BREAKING
Top Ad
විදේශ

බංගලාදේශ රජය මේතරම් දරුණු විරෝධයකට මුහුණ දෙමින් සිටින්නේ ඇයි?

T

The Leader

July 20, 2024 • 11:38 AM

බංගලාදේශ රජය මේතරම් දරුණු විරෝධයකට මුහුණ දෙමින් සිටින්නේ ඇයි?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බංගලාදේශයේ නොසන්සුන් තත්ත්වයක්
  • ප්‍රචණ්ඩ ක්‍රියාවලින් පුද්ගලයන් 100 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර සිකුරාදා පමණක් 50 කට වැඩි පිරිසක් මිය ගියහ.
  • රජය පෙර නොවූ විරූ ආකාරයෙන් සන්නිවේදන සේවා අවහිර කර ඇති අතර, අන්තර්ජාල සේවා වසා දමා දුරකථන සේවා සීමා කර ඇත.
  • විශ්වවිද්‍යාල පරිශ්‍රවල සාමකාමී විරෝධතා ලෙස ආරම්භ වූ මෙම විරෝධතා අද රට පුරා නොසන්සුන්තාවක් දක්වා පරිවර්තනය වී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


මිලියන 170ක් වෙසෙන මෙම දකුණු ආසියානු රටට වීදි විරෝධතා අලුත් අත්දැකීමක් නොවේ - එහෙත්, පසුගිය සතියේ විරෝධතාවල තීව්‍රතාව ජීවමාන මතකයේ නරක ම තත්ත්වය ලෙස හඳුන්වා තිබේ.

ප්‍රචණ්ඩ ක්‍රියාවලින් පුද්ගලයන් 100 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර සිකුරාදා පමණක් 50 කට වැඩි පිරිසක් මිය ගියහ.

SF342DAS
රජය පෙර නොවූ විරූ ආකාරයෙන් සන්නිවේදන සේවා අවහිර කර ඇති අතර, අන්තර්ජාල සේවා වසා දමා දුරකථන සේවා සීමා කර ඇත.

විශ්වවිද්‍යාල පරිශ්‍රවල සාමකාමී විරෝධතා ලෙස ආරම්භ වූ මෙම විරෝධතා අද රට පුරා නොසන්සුන්තාවක් දක්වා පරිවර්තනය වී තිබේ.

රජයේ රැකියා සඳහා හඳුන්වා දී ඇති කෝටා ක්‍රමයට එරෙහිව විශ්වවිද්‍යාල සිසුන් දහස් ගණනක් සති ගණනාවක් තිස්සේ උද්ඝෝෂණවල නිතරව සිටිති.

1971 පකිස්ථානයෙන් නිදහස ලබා ගැනීම සඳහා රටේ පැවති යුද්ධයට දායක වූ ප්‍රවීණයන්ගේ ඥාතීන්ට රාජ්‍ය අංශයේ රැකියාවලින් තුනෙන් එකක් වෙන් කිරීමට එරෙහිව ඔවුහු විරෝධතාවල නිරත වෙති.

ZDFWEJH
‌මෙය වෙනස්කොට සැලකීමක් ලෙස චෝදනා කරන ශිෂ්‍යයින් ඉල්ලා සිටින්නේ, රජයේ පත්වීම් කුසලතා මත පදනම්ව ලබා දෙන ලෙස ය.

විශ්වවිද්‍යාල තුළ සාමකාමී විරෝධතා වශයෙන් ආරම්භ වූ මෙම විරෝධය මේ වන විට රටපුරා නොසන්සුන් තත්ත්වයක් බවට පරිවර්තනය වී තිබේ.

විරෝධතා සම්බන්ධීකාරකවරුන් පවසන්නේ, පොලිසිය සහ බංගලාදේශ චත්‍රා ලීගය ලෙස හැඳින්වෙන පාලක අවාමි ලීගයේ ශිෂ්‍ය සංගමය සාමකාමී පෙළපාළිකරුවන්ට එරෙහිව කෲර ලෙස බලය භාවිත කරන අතර, ඉන් මහජනතාව ප්‍රකෝපකාරී වෙමින් සිටින බව ය.

රජය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

පසුගිය සඳුදා දිනයේ සිට ගැටුම් පැවතිණි. ප්‍රචණ්ඩත්වය අතිශයින් ඉහළ ගියේ බ්‍රහස්පතින්දා දිනයේදී ය. එදින පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ.
දැනට ප්‍රචණ්ඩ ක්‍රියාවලින් පුද්ගලයන් 100 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර සිකුරාදා පමණක් 50 කට වැඩි පිරිසක් මිය ගියහ.

රජය හදිසියේ ඉන්ටර්නෙට් බිඳ වැට්ටවීමක් සිදු කර ඇති අතර දුරකතන සේවා සීමා කර ඇත.

ZDF35Y
"මේක තවදුරටත් සිසුන්ගේ විරෝධතාවක් නෙවෙයි, සෑම තරාතිරමක ම මිනිසුන් විරෝධතා ව්‍යාපාරයට සම්බන්ධ වී ඇති බව පේනවා," ඩකා විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය ආචාර්ය සමීනා ලුත්ෆා බීබීසීයට පවසයි.

විරෝධතා ඇති වීමට දිගු කාලයක් ගත විය.

බංගලාදේශය ලෝකයේ වේගයෙන් ම වර්ධනය වන ආර්ථිකයන්ගෙන් එකක් වුව ද, විශේෂඥයින් පෙන්වා දෙන්නේ, එම ආර්ථික වර්ධනය විශ්වවිද්‍යාල උපාධිධාරීන් සඳහා රැකියා බිහි කරන ආර්ථිකයක් බවට පරිවර්තනය වී නොමැති බව ය.

ඇස්තමේන්තුවලින් පෙනී යන්නේ, බංගලාදේශයේ තරුණයින් මිලියන 18ක් පමණ රැකියා අපේක්ෂාවෙන් පසු වන බව ය. අඩු අධ්‍යාපනයක් සහිත රැකියා අපේක්ෂකයින්ට සාපේක්ෂව උපාධිධාරීන්ගේ රැකියා විරහිතභාවය ඉහළ අගයක් ගනී.

බංගලාදේශය නිමි ඇඳුම් අපනයනයෙහි බලාගාරයක් බවට පත්ව තිබේ. ගෝලීය වෙළෙඳපොළ වෙත බංග්ලාදේශය ඇමෙරිකානු ඩොලර් බිලියන 40ක පමණ නිමි ඇඳුම් අපනයනය කරයි.

මෙම ක්ෂේත්‍රය තුළ පුද්ගලයින් මිලියන 4කට අධික පිරිසකට රැකියා උත්පාදනය වී ඇති අතර, ඉන් බහුතරය කාන්තාවන් ය. එහෙත්, අපේක්ෂිත තරුණ පරම්පරාව සඳහා කර්මාන්ත ශාලාවල රැකියා ප්‍රමාණවත් නැත.

අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ 15 අවුරුදු පාලනය යටතේ, නව මාර්ග, පාලම්, කර්මාන්ත ශාලා සහ ඩකා අගනුවර මෙට්‍රෝ දුම්රිය සේවාවකින් ද පරිවර්තනයකට ලක් විය.

ZXDFWET

අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා අවුරුදු 15ක සිට බලයේ රැඳී සිටී


පසුගිය දශකය තුළ එහි ඒක පුද්ගල ආදායම තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති අතර, පසුගිය වසර 20ක කාලය තුළ මිලියන 25කට අධික ජනතාවක් දරිද්‍රතාවයෙන් මුදාගෙන ඇති බව ලෝක බැංකුව ඇස්තමේන්තු කර ඇත.

එහෙත්, බොහෝ දෙනෙකු පවසන්නේ, එම වර්ධනයෙන් ඇතැම් කොටසක් 2009 සිට බලයේ සිටින හසීනාගේ අවාමි ලීගයට හිතවාදී පුද්ගලයින්ට පමණක් උපකාර වන බව ය.

ආචාර්ය ලුත්ෆා මෙසේ පවසයි: "දූෂණ රැසක් අපට පේනවා. විශේෂයෙන් ම ආණ්ඩු පක්ෂයට සමීප අය අතර. දඬුවම් ක්‍රියාත්මක නොවී දීර්ඝ කාලයක් තිස්සේ දූෂණය සිදුවෙමින් පවතිනවා."

බංගලාදේශයේ සමාජ මාධ්‍යවල මෑත මාසවල වැඩි අවධානයක් යොමු වූයේ, හිටපු හමුදා ප්‍රධානියෙකු, හිටපු පොලිස් ප්‍රධානියෙකු, ජ්‍යෙෂ්ඨ බදු නිලධාරීන් සහ රාජ්‍ය බඳවා ගැනීමේ නිලධාරීන් ඇතුළුව හසීනාගේ හිටපු ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකුට එරෙහි දූෂණ චෝදනා පිළිබඳව ය.

ෂෙයික් හසීනා පසුගිය සතියේ කියා සිටියේ, තමන් දූෂණයට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවත්, එය දීර්ඝ කාලීන ගැටලුවක් බවත් ය.

ඩකාහි පැවති එම මාධ්‍ය හමුවේදී ම ඇය කියා සිටියේ, ඇමෙරිකානු ඩොලර් මිලියන 34ක් උපයාගත් බවට චෝදනා ලැබීමෙන් පසුව ඇයගේ ගෘහ සහකාර - හෝ කාර්ය සහයකට එරෙහිව පියවර ගත් බව ය.

ඇය මෙසේ පැවසීය: "ඔහුට හෙලිකොප්ටරයක් නැතිව කොහෙවත් යන්න බෑ. එතරම් මුදලක් ඔහු උපයා ගත්තේ කොහොම ද? මේක දැනගත්ත වහා ම මම පියවර ගත්තා."

ඇය එම පුද්ගලයා හඳුනාගෙන තිබුණේ නැත.

බංගලාදේශ මාධ්‍යවල ප්‍රතිචාරය වූයේ, මෙතරම් මුදලක් එකතු කර ගත හැකිව තිබුණේ රජයේ කොන්ත්‍රාත්තු, දූෂණ හෝ අල්ලස් සඳහා බලපෑම් කිරීමෙන් පමණක් බවට ය.

වරක් හසීනාගේ සමීප සගයකු ලෙස සැලකූ හිටපු පොලිස් ප්‍රධානි බේනසීර් අහමඩ් නීතිවිරෝධී ක්‍රම මගින් ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනින් මුදල් රැස් කිරීම සම්බන්ධයෙන් බංග්ලාදේශයේ දූෂණ විරෝධී කොමිසම විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

ඉහළ යන ජීවන වියදම සමග අරගලයක නිතර වන රටේ සාමාන්‍ය ජනතාවගෙන් මෙම පුවත ගිලිහී ගියේ නැත.

දූෂණ චෝදනාවලට අමතරව, බොහෝ මානව හිමිකම් ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ, හසීනාගේ පාලනය යටතේ පසුගිය වසර 15 තුළ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරකම් සඳහා ඇති ඉඩකඩ හැකිළී ගොස් ඇති බව ය.

"එක දිගට පවත්වපු මැතිවරණ තුනකදී ම විශ්වසනීයභාවයෙන් යුත්, නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමේ ක්‍රියාවලියක් සිදුවුණේ නෑ," හියුමන් රයිට්ස් වොච් ආයතනයේ දකුණු ආසියානු අධ්‍යක්ෂිකා මීනාක්ෂි ගංගුලි බීබීසී පුවත් සේවයට පැවසීය.

SZFDQW354බ්‍රහස්පතින්දා විරෝධතා අතරතුර අනතුරට පත් කාන්තාවක්


"තමන්ගේ නායකයා තෝරා ගැනීමේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් මිනිසුන්ට ඇති අතෘප්තියේ මට්ටම ඇය සමහර විට අවතක්සේරු කරලා තියෙන්න පුළුවන්," මීනාක්ෂි ගංගුලි පැවසුවා ය.

එරට ප්‍රධාන විපක්ෂය වන බංග්ලාදේශ ජාතික පක්ෂය (BNP) 2014 සහ 2024 මැතිවරණ වර්ජනය කළේ, ෂෙයික් හසීනා යටතේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්විය නොහැකි බවත්, ම්‍යස්ථ භාරකාර පාලනයක් යටතේ මැතිවරණ පැවැත්විය යුතු බවත් පවසමිනි.

ෂෙයික් හසීනා මෙම ඉල්ලීම් සෑම විට ම ප්‍රතික්ෂේප කර තිබේ.

ZDFWER33
මානව හිමිකම් කණ්ඩායම් ද පවසන්නේ, පසුගිය වසර 15 තුළ පුද්ගලයන් 80 දෙනෙකුට වැඩි පිරිසක් අතුරුදන් වී ඇති බවත්, ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු රජය විවේචනය කළ අය බවත්, ඔවුන්ගේ පවුල්වලට ඔවුන් පිළිබඳ කිසිදු තොරතුරක් ලැබී නොමැති බවත් ය.

වසර ගණනාවක් පුරා ෂෙයික් හසීනා වඩ වඩාත් අත්තනෝමතික ලෙස වර්ධනය වී ඇති බවට පුළුල් අවධානයක් යොමු වී ඇති අතර, විසම්මුතිය සහ මාධ්‍ය යටපත් කිරීම සම්බන්ධයෙන් රජයට චෝදනා එල්ල වේ. එහෙත්, ඇමතිවරු එම චෝදනා ප්‍රතික්ෂේප කරති.

"ආණ්ඩුවට සහ පාලක පක්ෂයට එරෙහි කෝපය දිගු කලක් තිස්සේ ඉහළ යමින් තිබෙනවා," යනුවෙන් ආචාර්ය ලුත්ෆා පවසයි.

"ජනතාව දැන් ඔවුන්ගේ කෝපය පෙන්වමින් සිටිනවා. මිනිසුන්ට කිසි ම පිළිසරණක් නැති වුණා ම විරෝධතාවලට යොමු වෙනවා."

රජය ප්‍රකෝපකාරී ලෙස ක්‍රියා කරන බවට විරෝධතාකරුවන් චෝදනා කළ ද, රජය දැඩි සංයමයක් පෙන්නුම් කර ඇති බව හසීනාගේ ඇමතිවරු පවසති.

ඔවුන් පවසන්නේ, ප්‍රචණ්ඩත්වය ආරම්භ කළ විපක්ෂය සහ ඉස්ලාමීය පක්ෂ විසින් පෙළපාළි තුළට රිංගා ඇති බව ය.

ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජය සූදානම් බව නීති කටයුතු අමාත්‍ය අනිසුල් හක් පැවසීය.

"රජය විරෝධතාවල නිරත ශිෂ්‍යයින්ට ඇහුම්කන් දීමට උත්සහ කරනවා. පිළිගත හැකි තර්කයක් තියෙනවා නම්, අපි කැමතියි සවන් දෙන්න," මෙම සතිය මුලදී අනිසුල් හක් බීබීසී පුවත් සේවයට පැවසීය.

2009 ජනවාරි මාසයේ සිට ෂෙයික් හසීනා මුහුණ දුන් දැවැන්ත ම අභියෝගය ශිෂ්‍ය විරෝධතා විය හැකි ය.

ඒවා විසඳෙන්නේ කෙසේ ද? යන්න රඳා පවතින්නේ, ඇය නොසන්සුන්තාව හසුරුවන ආකාරය සහ, වඩාත් ම වැදගත් දෙය නම්, ඇය මහජනතාවගේ වැඩෙන කෝපය ආමන්ත්‍රණය කරන්නේ කෙසේ ද? යන්න මත ය.

(අන්බරසන් එතිරාජන්)
දකුණු ආසියානු කලාපීය කර්තෘ

(BBC සිංහල සේවය)


Bangladesh imposes curfew as protests continue


 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...