ක්‍රිකට් ක්‍රීඩාවට හඳුන්වා දී තිබුනේ ඇයට වයස අටක්ව තිබියදී. එසේ ඇයව හඳුන්වා දුන්නේ ඇයගේ ගුරුවරියක වන චිලී වෙනුවෙන් විස්සයි20 ජාත්‍යන්තර තරග දෙකකට ක්‍රීඩා කර තිබූ අලෙහන්ද්‍රා සුනීගා (Alejandra Zuniga).

 

මුළුතැන්ගෙයින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ආ ගමන

 

“මම හිතුවේ ඇත්තටම මගේ වගකීම වෙන්නේ මිනිබිරිය සමග මැච් එකට සෙල්ලම් කරන්න එන එයාගෙ මිතුරියන්ට කෑම උයන්න කියලයි. මම ක්‍රිකට් ගැන අසා තිබුණේ මගේ මිනිබිරිය එය ක්‍රීඩා කළ නිසයි. නමුත් මම එය ක්‍රීඩා කිරීමට උත්සාහ කළ පළමු අවස්ථාව එය වුණා. මම එහෙම කළ එක ගැන මම දැන් සතුටු වෙනවා” යනුවෙන් විල්ඩොසොලා පවසනවා.

 

ටිකෙන් ටික, විල්ඩොසොලා ක්‍රිකට් ක්‍රීඩාව ගැන වඩාත් උනන්දු වූවත් එහි දිගටම රැඳි සිටින ලෙසට ඇයව පෙලඹවූයේ ඇගේ දියණිය වන ලොරෙතො හා මිනිබිරිය ඕයාස්. පවුලේ ක්‍රියාකාරකමක් ලෙස ඇරඹුනු දෙයක් ඇයව අද ජාත්‍යන්තර වේදිකාවට ගෙන ගොස් තිබෙන්නේ 2026 අප්‍රේල් මාසයේදී ඇය ඇගේ මංගල විස්සයි20 තරගයට ක්‍රීඩා කරමින්.

 

මෙහි තිබෙන විශේෂත්වය වන්නේ ඇය ඇගේ ඇගේ මිනිබිරිය සමග පිතිකරණය ආරම්භ කිරීමයි. ඒ සමග ඇය වයස අවුරුදු 70දී ලොව වයස්ගතම ක්‍රියාකාරී ක්‍රිකට් ක්‍රීඩිකාව මෙන්ම 1950-51 වකවානුවේ 72 වැනි වියේ සිටියදී පළමු පෙළ මංගල ක්‍රිකට් තරගයකට ක්‍රීඩා කළ ඉන්දියාවේ රාජා මහරාජ් සිං ට පසුව ඔ්නෑම වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩාවක් කළ ලෝකයේ දෙවැනියට වයස්ගතම පුද්ගලයා බවට ද ඉතිහාසගතව සිටිනවා.

 

විල්ඩොසොලා ක්‍රීඩා කළ තරග දෙකේ ම ඇය බිංදුවට දැවී ගිය ද ඇත්තටම වැදගත් වන්නේ එය නෙවෙයි.

 

පනස් වසරක පරතරය මැද ආච්චි-මිනිබිරි සුසංයෝගය

 

“එය සිතාගත නොහැකි දෙයක්” ඇය ඇගේ ජාත්‍යන්තර මංගල තරගය සම්බන්ධයෙන් කියා සිටිනවා. “මගේ තරුණ කාලේ, ඒ කියන්නේ අවම වශයෙන් මීට අවුරුදු 50කට ඉස්සර, ක්‍රීඩාවන් ලෙස තිබුණේ බාස්කට්බෝල්, වොලිබොල් හා පාපන්දු. මම කිසිම ක්‍රීඩාවක් ක්‍රීඩා කිරීමක් ගැන කවදාවත් හිතුවේ නැහැ. විශේෂයෙන් ක්‍රිකට් ගැන මම කිසි දිනෙක අහලා තිබුණේ නැහැ. නමුත් ලතින් අමෙරිකාවේ අපි සාමාන්‍යයෙන් ක්‍රියාශීලීයි. මාව ක්‍රීඩා කිරීමට හා සහභාගි වීමට තල්ලු කරන්නේ එයයි. මගේ ප්‍රධාන ඉලක්කය සහභාගිත්වයයි.”

 

ඔයාස් ට ද, ඇගේ ආච්චි කණ්ඩායමේ සාමාජිකාවක් බවට පත්වීම අනපේක්ෂිත දෙයක් වී තිබෙනවා. “මගේ ආච්චි හැම වෙලාවෙම ක්‍රියාශීලීයි. නමුත් එයා කණ්ඩායමේ කොටස්කාරියක් වෙයි කියලා මම කවදාවත් අපේක්ෂා කළේ නැහැ. ඇගේ සහයෝගය හා ඇය ළඟ සිටීම ම මටත් මගේ කණ්ඩායමටත් ගොඩක් වටිනවා.”

 

විල්ඩොසොලා කැමති පිතිකරණයටයි. විශේෂයෙන්ම පිටියේ කෙළින් පන්දුව ගලා යන සේ පහර දෙන්නයි.

 

“මගේ ශරීරයේ තත්ත්වයන් හා වයසට අනුව, මම කැමති බැට් කරන්නයි. මොකද, පන්දු යවන්න මගේ සන්ධි මට ඉඩ නොදෙන නිසයි” ඇය සිනාසෙමින් කියනවා.

 

අවස්ථාව ලැබුණු විට එකට පුහුණු වන විල්ඩොසොලා හා ඔයාස් තරගාවලියන්ට පෙර ක්‍රිකට් සටහන් හුවමාරු කර ගන්නවා. නමුත් වයස 70ක් යනුවෙන් අදහස් වන්නේ ඇය සමග එකට ක්‍රීඩා කරන්නන් සමහර අවස්ථාවල වයස 50කින් ඇයට වඩා කණිෂ්ඨව සිටීමයි.

 

භාෂා බාධක සහ පිටියේ නායකත්ව අභියෝග

 

එයින් තමාට ආඩම්බරයක් හා කෘතඥ බවේ හැඟීමක් දැනෙන බව ඇය ප්‍රකාශ කරනවා. “මොකද, මේ ක්‍රීඩාව මට වඩා ගොඩක් තරුණ අයත් එක්ක කරන එක ලෙහෙසි දෙයක් නොවන නිසා. ම‌‌ගේ මිනිබිරියයි මමයි අතර අවුරුදු පනහකට ආසන්න වයස් පරතරයක් තියෙනවා. ඒ නිසා මම ඇයගේ අණට යටත් විය යුතුයි. නමුත් මගේ මිනිබිරිය පසෙකින් ඉන්න ලැබීම ගැන මම ආඩම්බර වෙනවා. ඒකම මට ලැබුණු විශිෂ්ට වරප්‍රසාදයක්.”

 

“බොහෝ අය ඉංග්‍රීසි කතා කරන්නෙත් නැහැ. ඒ නිසා ක්‍රිකට්වලදී පාවිච්චි කරන භාෂාව සමහර විට ඉතාම සංකීර්ණ වෙන්න පුළුවන්. අපටත්, මහාද්වීපයක් ලෙසිනුත්, තියෙන පළමු බාධකය භාෂාවයි. නමුත් අපි ක්‍රිකට් උපකරණ හා නීති සඳහා භාවිතා කරන්නේ ඉංග්‍රීසි නාමයන් විතරයි. අපි ස්පාඤ්ඤ නාමයන් වුනත් පාවිච්චි කරන්නේ නැහැ.”

 

මේ අතරවාරයේ, ඕයාස් ට ඇගේ ආත්තම්මා පිටියේ සිටීම ලොකු අභියෝගයක් මෙන්ම සිනහව උපදවන්නක් ද වී තිබෙනවා. “සමහර වෙලාවලට ඒක ටිකක් අමාරු වෙන්නේ ආච්චිලාට සීයලාට නියෝග කිරීම පුරුදු නැති නිසයි. මෙය ඉතාම විනෝදජනක දෙයක් වී තියෙනවා. අපි දෙන්නම මේ අත්දැකීමෙන් ඇත්තටම සතුටු වෙනවා” යනුවෙන් ඇය කියනවා.

 

චිලී ක්‍රිකට් ක්‍රීඩාව සහ වෙරළ සංස්කෘතිය

 

චිලී රටේ ක්‍රිකට් ක්‍රීඩාව සකස් වී ඇති ආකාරය අනුව බලන විට විල්ඩොසොලාගේ කතාව සිද්ධ විය හැකි දෙයක්. ක්‍රිකට් ප්‍රධාන ක්‍රීඩාවක් නොවන බොහෝ රටවල එම ක්‍රීඩාව දේශීය පුරවැසියන්ට හඳුන්වා දී ඇත්තේ පිටරට වැසියන්. උදාහරණයක් වශයෙන්, චිලී ක්‍රිකට් සංගමයේ සභාපති පත්‍රීසියො කාමන්යො දිවේරොස් (Patricio Caamano Viveros) මීට වසර 25කට පෙර එම ක්‍රීඩාවට හඳුන්වා දී තිබෙන්නේ ඔහුගේ ඔස්ට්‍රේලියානු ප්‍රධානියා විසින්.

 

2008 වසරේදී කාමන්යො සහ මිතුරන් කණ්ඩායමක් වෙරළ ක්‍රිකට් ක්‍රීඩාව නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා. එම ක්‍රීඩාව චිලී අගනුවර වන සන්ටිආගෝ ට වයඹ දිගින් පිහිටි වීනියො ඩෙල් මා වෙරළ නගරයේ අදත් ක්‍රීඩා කෙරෙනවා.

 

නියම ක්‍රිකට් ක්‍රීඩා පිටි ඇත්තේ ස්වල්පයක් පමණක් වන බැවින් එම ක්‍රීඩාව සඳහා යොදා ගැනීමට පහසු ම ස්ථානය මුහුදු වෙරළ බවට පත්වුණේ ඒ වෙනුවෙන් පැය ගණනාවකට පාපන්දු පිටියක් කුලියට ගැනීම වියදම් අධික කටයුත්තක් වූ නිසා.

 

විල්ඩොසොලා ප්‍රථම වරට ක්‍රිකට් ක්‍රීඩාවට ගෙන ආ මව්වරුන් හා දූවරුන්ගේ ඉසව්ව චිලී දේශයට ජගත් ක්‍රිකට් කවුන්සලයේ (ICC) 100% ක්‍රිකට් කාන්තා සහභාගිත්ව වැඩසටහනේ 2020 වසරේ සම්මානය දිනා ගැනීමට උපකාරී වුණා.

 

warnan Gunasekara (සටහන : වර්නන් ගුණසේකර)
 'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
 gunasekera33@gmail.com

 

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...