BREAKING
Top Ad
පුවත්

මෙටා: දත්ත වැරදි ලෙස හැසිරවුයේ යැයි ෆේස්බුක් හිමිකරුට යුරෝ බිලියන 1.2ක දඩයක්

T

The Leader

May 23, 2023 • 3:25 AM

මෙටා: දත්ත වැරදි ලෙස හැසිරවුයේ යැයි ෆේස්බුක් හිමිකරුට යුරෝ බිලියන 1.2ක දඩයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යුරෝපය සහ එක්සත් ජනපදය අතර පුද්ගලයින්ගේ දත්ත හුවමාරු කිරීමේදී ඒවා වැරදි ලෙස හැසිරවීම හේතුවෙන් ෆේස්බුක් හිමිකාරිත්වය දරන සමාගම වන මෙටා සමාගමට යුරෝ බිලියන 1.2ක (පවුම් බිලියන 1ක) දඩයක් නියම කර තිබේ.
  • මෙටා සමාගම පවසන්නේ මෙම "අසාධාරණ සහ අනවශ්‍ය" තීන්දුවට එරෙහිව අභියාචනාවක් ඉදිරිපත් කරන බව ය.
  • මෙම තීරණයට මූලික වශයෙන් හේතු වී ඇත්තේ, යුරෝපීය සංගමයට අයත් රටවල දත්ත එක්සත් ජනපදයට ගෙන යාම සඳහා සම්මත කොන්ත්‍රාත් වගන්ති (SCCs) භාවිතාව වටා ය.
  • නමුත් මෙම දත්ත ප්‍රවාහයන් යුරෝපීයයන් එක්සත් ජනපදයේ දුර්වල පෞද්ගලිකත්ව නීතිවලට නිරාවරණය කරන බවට සහ එක්සත් ජනපද බුද්ධි අංශයට එම දත්ත වෙත ප්‍රවේශ විය හැකි බවට කනස්සල්ලක් පවතියි.
අකුරු ප්‍රමාණය (Font Size):



අයර්ලන්තයේ දත්ත ආරක්ෂණ කොමිසම (DPC) විසින් නියම කරනු ලැබ ඇති එම දඩ මුදල යුරෝපා සංගමයේ සාමාන්‍ය දත්ත ආරක්ෂණ රෙගුලාසි (GDPR) පෞද්ගලිකත්ව නීතිය යටතේ පනවන ලද විශාලතම දඩ මුදල වේ.

GDPR විසින් යුරෝපා සංගමයෙන් පිටතට පරිශීලක දත්ත මාරු කිරීමේදී සමාගම් අනුගමනය කළ යුතු නීති සම්පාදනය කරනු ලබයි.

මෙටා සමාගම පවසන්නේ මෙම "අසාධාරණ සහ අනවශ්‍ය" තීන්දුවට එරෙහිව අභියාචනාවක් ඉදිරිපත් කරන බව ය.


metadse

මෙම තීරණයට මූලික වශයෙන් හේතු වී ඇත්තේ, යුරෝපීය සංගමයට අයත් රටවල දත්ත එක්සත් ජනපදයට ගෙන යාම සඳහා සම්මත කොන්ත්‍රාත් වගන්ති (SCCs) භාවිතාව වටා ය.

යුරෝපීය කොමිසම විසින් සකස් කරන ලද මෙම නීතිමය ගිවිසුම්වල, යුරෝපයෙන් පිටතට පෞද්ගලික දත්ත මාරු කිරීමේදී ඒවායේ අඛණ්ඩ ආරක්ෂාව සහතික කිරීම සඳහා වන නීති අඩංගු වේ.

නමුත් මෙම දත්ත ප්‍රවාහයන් යුරෝපීයයන් එක්සත් ජනපදයේ දුර්වල පෞද්ගලිකත්ව නීතිවලට නිරාවරණය කරන බවට සහ එක්සත් ජනපද බුද්ධි අංශයට එම දත්ත වෙත ප්‍රවේශ විය හැකි බවට කනස්සල්ලක් පවතියි.

මෙම තීරණය මගින් එක්සත් රාජධානියේ ෆේස්බුක් භාවිතය වෙත බලපෑමක් සිදු නොවේ. තොරතුරු කොමසාරිස් කාර්යාලය බීබීසීය වෙත පැවසුවේ, මෙම තීරණය "එක්සත් රාජධානියට අදාළ නොවන" නමුත් "එම තීරණය පිළිබඳව ඔවුන් අවධානයට ලක් කර ඇති බව ත් සුදුසු වේලාවට ඒ පිළිබඳව ඇති කරුණු සමාලෝචනය කරන" බව ත් ය.

'භයානක පූර්වාදර්ශයක්'

බොහෝ දැවැන්ත සමාගම් සතුව විදෙස් ග්‍රාහකයින් වෙත ලබා දෙන ඊමේල් ලිපින, දුරකතන අංක සහ මූල්‍ය තොරතුරු ඇතුළත් විය හැකි දත්ත මාරු කිරීමේ සංකීර්ණ වෙබ් අඩවි ඇත. ඒවායින් බොහොමයක් සම්මත කොන්ත්‍රාත් වගන්ති (SCCs) මත රඳා පවතියි.

මෙටා සමාගම පවසන්නේ, ඒවායේ ඇති පුළුල් භාවිතය නිසා මෙම දඩය නියම කිරීම අසාධාරණ බව ය.

ෆේස්බුක් සභාපති නික් ක්ලෙග් මෙසේ පැවසීය: " යුරෝපයේ සේවා සැපයීමට බලාපොරොත්තු වන අනෙක් සමාගම් දහස් ගණනක් භාවිත කරන නීතිමය යාන්ත්‍රණය ම භාවිත කරන අපව හුදකලා වීම ගැන කලකිරීමට පත් වෙනවා."

"මේ තීරණය දෝෂ සහිත, යුක්තිසහගත නොවන තීරණයක් වන අතර යුරෝපා සංගමයට අයත් රටවල් සහ එක්සත් ජනපදය අතර දත්ත හුවමාරු කරන අප්‍රමාණ සංඛ්‍යාවක් ඇති අනෙක් සමාගම් සඳහා භයානක පූර්වාදර්ශයක් සපයනවා."

ස්වදේශීක විකල්ප

නමුත් පෞද්ගලිකත්වය වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් එම පූර්වාදර්ශය පිළිගෙන ඇත.

පෞද්ගලිකත්වය වෙනුවෙන් පෙනී සිටින වෘත්තිකයන්ගේ ජාත්‍යන්තර සංගමයේ (International Association of Privacy Professionals) කෙයිට්ලින් ෆෙනසි ප්‍රකාශ කළේ: "මෙම වාර්තාගත දඩයේ ප්‍රමාණය එමගින් නිකුත් කරන සංඥාවේ වැදගත්කම හා ගැලපෙන," බව ය.

"අද තීරණය සංඥා කරන්නේ, සමාගම්වලට ඔවුන් ඉදිරියේ විශාල අවදානමක් ඇති බවයි."

එමගින් යුරෝපා සංගමයට අයත් රටවල සමාගම් එක්සත් ජනපද හවුල්කරුවන්ගෙන් යුරෝපය තුළ ගබඩා කර ඇති දත්ත ඉල්ලා සිටීමට හෝ දේශීය විකල්ප වෙත මාරු වීමට හේතු විය හැකි බව ඇය පැවසුවා ය.

දශකයක් පුරා පැවති සටන

2013 වසරේදී, හිටපු එක්සත් ජනපද ජාතික ආරක්ෂක ඒජන්සියේ කොන්ත්‍රාත්කරුවෙකු වන එඩ්වඩ් ස්නෝඩන් හෙළි කළේ, ඇමෙරිකානු බලධාරීන් ෆේස්බුක් සහ ගූගල් වැනි තාක්‍ෂණ සමාගම් හරහා මිනිසුන්ගේ තොරතුරු වෙත නැවත නැවතත් ප්‍රවේශ වී ඇති බව ය.

එමෙන් ම, පෞද්ගලිකත්වය වෙනුවෙන් සටන් කරන ඔස්ට්‍රියානු ජාතික මැක්ස් ෂ්‍රෙම්ස් සිය පෞද්ගලිකත්වය පිළිබඳව වන අයිතීන් ආරක්ෂා කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ෆේස්බුක් වෙත නීතිමය වශයෙන් අභියෝග කළේ, යුරෝපා සංගමයේ රටවල්වලට අයත් දත්ත එක්සත් ජනපදයට ගෙන යාමේ නීත්‍යනුකූලභාවය සම්බන්ධයෙන් දශකයක් පුරා පැවත එන සටන ආරම්භ කරමිනි.

යුරෝපයේ ඉහළ ම අධිකරණය වන යුරෝපා යුක්ති අධිකරණය (ECJ), යුරෝපීයයන්ගේ තොරතුරු ආරක්ෂා කිරීම සඳහා වොෂින්ටනය ප්‍රමාණවත් තරම් සොයා බැලීමක් නොකරන බව නැවත නැවතත් පවසා ඇත.

තව ද 2020 වසරේදී, යුරෝපා යුක්ති අධිකරණය විසින් යුරෝපා සංගමය සහ එක්සත් ජනපදය අතර දත්ත හුවමාරුව සඳහා වන ගිවිසුමක් වලංගු නොවන බවට තීන්දු කරනු ලැබී ය.

නමුත් යුරෝපා යුක්ති අධිකරණය විසින් සමාගම් සඳහා සම්මත කොන්ත්‍රාත් වගන්ති (SCCs) භාවිත කිරීමට ඉඩ ලබා දුන්නේ, "දත්ත සඳහා ප්‍රමාණවත් මට්ටමේ ආරක්ෂාවක්" ලබා දෙන බවට සහතික කරන තාක් කල් වෙන ත් ඕනෑ ම තෙවන පාර්ශවීය රටක් වෙත දත්ත මාරු කිරීම වලංගු බව පවසමිනි.
මෙටා සමාගම අසමත් වූ බවට සොයා ගත් පරීක්ෂණය එය යි.

'මූලික වශයෙන් ප්‍රතිව්‍යුහගත කිරීම'

යුරෝ බිලියන 1.2ක දඩය ගැන විමසූ විට, ෂ්‍රෙම්ස් පැවසුවේ, "වසර 10ක් පුරා ගත් නීතියමය ක්‍රියාමාර්ගවලින් පසු මෙම තීරණය දැකීම සතුටට කරුණක්" නමුත් දඩ මුදල ඊට වඩා වැඩි විය යුතුව තිබුණු බව ය.

"එක්සත් ජනපද සිය අවේක්ෂණ නීති සංශෝධනය නොකළහොත් මෙටා සමාගමට එහි පරිගණක පද්ධති මූලික වශයෙන් ප්‍රතිව්‍යුහගත කිරීමට සිදු වේවි," යැයි ඔහු තවදුරට ත් පැවසීය.

වාර්තාගත ඉහළ දඩ මුදලක් නියම වුව ද විශේෂඥයන් පවසා ඇත්තේ, මෙටා සමාගමේ පෞද්ගලිකත්ව භාවිතයන් (privacy practices) වෙනස් නොවනු ඇතැයි තමන් සිතන බව ය.

"නීතිවිරෝධී විධියට වාහන ගාල් කරලා බිලියන ගණනක් උපයන සමාගමකට, වැරදි විධියට වාහනයක් ගාල් කළා කියලා අය කරන යුරෝ බිලියනයක දඩයක කිසි ම ඵලක් නෑ," සිවිල් නිදහස සඳහා වූ අයර්ලන්ත කවුන්සිලයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන ජොනී රයන් පවසයි.

එවැනි දත්ත වෙත ප්‍රවේශ වීම පාලනය කරන නව නීති රීති අනුගමනය කරන බවට ඇමෙරිකානු ඔත්තු සේවා ආයතන යුරෝපා සංගමයට වඩා හොඳ සහතිකයක් ලබා දීම සඳහා එක්සත් ජනපදය මෑතකදී එහි අභ්‍යන්තර නීතිමය ආරක්ෂක රාමුව යාවත්කාලීන කළේ ය.

2021 වසරේදී, ඇමසෝන් සමාගමට යුරෝපා සංගමයේ පෞද්ගලිකත්ව ප්‍රමිතිය (privacy standard) උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් එලෙස ම දඩ නියම විය.

අයර්ලන්තයේ දත්ත ආරක්ෂණ කොමිසම විසින්, මෙටා සාමාගම සතු තවත් ව්‍යාපාරයක් වන වට්ස්ඇප් සමාගමට ද එහි අනෙකුත් අනුබද්ධිත ආයතන සමග බෙදාගත් දත්තවල විනිවිදභාවය සම්බන්ධ දැඩි රෙගුලාසි කඩ කිරීම සම්බන්ධයෙන් දඩ නියම කර තිබේ.


- ෂියෝනා මැකලම්
BBC තාක්ෂණ වාර්තාකරු
(BBC සිංහල සේවය)



JW
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...