ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවර අසල සිදුවූ මාරක දුම්රිය අනතුරෙන් මිය ගිය පුද්ගලයින් 68 දෙනාට ගෞරව පිදීමක් ලෙස ස්පාඤ්ඤ Copa del Rey පාපන්දු තරගාවලියේ බදාදාට නියමිතව තිබූ සියලු තරග 24 ම කල් දැමුණා.
1903 වසරේ ආරම්භ වූ Copa Del Rey යනු ස්පාඤ්ඤයේ පැරණිතම පාපන්දු කුසලාන තරගාවලිය යි.
ටොලීඩෝ නුවරදී දුම්රිය දෙකක් ගැටී පීලි පනින විට ඒවායේ පුද්ගලයින් 500කට වැඩි දෙනෙකු ගමන් කරමින් සිටියා.
ඉහළම පෙළේ කණ්ඩායම් පහක් වන Levante, Alaves, Valencia, Celta Vigo සහ Real Betis යන කණ්ඩායම් ඊයේ පළමු වටයේ තරග ක්රීඩා කිරීමට නියමිතව තිබුණා.
රේආල් මැඩ්රිඩ්, බාසිලෝනා හා ඇට්ලටිකෝ මැඩ්රිඩ් යන ස්පාඤ්ඤ දැවැන්තයින් මේ තරගාවලිය අවසාන කණ්ඩායම් 32 වටයට පිවිසෙන තෙක් ඊට ඇතුළු වන්නේ නැහැ.
බායන් මියුනික් හිදී බදාදා රාත්රියේ පැවති රේආල් මැඩ්රිඩ් කාන්තා ශූරතා ලීග් තරගයට පෙර මිනිත්තුවක නිශ්ශබ්දතාවක් පවත්වන විට රේආල් ක්රීඩිකාවන් කළු අත්පටි පැලඳ සිටියා.
කල්දැමුණු බදාදා තරගවල ඉදිරි වැඩසටහන ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනය මෙතෙක් නිකුත් කර නැහැ.
නවීන ඉතිහාසයේ දරුණුතම දුම්රිය අනතුර
මැඩ්රිඩ් සිට සිවිල් නගරය බලා ධාවනය වෙමින් තිබූ අධිවේගී දුම්රියක් දුම්රිය මාර්ගයේ නතර කර තිබූ තවත් දුම්රියකට කඩා වැදීමෙන් මේ අනතුර සිදුවුණේ බදාදා පෙරවරුවේ. දුම්රිය ගැටුණු වේගයට දුම්රිය මැදිරි කිහිපයක් කණ්ඩියකින් පහළට වැටුණා. සිද්ධියෙන් පුද්ගලයන් 100කට වැඩි පිරිසක් තුවාල ලබා සිටිනවා.
පරිගණක අකර්මන්ය වීමකින් පසුව ඇතිවූ මිනිස් දෝෂයකින් මේ අනතුර සිදුවූ බවට ස්පාඤ්ඤයේ ප්රවාහන ඇමතිවරයා ප්රකාශ කර තිබෙනවා. මෙය යුරෝපයේ නවීන ඉතිහාසයේ සිදුවූ එක් දරුණුතම අනතුරක් වන අතර වසර 13ක් තුළ සිදුවූ ස්පාඤ්ඤයේ වඩාත්ම භයානක දුම්රිය ව්යසනය වනවා.
මගීන් ගුවනට විසිවන අයුරු, විනාශ වූ මැදිරිවල සිරවී සිටින අයුරු සහ පිටතට ඒම සඳහා ජනේල කඩා බිඳ දැමීමේ කම්පා කරවන සිදුවීම් ගැන ජීවිත බේරාගත් අය විස්තර කර තිබෙනවා.
පෞද්ගලික ආයතනයක් වන Iryo ට අයත් නවතා තිබූ දුම්රියේ මගීන් 147 දෙනෙකු සිටි අතර එය දුම්රිය මාර්ගයේ නතර කර තිබුණේ පරිගණක ඇනහිටීමක් නිසා බව ඇමතිවරයා කියනවා.
පාලන මධ්යස්ථානයේ ‘තේරුම්ගත නොහැකි’ තීරණය
පරිගණක පද්ධතියේ ක්රියා නොකිරීමක් හටගත් විට පැය 24 පුරා ක්රියාත්මක වන මැඩ්රිඩ් පාලන මධ්යස්ථානය පාලනය අතට ගන්නා බවත්, එහෙත් ඔවුන් කිසිම වේග සීමාවන් නැතිව යළි දුම්රිය ධාවනය කරන ලෙසට උපදෙස් දීම සඳහා “තේරුම් කළ නොහැකි” තීරණයක් ගෙන ඇති බවත් ඔහු පවසනවා.
මගීන් 397 දෙනෙක් රැගෙන යමින් සිටි ස්පාඤ්ඤ රජයට අයත් දුම්රිය ආයතනයේ දුම්රියක් වේගයෙන් පැමිණ තමන්ගේ දුම්රිය පිටුපස ගැටුණු බව Iryo ප්රකාශ කරනවා.
අනතුරෙන් එක් දුම්රිය මැදිරියක් ගිනිගෙන තිබෙන අතර එතුළ සිරවී සිටි පුද්ගලයින් හඬමින් ලේ පෙරාගෙන සිටි අයුරු හා තවත් පුද්ගලයින් සුන්බුන් යට වැළලී සිටි අයුරු මගීන් විස්තර කර තිබෙනවා.
දුම්රිය පීල්ලක දිග කොටසක් එක් දුම්රිය මැදිරියක් පසාරු කරගෙන ගොස් තිබෙන අන්දම ඡායාරූප පෙන්නුම් කරනවා.
"මගේ දෑතේදීම ඇය මිය ගියා" - මගීන්ගේ බිහිසුණු අත්දැකීම්
මිය ගිය සිරුරු හා අත පය නැතිව ගොස් සිටි පුද්ගලයින් ද දුටු බව එක් මගියෙක් කියා තිබෙනවා. “බොහෝ අයගේ නහය, අත් කැඩී තිබුණා. එය ඉතාම භයානක, දරුණු එකට ගැටීමක්” යනුවෙන් තවත් මගියෙක් පැවසුවේ තමා තත්පර හතරක් හෝ පහක් ගුවනට විසිවී සිටි බවත් එම කාලය ජීවිත කාලයක් ලෙස දැනුණු බවත් සඳහන් කරමින්.
කාන්තාවක් තමාගේ දෑතේ සිටියදී මිය ගිය බව තවත් මගියෙක් දේශීය රූපවාහිනී සේවයකට කියා සිටියේ හඬා වැලපෙමින්.
“ඇගේ ශරීරය ඉතාම සීතලයි. එයා හිටියේ තනිවෙලා” යනුවෙන් ඔහු කියන විට එම වැඩසටහන ඉදිරිපත් කරමින් සිටි පුද්ගලයා ද වැලපෙන්නට පටන් ගත්තා.
(සටහන | වර්නන් ගුණසේකර)
සබැඳි වාර්තාවක්:
ස්පාඤ්ඤයේ අධිවේගී දුම්රිය දෙකක් ගැටී 68ක් මරුට: නඩත්තු ගැටලුව කරළියට




