මේ ප්රතිඵලයෙන් ඕනෑම ලෝක කුසලාන පාපන්දු තරගයක ගෝල අන්තරය සඳහා මීට පෙර තිබූ වාර්තාව මැකී ගියා.
මොරොක්කෝව 2025 වසරේ පැවැති අවුරුදු 17න් පහළ පිරිමි ලෝක කුසලානයේදී ගෝල් 16-0කින් නිව් කැලිඩෝනියාව පරදවමින් පැරණි වාර්තාව පිහිටුවා තිබුණා.
හෝලන්ඩ් පසු ගෝල වාර්තාව මැඩී ඩිමරීයාගෙන්
අමෙරිකානු වාර්තාගත ජයග්රහණයේදී එම කණ්ඩායම වෙනුවෙන් ක්රීඩිකාවන් 10 දෙනෙකු ගෝල් ලබා ගත් අතර ඉදිරි පෙළ ක්රීඩිකා මැඩී ඩිමරීයා (Maddie DiMaria) පෙරමුණ ගනිමින් ගෝල හයක් ලබා ගත්තා.
උතුරු කැරලයිනා විද්යාලය වෙනුවෙන් ක්රීඩා කරන 17 හැවිරිදි උසස් පාසල් ශිෂ්යාවක වන ඩිමරීයා ඇගේ පළමු ගෝලය ලබා ගත්තේ තරගයේ 63වැනි මිනිත්තුවේ. ඇය වාර්තා කළ ගෝල ප්රමාණය අමෙරිකානු ක්රීඩිකාවක් තරගයකදී එදා මෙදා තුර ලබා ගත් වැඩිම ගෝල සංඛ්යාව වන අතර ඔ්නෑම මට්ටමක කාන්තා ලෝක කුසලාන තරගයක ඔ්නෑම ක්රීඩිකාවක් ලබා ගත් වැඩිම ගෝල ප්රමාණය ද වනවා.
2019 වසරේ පැවති අවුරුදු 20න් පහළ පිරිමි ලෝක කුසලානයේදී නෝවේජියානු ක්රීඩක ආලිං හෝලන්ඩ් ගෝල නවයක් ලබා ගැනීමෙන් පසුව ජාත්යන්තර පාපන්දු සම්මේලන (FIFA) තරගාවලියක එක් තරගයකදී ගෝල හයක් ලබා ගැනීමට සමත් වූ පළමු ක්රීඩිකාව වන්නේ ඩිමරීයා.
“එවැනි ක්රීඩකයෙකුගෙන් පසුව ඊළඟට සිටින කෙනා බවට පත්වීමට ලැබීම මට ලොකු ගෞරවයක්” යනුවෙන් ඇය කියනවා.
FIFA වෙතින් යොවුන් පාපන්දුවට ප්රමුඛතාව
තරගයේ පළමු භාගය අවසන් වන විට අමෙරිකාව ගෝල 9-0කින් ඉදිරියෙන් සිටි අතර සමස්ත තරගයේදී ඔවුන් දැල වෙත පහර 58ක් එල්ල කර තිබුණා. ක්රීඩිකාවන් දෙදෙනෙක් ගෝල දෙක බැගින් ලබා ගත්තා. සමෝවා ගෝල් රකින්නිය ගෝල 13ක් වළක්වා ගත්තා.
සමෝවාව ඔවුන්ගේ පළමු අවුරුදු 17න් පහළ කාන්තා ලෝක කුසලාන තරගාවලියට පෙනී සිටියේ පසුගිය වසරේ. 2025 වසරේ සිට කණ්ඩායම් සහභාගිත්වය 16 සිට 24 දක්වා වැඩි කළ FIFA, පිරිමි හා කාන්තා දෙඅංශයෙන් ම අවුරුදු 17න් පහළ ලෝක කුසලාන තරගාවලියන් 2029 වසර දක්වා වාර්ෂිකව පැවැත්වීමට තීරණය කර තිබෙන්නේ යොවුන් පාපන්දුවේ සංවර්ධනයට ප්රමුඛතාව ලබා දෙමින්.
ඇමරිකාව කිසිදා ජය ගෙන නෑ
අමෙරිකානු ජයග්රහණයෙන් නැවත ගෙන ආවේ ප්රංශයේ පැවති 2019 කාන්තා ලෝක කුසලානයේදී අමෙරිකාවේ ජ්යෙෂ්ඨ කණ්ඩායම තායිලන්තය ට එරෙහිව වාර්තා කළ ගෝල 13-0 ජයග්රහණයේ මතකයන්. එහිදී ඇලෙක්ස් මෝගන් අමෙරිකාව වෙනුවෙන් ගෝල පහක් ලබා ගත්තා.
අමෙරිකානුවන් කවරවිටකවත් මේ තරගාවලිය ජයග්රහණය කර නැහැ. 2008 වසරේ පැවති මංගල තරගාවලියේදී අවසාන තරගයට පිවිසි ඔවුන් එදා සිට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා තිබෙන්නේ එක් වතාවක් පමණයි. ඒ, 2024 වසරේ. වර්තමාන ශූරියන් වන්නේ උතුරු කොරියාව.
සටහන: වර්නන් ගුණසේකර (ක්රීඩා සංස්කාරක)




