නරඹන්නෙකුට ටෙනිස් බෝලයෙන් පහර දුන් රුසියානු ක්‍රීඩක ඩැනියෙල් මෙඩ්වියැඩෙෆ් (Daniil Medvedev) චීන විවෘත ටෙනිස් තරගාවලියෙන් ඉවත් කර තිබෙනවා.
නොවැක් ජොකොවිච්ට එරෙහිව පැවති අවසන්-පූර්ව තරගයේදී සිදු කළ මේ ක්‍රියාවෙන් මෙඩ්වියැඩෙෆ්ට මූල්‍යමය වශයෙන්ද විශාල පාඩුවක් අත්වූණා.
පිටියේදී සිදු වූ නොසන්සුන් සිදුවීම
සර්බියාවේ ජොකොවිච් සමග තරගයේ ලකුණු 5-7, 3-5කින් පසුපසින් සිටි මෙඩ්වියැඩෙෆ්ට පහරක් මඟහැරුණු අතර, බෝලය දැන්වීම් පුවරුවක වැදී ඔහු වෙත ආපස්සට ඒමේදී ඔහු සෙනඟ අතරට යන සේ ඊට දුන් පිටි අත් පහරකින් බෝලය නරඹන්නෙකුට වැදුණා.
ක්‍රීඩා ලෝලියා වේදනාවෙන් සිය මුහුණ වසාගනු දිස්වූ අතර, ඔහුව අප්‍රමාදව වෛද්‍ය ප්‍රතිකාර සඳහා ක්‍රීඩා මණ්ඩපයෙන් ඉවතට රැගෙන ගියා.
තරගයෙන් පහකිරීම සහ දැඩි දඬුවම්
මේ සිදුවීමේ ප්‍රතිඵලයක් වශයෙන්, මෙඩ්වියැඩෙෆ් වහාම තරගයෙන් පහ කෙරුණා.
ඔහුට ලබා ගත හැකිව තිබූ අවසාන තරගයේ ස්ථානයක් අහිමි වූවා පමණක් නොවේ. ඔහු මේ තරගාවලියේ මේ දක්වා දිනාගෙන තිබූ සම්පූර්ණ ත්‍යාග මුදල ද අහිමි කර ගත්තා. විනය විරෝධී හැසිරීම් පෙන්වන ක්‍රීඩකයින්ගේ තරගාවලි ත්‍යාග මුදල දඩයට යටත් කරනවා පමණක් නොව, ඔවුන්ගේ ශ්‍රේණිගත කිරීමේ ලකුණු හා හෝටල් පහසුකම් පවා අහිමි වනවා.
ඉතිහාසගත මූල්‍ය පාඩුව
බෙයිජිං නුවරදී මෙඩ්වියැඩෙෆ් අවසන්-පූර්ව වටය දක්වා පැමිණි ගමනේදී ඩොලර් 220,000කට ආසන්න මුදලක් උපයාගෙන සිටියා.
ඒ අනුව මෙය, 2020 අමෙරිකානු විවෘත තරගාවලියේදී නොවැක් ජොකොවිච් නොසැලකිලිමත් ලෙස රේඛා විනිසුරුවරියකට පන්දුවෙන් ගැසීම නිසා තරගයට නුසුදුස්සෙකු කොට නියම කළ දඩයෙන් පසුව, ක්‍රීඩකයෙකුට සිදුවූ වැඩිම මූල්‍ය පාඩුවයි.
(වර්නන් ගුණසේකර)
ක්‍රීඩා සංස්කාරක




