ජනාධිපති ධුරයෙන් ඉවත් වෙන්නැයි, ඩිමොක්‍රටික් පක්ෂය තුළින් බයිඩන්ට විරෝධයක් එල්ල වූයේ, ඔහුගේ වයස සැලකිල්ලට ගනිමිනි. 81 හැවිරිදි බයිඩන් ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්ව සිටින වයස්ගතම පුද්ගලයාය.
ජනාධිපති ධුර අපේක්ෂිකාව ලෙස ඉන්දීය සම්භවයක් ඇති කමලා හැරිස්, නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වී, ප්‍රතිවාදී අපේක්ෂක 78 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප් පරදා ජයග්‍රහණය කළොත්, ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්වන පළමු කාන්තාව ඇය වනු ඇත.
හිටපු ඇමෙරිකන් ජනාධිපති බැරැක් ඔබාමා පවසා ඇත්තේ බයිඩන් නිවැරදි තීරණය ගත් බවත් දැන් ඔහු ගෞරවණීය ලෙස ජනාධිපති ධුරයෙන් සමුගනු ඇති බවත්ය. ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩල හිටපු කතා නායිකාව නැන්සි පෙලෝසී ද බයිඩන්ට ප්‍රසංශා කර තිබේ.
ඇමෙරිකන් ජනතාවගේ යහපත වෙනුවෙන් බයිඩන් ගත් තීරණය ගෞරවාන්විත යැයි එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය කියේර් ස්ටාර්මන්, කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ, ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස්, ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂොල්ස් ඇතුළු ලෝක නායකයෝ පැහැදිලි කර තිබේ.
ඇමෙරිකා ජනාධිපතිවරයකුට හිමි වන්නේ ධුර කාල දෙකකි. බයිඩන්ගේ පළමු ධුර කාලය මෙම වසරෙන් අවසන් වෙයි. බයිඩන් එම ධුර කාලය සම්පූර්ණ කර, දේශපාලනයට සමුදෙනු ඇතැයි ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් නොවැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ, ඔහුට එක් ධුර කාලයක් ඉතිරි වී ඇති බැවිනි.
ඉන්දීය සම්භවයක් ද ඇති 59 හැවිරිදි කමලා හැරිස්, දේශපාලනයට පිවිසීමට පෙර, කැලිෆෝනියා ජනපදයේ නීතිපති ලෙස කටයුතු කළාය. ඇය කණිෂ්ඨ සෙනෙට් සාමාජිකාවක් බවට තේරී පත් වූයේ 2017 වසරේදීය. කැලිෆෝනියාවේ නීතිපති බවට පත් වුණු පළමු කළු සමක් ඇති පුද්ගලයා ද කමලා හැරිස්ය.
2020 ජනාධිපතිවරණ සටනට, ඩිමොක්‍රටික් පක්ෂයෙන්, බයිඩන් පමණක් නොව, ඇය ද ඉදිරිපත් වූවාය. කෙසේ නමුත් ඇයට ඉදිරියට යෑම කළ නොහැකි විය. හැරිස් යළි මැතිවරණ වේදිකාවට ගෙන්වා ගත්තේ බයිඩන් විසිනි. ඒ, බයිඩන් ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රධාන ජනාධිපති ධුර අපේක්ෂකයා වීමෙන් පසුවය. බයිඩන් සිය දෙවැනියා මෙන්ම උප ජනාධිපති අපේක්ෂිකාව ලෙස කමලා හැරිස් තෝරා ගත්තේය. 2020 ජනාධිපතිවරණයෙන් බයිඩන් ජය ගත් පසු උප ජනාධිපති ධුරය කමලා හැරිස්ට හිමිවිය.
බයිඩන්, ජනාධිපති සටනින් ඉවත් වී, ඒ සඳහා තමන් සුදුසු යැයි යෝජනා කිරීම ගැන කමලා හැරිස් සතුට පළ කරයි. එය 'පරාර්ථකාමී, නිර්භීත, දේශප්‍රේමී ක්‍රියාවක්' යැයි කමලා හැරිස් පවසා තිබේ. ජනාධිපති ධුර අපේක්ෂිකාව වීම තමන්ට ලොකු ගෞරවයක් බව ද කමලා හැරිස් පැහැදිලි කර ඇත.
ඊට අමතරව, ඩිමොක්‍රටික් පක්ෂයේ ජය තහවුරු කිරීමට තමන්ට හැකි බව ද කමලා හැරිස් මාධ්‍ය හමුවේ පවසා ඇත.
(සී.එන්.එන්.)
(උපුටා ගැනීම - lankadeepa.lk)



