මේ සිද්ධිය ඇතිවූයේ Heliodoro Rodriguez Lopez ක්‍රීඩාංගණයේදී ටෙනෙරීෆේ (CD Tenerife) සහ ඇන්ඩෝරා (FC Andorra) කණ්ඩායම් අතර පැවති තරගයේ. තරගය අවසානයට ළඟා වෙමින් තිබියදී දුර සිට ගුවනේ පැමිණි පන්දුව අල්ලා ගැනීමට පිටියේ මැද කවය කරා දිව එමින් සිටි ඇන්ඩෝරා ගෝල් රකින්නා වන හිසුස් ඕවානෝගේ (Jesus Owono) දණහිස මිගෙල්ගේ හිස හා පපුවේ වේගයෙන් වැදුනා.
හිසේ හා පපුවේ බරපතල තුවාල ලැබූ මිගෙල් පිටියේ නොසෙල්වී වැතිර සිටියා. වෛද්‍ය කාර්ය මණ්ඩලය වහාම පැමිණ ඔහුව රෝහලට ගෙන ගියා. ඔහුට හෘදයාබාධයක් හටගෙන තිබුණත් වෛද්‍ය ප්රතිකාරවලින් ඔහු යළි සිහිය ලැබූ බව වාර්තා වනවා.

(AP Photo)
ඔහුගේ තත්ත්වය මුලදී ‘ස්ථාවර නමුත් බරපතල’ තත්ත්වයේ තිබුණත් පසු දින උදෑසන ඔහුගේ ස්නායු තත්ත්වය නරක අතට හැරෙමින් අඟහරුවාදා පෙරවරු 8.00 ට ඔහු මිය ගියා.
සිද්ධියෙන් පසුව තරගය අහෝසි කරමින් ඔ්වොනෝ ට කෙළින්ම රතු කාඩ්පත නිකුත් කෙරුණා.
පොලිස් පරීක්ෂණයක් ඇරඹේ
මේ සිද්ධිය නොසිතාමතා කරනු ලැබූ මනුෂ්‍ය ඝාතනයක් ලෙස සලකමින් ස්පාඤ්ඤ පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන අතර ඊට නීතිඥවරුන් ද සම්බන්ධ වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
ටෙනෙරීෆේ කණ්ඩායම සමග එක්වීමට පෙර මිගෙල් පහළ කොටසේ තරග කරන ස්පාඤ්ඤ පාපන්දු සමාජ කිහිපයක ට ම ක්‍රීඩා කර තිබෙනවා. ඔහු ටෙනෙරීෆේ ට පසුගිය තරග වාරයේදී Segunda කොටසට උසස් වීමක් ලබා ගැනීමට උපකාරී වුණා.
මිගෙල්ගේ මරණයෙන් කම්පාවට පත්ව සිටින යුරෝපීය පාපන්දු පාලක මණ්ඩලය (UEFA) මේ සතියේ පැවැත්වෙන ඔවුන්ගේ සියලු තරගවලදී මිගෙල්ගේ මතකය වෙනුවෙන් මොහොතක නිශ්ශබ්දතාවයක් පවත්වන බවට නිවේදනය කර තිබෙනවා.
(AP Photo)
ගෝල් රකින්නා යාච්ඤා කරමින් වැලපෙයි
මේ අතර, මිගෙල් ට කළ මාරක අභියෝගයෙන් පසුව ශෝකයෙන් සිත කැළඹුණු 25 හැවිරිදි ඔ්වොනෝ ක්‍රීඩකයින් ඇඳුම් අඳින කාමරයේදී යාච්ඤා කරමින් හඬා වැලපෙමින් සිටි බව වාර්තා වනවා.
මිගෙල් නිශ්චලව බිම වැතිර සිටියදී සමහර ක්‍රීඩකයින්ගේ දෑස් කඳුලින් පිරී තිබුණා.
මිගෙල් මිය ගිය පුවත දැනගැනීමටත් පෙර සිට ම ඔහුගේ පවුලේ අයගෙන් පෞද්ගලිකව සමාව අයැදීමට ඔ්වොනෝ අදහස් කර සිටි බව පැවසෙනවා.
ඔහු සාපරාධී දඬුවම්වලින් ගැලවෙනු ඇතැයි අපේක්ෂා කෙරුණත් ඔහුට ක්‍රීඩාමය දඬුවමක් නියම වීමට ඉඩ තිබෙනවා.
මිගේල්ගේ මරණය සම්බන්ධයෙන් විනිශ්චයකාරවරයෙක් පරීක්ෂණයක් ආරම්භ කරනු ඇතැයි අධිකරණ නිලධාරීන් ප්‍රකාශ කරනවා.
මිගෙල්ගේ ජීවන සහකාරිය වන මරියා සහ එක් අවුරුදු දියණිය කාලා මේ අනතුර සිදුවනු ක්‍රීඩා මණ්ඩපයේ සිට දැක තිබෙන බව පැවසෙනවා.
ලොව සුපිරි පාපන්දු ක්‍රීඩකයින් බොහෝ දෙනෙක් පාපන්දු පිටියේ සිදුවූ මේ මරණය පිළිබඳව ඔවුන්ගේ දැඩි ශෝකය පළ කර තිබෙනවා.
(සටහන - වර්නන් ගුණසේකර)




