ජපානයේ පැවති ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කමක් දිනාගෙන අනිවාර්ය හමුදා සේවයෙන් ගැලවීම පිළිබඳව උදම් වීම සම්බන්ධයෙන් දකුණු කොරියානු පාපන්දු කණ්ඩායමේ නායක ලී ගී-හක් (Lee Gi-hyuk) ඇතුළු ක්‍රීඩකයින් තිදෙනෙකු ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා තිබේ.
"මම හමුදාවට යන්නේ නැහැ" - නායකයාගේ ප්‍රකාශය
පාපන්දු අවසාන තරගයේදී සත්කාරක ජපානය ගෝල් 1-0කින් පරාජය කිරීමෙන් පසු දැඩි උද්දාමයට පත් 26 හැවිරිදි ලී, සිය රන් පදක්කම ඔසවා ප්‍රදර්ශනය කරමින් “මම හමුදාවට යන්නේ නැහැ” යනුවෙන් ජයග්‍රාහීව ප්‍රකාශ කළේය.
දකුණු කොරියාව ආසියානු ක්‍රීඩා උළෙලේ පාපන්දු ශූරතාව මෙවර හිමිකර ගත්තේ පිට පිට සිවු වැනි වතාවටයි. එම ජයග්‍රහණයත් සමඟ කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින්ට අනිවාර්ය හමුදා සේවයෙන් නිදහස් වීමේ වරම හිමි විය.
"නියම තෑග්ග හමුදා මුක්තියයි"
කණ්ඩායමේ 20 හැවිරිදි ක්‍රීඩක යැං මින්-හ්යොක් (Yang Min-hyeok) රන් පදක්කම දිනා ගැනීමෙන් පසුව දැක්වූයේ මෙවන් අදහසකි:
“පදක්කම හෝ කුසලානය කොහෙත්ම වැදගත් වුණා කියලා මම හිතන්නේ නැහැ. අපට ලැබුණු නියම තෑග්ග තමයි යුද හමුදාමය මුක්තිය. අපි ක්‍රීඩා කළේ ඒ ගැන විතරක් හිතේ තියාගෙන.”
දකුණු කොරියානු නීතිය සහ ක්‍රීඩක මුක්තිය
දකුණු කොරියාවේ පවතින නීතියට අනුව, වයස අවුරුදු 28 සම්පූර්ණ වීමට පෙර ශාරීරිකව සුදුසු සෑම පිරිමියෙකුම මාස 18ත් 21ත් අතර කාලයක් හමුදාවේ ක්‍රියාකාරී සේවයේ යෙදීම අනිවාර්ය වේ.
එහෙත්, ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කමක් හෝ ඔලිම්පික් උළෙලක ඕනෑම පදක්කමක් දිනා ගන්නා ක්‍රීඩකයන්ට මෙම නීතියෙන් විශේෂ නිදහස් කිරීමක් හිමි වේ. ඒ අනුව ඔවුන්ට සේවය කිරීමට සිදුවන්නේ මාසයකටත් අඩු මූලික පුහුණු කාලසීමාවක් පමණි.
"මම නොසැලකිලිමත් වුණා" - ලීගේ පසුතැවීම
තමන් කළ ප්‍රකාශය හමුවේ එල්ල වූ දැඩි මහජන විවේචන හමුවේ නායක ලී ගී-හක් සිය කනගාටුව පළ කර තිබේ. විශේෂයෙන්ම මේ වන විටත් රට වෙනුවෙන් හමුදා රාජකාරියේ නිරත සෙබළුන්ගෙන් සහ ක්‍රීඩාලෝලීන්ගෙන් ඔහු සමාව අයැද සිටියේය.
“වැඩිහිටියෙකු ලෙස, කතා කරන්න කලින් මීට වඩා පරෙස්සමින් හිතන්න තිබුණා. ඒ වගේ නොසැලකිලිමත් විදිහට කතා කිරීම ගැන මම ඉතාම කනගාටු වෙනවා. මම දිගටම ඒ ගැන දුක්වෙනවා,” යැයි ඔහු සඳහන් කළේය.
සොන් හ්‍යුං-මින් සහ ටොම් කිම් ලැබූ නිදහස
මීට පෙර ගොල්ෆ් ක්‍රීඩක ටොම් කිම් ද ආසියානු ක්‍රීඩා රන් පදක්කමක් දිනා ගනිමින් මෙම හමුදා සේවා නිදහස් කිරීම හිමිකර ගත්තේය.
මීට අමතරව හිටපු කොරියානු පාපන්දු නායක සොන් හ්‍යුං-මින් (Son Heung-min) ද මෙම මුක්තිය හිමිකර ගත් ප්‍රමුඛයෙකි. 2018 ආසියානු ක්‍රීඩා රන් පදක්කම දිනා ගැනීමෙන් අනතුරුව, 2020 වසරේදී ඔහු හමුදා සේවයේ නිරත වූයේ සති තුනක කෙටි පුහුණු කාලයකට පමණි.
(වර්නන් ගුණසේකර)
ක්‍රීඩා සංස්කාරක




