BREAKING
Top Ad
විදේශ

අතුරුදන්ව තිබූ ලොව අටවන මහාද්වීපය පළමු වරට සිතියම්ගත කරයි

T

The Leader

October 3, 2023 • 5:23 AM

අතුරුදන්ව තිබූ ලොව අටවන මහාද්වීපය පළමු වරට සිතියම්ගත කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සීලැන්ඩියාවේ මතුපිට විශාලත්වය වර්ග කිලෝමීටර මිලියන පහකි
  • පුරාණ ග්‍රීක ජනයා විශ්වාස කළේ, ජ්‍යාමිතික සමමිතිය අනුව, එය ලොව අනෙක් පස පිහිටිය යුතු බව ය.
  • 1642 වසරේ නව භූමියක් එනම්, අප දැන් නවසීලන්තය ලෙස හඳුන්වන දූපත් සමූහය හමුවූ අවස්ථාවේ ද ලන්දේසි ගවේෂක ඒබල් ටස්මන් සිටියේ එය සොයමින් ය.
  • නමුත් එය [නවසීලන්තය] ඔහු සොයමින් සිටි දෙයට වඩා කුඩා බව පෙනෙන්නට විය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ඇරිස්ටෝටල්, එරතොස්තනීස් සහ ටොලමි මේ සම්බන්ධයෙන් මීට පෙර විස්තර කොට තිබුණි. සිතියම් විද්‍යාඥයන් විසින් Terra Australis Incognita (ලතින් භාෂාවෙන් "දකුණේ නොදන්නා දේශය") යන වෙනත් නම් වලින් එය හැඳින්විය. එවකට එය මනඃකල්පිත මහාද්වීපයකි.

පුරාණ ග්‍රීක ජනයා විශ්වාස කළේ, ජ්‍යාමිතික සමමිතිය අනුව, එය ලොව අනෙක් පස පිහිටිය යුතු බව ය.

1642 වසරේ නව භූමියක් එනම්, අප දැන් නවසීලන්තය ලෙස හඳුන්වන දූපත් සමූහය හමුවූ අවස්ථාවේ ද ලන්දේසි ගවේෂක ඒබල් ටස්මන් සිටියේ එය සොයමින් ය. නමුත් එය [නවසීලන්තය] ඔහු සොයමින් සිටි දෙයට වඩා කුඩා බව පෙනෙන්නට විය.

සීලැන්ඩියා (Zelandia) නමින් හැඳින්වෙන මෙම මහාද්වීපයේ පැවැත්ම තහවුරු කර ගැනීමට වසර 375ක් පමණ ගත විය.

එයින් 94%ක් ජලය යට පවතින බැවින් එය බැලූ බැල්මට නොපෙනේ. නමුත් මඕරි භාෂාවෙන් ටෙ-රියු-අ-මෞයි (Te Riu-a-Māui) ලෙස ද හඳුන්වන මෙම මහාද්වීපය දැන් සිතියම්ගත කර ඇත.

නවසීලන්තයේ භූ විද්‍යා හා න්‍යෂ්ටික විද්‍යා ආයතනයේ විද්‍යාඥයින් විසින් සාගර පතුලෙන් ලබා ගත් පාෂාණ සාම්පල යොදා ගනිමින් සීලැන්ඩියාහි ප්‍රමාණය පිළිබඳ නව සවිස්තරාත්මක සිතියමක් අඳිනු ලැබ තිබේ. ඔවුන්ගේ අධ්‍යයනය 'Tectonics' සඟරාවේ ද පළ විය.

මහාද්වීපයේ සම්පූර්ණ භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර මිලියන පහක් බවට ද ඔවුහු නිර්ණය කර ගත්හ.

නමුත් මුළුමනින් ම පාහේ සාගර ජලයෙන් යටවී ඇති සීලැන්ඩියාව, මහාද්වීපයක් ලෙස සලකන්නේ කෙසේ ද? ඒ සියලු කාරණා භූ විද්‍යාව හා සම්බන්ධ වේ.

Screenshot 2023 10 03 at 15.37.41

එහි මූලාරම්භය වසර මිලියන සිය ගණනකට පෙර ඛණ්ඩනය වී, අද අප දන්නා පරිදි මහාද්වීප නිර්මාණය කළ පුරාණ මධ්‍ය මහාද්වීපය වන ගොන්ඩ්වානා හා සම්බන්ධකම් කියයි.

මීට වසර මිලියන 80කට පමණ පෙර සීලැන්ඩියාව වෙන්ව ගිය නමුත් ඊට අසල්වැසි ඇන්ටාක්ටිකාව සහ ඔස්ට්‍රේලියාව (ඕෂියානියා) මෙන් නොව, එහි බොහෝ ප්‍රදේශ ජලයෙන් යට වී පැවතිණි.

මහද්වීපයේ මතුපිටින් ඉතිරි වූ එක ම කොටස වූයේ නවසීලන්ත දූපත්, නිව් කැලිඩෝනියාවේ ප්‍රංශ භූමි ප්‍රදේශය සහ ලෝඩ් හව් දූපතේ සහ බෝල්ස් පිරමීඩ්හි කුඩා ඔස්ට්‍රේලියානු භූමි ප්‍රදේශ පමණි.

සාගර ජලයෙන් යටවී තිබීම හේතුවෙන් සීලැන්ඩියාව අධ්‍යයනයට භාජනය වී ඇත්තේ සුළු වශයෙන් වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස එහි හැඩය සහ සීමා පිළිබඳ නොගැලපීම් ඉස්මතු වී තිබේ. මේ දක්වා සිතියම්ගත කර ඇත්තේ, මහාද්වීපයේ දකුණ ප්‍රදේශය පමණි.

භූ විද්‍යාඥ නික් මෝටිමර් විසින් මෙහෙයවන ලද මෙම නව අධ්‍යයනය මගින් මහාද්වීපයේ ඉතිරි තුනෙන් දෙකක කොටස සිතියම්ගත කිරීමට අවශ්‍ය ඉඩ සැලසී ඇත. "මෙම අධ්‍යයනයෙන් වර්ග කිලෝමීටර් මිලියන පනහක් පුරා විහිදී ඇති සීලැන්ඩියා මහාද්වීපයේ ගොඩබිම් කොටසත් සහ ඉන් පිටත ඇති භූමි භාගය ගැන ත් යම්තාක් දුරකොට හෝ අවබෝධයක් ගන්න අවශ්‍ය භූ විද්‍යාත්මක සිතියම්කරණය සම්පූර්ණ කරන්න ඉඩ හදනවා" යනුවෙන් අධ්‍යයනයේ සඳහන් වෙයි.

මෙම භූ විද්‍යාඥයින් සහ භූ කම්පන විද්‍යාඥයන් කණ්ඩායම දිවයිනේ වෙරළ තීරයෙන් සොයා ගන්නා ලද නිදර්ශක සමගින් සාගර පත්ල සිදුරු කිරීමෙන් ලබා ගන්නා ලද පාෂාණ සාම්පල සහ මණ්ඩි අධ්‍යයනය කළේ ය.

විද්‍යාඥයෝ, බාසල්ට් සහ ගල් කැටවල සිට මුහුදු පත්ලෙන් ගත් වටකුරු වැලිගල් දක්වා විශ්ලේෂණය කර කාල නිර්ණය කළහ.

ඔවුහු මෙම වැලිගල් වසර මිලියන 95කට පෙර එනම්, ක්‍රිටේසියස් යුගයේ අග භාගයේ සිට පැවත එන බව ත් ඒවායේ ක්‍රිටේසියස් යුගයේදී මුල් අවධියේදී හමුවූ (වසර මිලියන 130 සිට 110 දක්වා) ග්‍රැනයිට්වලින් සෑදුණු වටගල් සහ ගිනිකඳුවලින් හමු වූ පාෂණ කොටස් ඇති බව සොයා ගත්හ. බාසල්ට් වසර මිලියන 40කට පෙර පැවති ඉයෝසීන් යුගය දක්වා දිව යයි.

Screenshot 2023 10 03 at 16.07.44

පාෂාණවල මෙම කාල නිර්ණය සහ චුම්භක විෂමතා පිළිබඳ අර්ථ නිරූපණය, උතුරු සීලැන්ඩියාව පුරා විහිදී ඇති ප්‍රධාන භූ විද්‍යාත්මක ලක්ෂණ සිතියම්ගත කිරීමට විද්‍යාඥයින්ට ඉඩ ලබා දුන්නේ ය.

ටස්මේනියා දූපතට තම නම ලබා දුන්, 1642 වසරේදී ඒබල් ටස්මන් නම් යුරෝපියානුවාගේ නෙත ගැටුණු දා සිට එම මහාද්වීපය සොයා ගිය බොහෝ ගවේෂකයින් සහ විද්‍යාඥයින් සත්‍ය වශයෙන් ම එහි මතුපිට වූ ජලය මත ගමන් කළේ, ඔවුන් ඒ මත පාවෙන බව ගැන අනවධානයෙන් යුක්තව ය.

සීලැන්ඩියාහි පැවැත්ම පිළිබඳ වූ පළමු සැබෑ ලකුණු එක්කාසු කර ගනු ලැබුවේ, 1895 වසරේදී නවසීලන්තයේ දකුණු වෙරළට ඔබ්බෙන් වූ දූපත් මාලාවක් සමීක්ෂණය කිරීමට ගිය ගමනකට සහභාගී වූ ස්කොට්ලන්ත ස්වභාව විද්‍යාඥ ශ්‍රීමත් ජේම්ස් හෙක්ටර් විසිනි.

භූ විද්‍යාත්මක සාධක අධ්‍යයනය කිරීමෙන් පසු ඔහු නිගමනය කළේ, නවසීලන්තය යනු, "දකුණු හා නැගෙනහිර දෙසට විහිදුණු මහාද්වීපික ප්‍රදේශයක මුදුන් ප්‍රදේශය සෑදූ කඳු දාමයක ශේෂයක් වන අතර එය දැන් ජලයෙන් යට වී ඇති..." බව ය.

1995 වසරේදී ඇමෙරිකානු භූ භෞතික විද්‍යාඥ බෲස් ලයන්ඩයික් නැවත වරක් එම කලාපය මහාද්වීපයක් ලෙස විස්තර කර එය සීලැන්ඩියා ලෙස හැඳින්වීමට යෝජනා කළේ ය.

මහාද්වීපික කබොල සාමාන්‍යයෙන් කිලෝමීටර 40ක් පමණ ගැඹුරු වන අතර එය සාගර කබොලට වඩා කිලෝමීටර 10ක් පමණ සැලකිය යුතු ලෙස ඝනකමකින් යුක්ත වේ.

Screenshot 2023 10 03 at 16.10.21

නවසීලන්තයේ උස ම ස්ථානය වන මවුන්ට් කුක්, සීලැන්ඩියා මහද්වීපයේ ද උස ම ස්ථානය වේ.

භූගෝලීය බලපෑම් හේතුවෙන් එය ඇදීමට ලක් වූ බැවින් සීලැන්ඩියාව කොතරම් දුරට දිගු වී ද යත්, එහි කබොල දැන් කිලෝමීටර 20ක් (සැතපුම් 12.4ක්) පහළට විහිදේ.

අවසානයේදී, දැඩි ලෙස තුනී මෙම මහාද්වීපය ගිලී ගියේ ය.

සාමාන්‍ය සාගර කබොල මට්ටමට නොවුණ ද එය මුහුද යට අතුරුදහන් විය.

විද්‍යාඥයන් තර්ක කරන්නේ, එහි කබොලෙහි ඝනකම සහ පාෂාණ වර්ග සීලැන්ඩියා මහාද්වීපයක් බවට පත් කරන බව ය.

මෙහි හුදු විද්‍යාත්මක කරුණුවලට එහා ගිය වැදගත්කමක් පවතියි.

එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතිය පවසන්නේ, රටවලට ඔවුන්ගේ නීත්‍යනුකූල භූමි ප්‍රදේශ ඔවුන්ගේ සුවිශේෂී ආර්ථික කලාපයෙන් ඔබ්බට ව්‍යාප්ත කළ හැකි බව ය. එනම්, ඔවුන්ගේ වෙරළ තීරවල සිට නාවික සැතපුම් 200ක් (කිලෝමීටර් 370ක්) ඔබ්බට ඔවුන්ට "විස්තීරණ මහාද්වීපික රමුවක්" සඳහා හිමිකම් කිවීමට හැකි වේ. ඊට සියලු ඛනිජ සම්පත් සහ තෙල් නිධි ඇතුළත් වේ.

නවසීලන්තය විශාල මහාද්වීපයක කොටසක් බව ඔප්පු කළ හැකි නම්, ඔවුන්ට සිය භූමි ප්‍රමාණය හය ගුණයකින් ඉහළ නැංවිය හැකි ය. සාගර ගවේෂණ කටයුතු සඳහා පවතින අරමුදල්වල වැඩි වීමක් මෙයින් අදහස් කෙරේ.


(BBC සිංහල සේවය)


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...