අමෙරිකාවේ Indiana Fever වෘත්තීය බාස්කට් බෝල් ක්රීඩා සමාජයේ ක්රීඩිකාවක වන සොෆී කනිංගම් (Sophie Cunningham) “ලස්සන තරුණ කාන්තාවක්” බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පවසා තිබෙන්නේ ක්රීඩාවේදී ඇයගේ ලකුණු ලබා ගැනීමේ හැකියාව පිළිබඳව ප්රශ්න කරමින් හා ඇයට ක්රීඩා ලෝලීන් වැඩි ප්රමාණයක් ආකර්ෂණය කර ගත හැකි බවට ඉඟි කරමින්.
මැතිවරණ ප්රචාරණය අතරතුරේ
අමෙරිකාවේ ඕහයෝ ප්රාන්තයේ යංග්ස්ටවුන් නගරයේ පැවති මැතිවරණ රැලියකදී කනිංගම් ලස්සන තරුණියක ලෙසින් හැඳින්වූ ට්රම්ප් ඇයගේ පෙනී සිටීම කණ්ඩායමකට ලකුණු ලබා ගැනීමට උපකාරයක් වනවාට වඩා ක්රීඩා ලෝලීන් ආකර්ෂණය කර ගැනීමට උපකාරයක් වනු ඇතැයි කියා සිටියා.
ට්රම්ප් මේ අදහස් පළ කළේ කනිංගම් ද මීට පෙර ප්රසිද්ධියේ කතා කර තිබෙන කාන්තා ක්රීඩාවේ නියැලෙන සංක්රාන්ති ලිංගික ක්රීඩිකාවන් සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටියදීයි. 30 හැවිරිදි මේ බාස්කට්බෝල් ක්රීඩිකාව ඇගේ මතය වෙනුවෙන් විවේචන හා සහයෝගය යන දෙක ට ම මුහුණ දී තිබෙනවා.
ට්රම්ප්ගේ ප්රකාශයන් ගැන කනිංගම් කෙළින්ම ප්රතිචාර නොදැක්වූව ද, ඇය අනෙක් අයට සහාය දීම පිළිබඳව තිබෙන බයිබලයේ කෙටි පරිච්ඡේදයක් ඇගේ ඉන්ස්ටග්රෑම් කතාවල බෙදාගෙන තිබෙනවා.
අමෙරිකාවේ කාන්තා ජාතික බාස්කට්බෝල් සංගමයේ (WNBA) සම්මත 2026 තරග වාරයේදී ඇය තරගයකට ලකුණු 7.9ක් බැගින් වන සාමාන්යයක් සටහන් කර තිබෙන අතර මෙය පස් වසරක් ඇතුළත ඇයගේ අඩුම සාමාන්යය වනවා.
ට්රම්ප්ට දේශපාලන දිවියේ අවසානය සිහිවෙයි
ඇය පිලිබඳව ට්රම්ප් ඔහුගේ අදහස් දක්වා සිටියේ අමෙරිකාවේ වෘත්තීය අමෙරිකානු පාපන්දු ලීගයේ (NFL) හිටපු පුහුණුකරු ජොන් ගෲඩන් (Jon Gruden) ද පෙනී සිටි රැලියක තමාගේ ආධාරකරුවන් අමතමින්. ඔහු පළමුව කනිංගම්ගේ නම සඳහන් කළේ ශූරතා කණ්ඩායමකට එක්වීම පිණිස කාන්තාවකට හැකියාවක් තිබෙනවා ද යනුවෙන් සාකච්ඡා කරමින් සිටින අතරතුරයි.
“සොෆී ලස්සන තරුණ කාන්තාවක්” ට්රම්ප් කීවා.
ඉක්බිති ඔහු ගෲඩන් දෙසට හැරී, කණ්ඩායමේ ලකුණු සංඛ්යාවට ලකුණු එකතු කරනවාට වඩා සෙනඟ ගෙන්වා ගැනීම සඳහා කනිංගම් ට උපකාර කළ හැකි බව කියා සිටියා.
ඇයගේ පෙනුම හා පිරිමි ක්රීඩා ලෝලීන්ගේ අවධානය ආකර්ෂණය කර ගැනීමේ ඇගේ හැකියාව පිළිබඳව ට්රම්ප් දිගටම කතා කළා.
“ඇයව දැකගන්න කැමති පිරිමි ගොඩක් ඉන්නවා. ඇය හැඩයි” ට්රම්ප් පැවසුවා.
“කොහොම වුනත්, තව දුරටත් එහෙම කියන්න දේශපාලනඥයෙකු විදියට කෙනෙකුට අවසර නැහැ. කරුණාකර... කරුණාකරලා මට ඒ වචන ආපසු ගන්න ඉඩ දෙන්න. කාන්තාවක් රූමත් කියා දේශපාලනඥයෙක් කියන හැම අවස්ථාවකදීම නවීන යුගයේ දේශපාලන ලෝකයේ සාමාන්යයෙන් සිදුවන්නේ ඔහුගේ දේශපාලන දිවියේ අවසානයයි.”
සංක්රාන්ති ලිංගික ක්රීඩිකාවන් වෙනුවෙන් කතා කළ කනිංගම්
අමෙරිකානු ජනාධිපතිවරයා මෙසේ ප්රකාශ කළේ කනිංගම් ට මෑත මාසවලදී විවේචනය හා සහයෝගය ගෙන දුන් විෂයක් වූ සංක්රාන්ති ලිංගික ක්රීඩිකාවන් පිළිබඳ කතිකාවක් අතරතුරයි.
කාන්තා ක්රීඩාවන් සඳහා සංක්රාන්ති ලිංගික ක්රීඩිකාවන්ගේ සහභාගිත්වය සම්බන්ධයෙන් වන තමාගේ මතයන්ට එල්ල වූ විවේචනවලට කනිංගම් ESPN සමග ජූලි මාසයේ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්රතිචාර දැක්වුවා.
“සංක්රාන්ති ලිංගික ක්රීඩිකාවන්ට මම වෛර කරනවා කියලා මට සෘණාත්මක ප්රකාශ ගොඩක් ලැබුණා. නමුත් මම එක පාරක්වත් එහෙම කීවේ නැහැ” යනුවෙන් කනිංගම් එහිදී ප්රකාශ කළා.
“මම අද මෙතැනට ඇවිත් ඉන්නේ ආදරය පතුරන්නයි කියා මම හිතනවා. නමුත් ආදරය කියන්නේ සත්යය හා අවංක වීම කියලත් මම හිතනවා. ලොකර් කාමරයක් ඇතුළේ සිටින තරුණ කෙල්ලන් හෝ උපතින් පිරිමින් වූ පුද්ගලයන්ට එරෙහිව ක්රීඩා නොකළ යුතු තරුණ කෙල්ලන් ආරක්ෂා කිරීමයි මට අවශ්ය වන්නේ.”
ඇයගේ ප්රකාශයන්ට ක්රීඩා ලෝලීන්ගෙන් ලැබුණේ වෙනස් ප්රතිචාර. සමහරු “සංක්රාන්ති ලිංගික දරුවන්ටත් ක්රීඩාව අයිතියි” යනුවෙන් සඳහන් කමිස පැලැඳ තරග නැරඹීමට පැමිණි අතර අනෙක් අය “ආදරය යනු සත්යයයි” හා “ස්තූතියි සොෆී” යන පාඨයන් ප්රදර්ශනය කළා.
- වර්නන් ගුණසේකර




