ක්‍රිකට් තරගයකදී පන්දුව පිටියේ නොගැටී හතරේ සීමාවේ ලණුවට ඉහළින් පියාසර කළහොත් විනිසුරුවරයා දෑත් ඔසවා හයේ පහරක් සංඥා කිරීම සාමාන්‍ය සිරිතයි. එහෙත් පන්දුව පිත්තේ නොගැටී එලෙස සිදුවුවහොත් නීතිය කුමක් ද? පිතිකරුවා මෙන්ම කඩුලු රකින්නා ද පරදවා යැවෙන බවුන්සර් (Bouncer) පන්දුවක් ලණුවට ඉහළින් සෘජුවම ඇදී ගියහොත් සිදුවන්නේ කුමක් ද?
කැනඩාවෙන් වාර්තා වූ විස්මිත පන්දුව
මේ දුර්ලභ සිද්ධිය වාර්තා වන්නේ කැනඩාවෙනි. Canada Super60 තරගාවලියේදී මෙම පන්දුව යොමු කළේ පාකිස්තානයේ උපන් අමෙරිකානු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක අලි ඛාන් විසිනි. කිරන් පොලාඩ් පන්දුවට පහර දෙමින් සිටියදී අලි ඛාන් එවූ බවුන්සරය, පිතිකරුවා හා කඩුලු රකින්නා පරදවා කෙළින්ම හතරේ සීමාවෙන් ඔබ්බට පතිත විය. බැලූ බැල්මට මෙය වයිඩ් පන්දුවක් සහ හයේ පහරක් සේ පෙනුණ ද, විනිසුරුවරයා එය වයිඩ් පන්දුවක් ලෙස නම් කරමින් ලබා දුන්නේ ලකුණු හතරක් (4 Byes/Wides) පමණි.
Toronto Sixers හා Mississauga Masters කණ්ඩායම් අතර පැවති තරගයේ 9 වැනි පන්දුවාරයේ තෙවැනි පන්දුවේදී මෙම සිදුවීම විය. ඛාන් යැවූ කෙටි පන්දුව තණතීරුවේ ගැටී අහස උසට ඉහළ ගියේ පිතිකරුවා සහ කඩුලු රකින්නා දෙදෙනාම අන්දමන්ද කරමිනි.
විනිසුරුගේ තීරණය සහ ක්‍රිකට් නීතිය
පන්දුවෙන් අනතුරුව විනිසුරුවරයා ලබා දුන් සංඥාව තරග විස්තර විචාරකයන් පවා පුදුමයට පත්කළ නමුත්, විනිසුරුගේ තීරණයේ කිසිදු වරදක් තිබුණේ නැත. පන්දුව හතරේ සීමාවට උඩින් නිදැල්ලේ පියඹා ගිය ද, ඊට ලකුණු හයක් ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් නීති මඟින් ඉඩ සලසා නොතිබීම ඊට හේතුවයි.
ලකුණු පහක් පමණක් හිමි වූයේ ඇයි?
මෙම තීරණයට ප්‍රධානතම හේතුව වූයේ පොලාඩ්ගේ පිත්ත කිසිදු මොහොතක පන්දුවේ නොගැටීමයි. ක්‍රිකට් නීති සංග්‍රහයට (MCC Law 19) අනුව හයේ පහරක් ලබා දිය හැක්කේ පන්දුව පිත්තේ ගැටී බිම ස්පර්ශ නොවී සීමාවට ඉහළින් ගියහොත් පමණි.
මෙම අවස්ථාවේදී පන්දුව පිත්තේ නොගැටී සීමාවට ඉහළින් ගිය බැවින්, නීතියට අනුව හිමිවන්නේ සීමාව පසුකිරීම වෙනුවෙන් ලකුණු හතරක් (Boundary 4) පමණි. ඒ අනුව, හතරේ පහර සඳහා ලකුණු හතරක් සහ වයිඩ් පන්දුව වෙනුවෙන් එක් ලකුණක් ලෙස මුළු ලකුණු පහක් (5 Wides) එම පන්දුව වෙනුවෙන් ලබා දීමට පියවර ගැනිණි.
(සටහන | වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු




