හමාස් ප්‍රාණ ඇපයේ සිටි ඊශ්‍රායල ජාතිකයින් 6 දෙනකුගේ මළ සිරුරු දකුණ ගසා තීරයේ භූ ගත උමං මාර්ගයක තිබී සොයා ගැනේ. ඇමෙරිකානු ද්විත්ව පුරවැසි භාවය හිමි පුද්ගලයකු ද ඒ අතර වන බව ඊශ්‍රායලය පවසයි.

මස 11 ක කාලයක් පුරා ඇවිලෙන ඊශ්‍රායල-හමාස් යුද ගැටුමින් මේ වන විට, පලස්තීනුවන් 40,000 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි අල්ජසීරා (aljazeera) පුවත් සේවය පවසයි.
පලස්තීන හමාස් සටන් කරුවන් ඉකුත් ඔක්තෝබර 07 වැනි දින ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයත් සමග ගැටුම් ආරම්භ විය. එදින ප්‍රහාරයෙන් පුද්ගලයින් 1,100 ක ට අධික පිරිසක් ඝාතනය වූ අතර, ඊශ්‍රායල ජාතිකයින් 250 දෙනෙක් හමාස් ප්‍රාණ ඇපයට පත් වූහ. ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීම පිණිස දරන ලද සියලු ප්‍රයත්න මෙතෙක් ඊශ්‍රායල විසින් මගහැර ඇති බවට හමාස් සංවිධානය චෝදනා කරයි.
ගාසා හි, රෆා (Rafah) ප්‍රදේශයේ භූගත උමං පද්ධතියක තිබී, ඝාතනය කරන ලද ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් සය දෙනාගේ සිරුරු හමු වූ බව එරට හමුදා අද ප්‍රකාශ කළේය. ඔවුන්ගේ සිරුරු, අනන්‍යතාව සොයා ඊශ්‍රායල රජයට භාර දීමට කටයුතු කෙරිණි. ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් ඝාතනය වී ඇත්තේ, හමුදා මෙහෙයුමට ඉතා ආසන්න වේලාවක බව හමුදාව අනුමාන කරයි.
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, ප්‍රාණ ඇපකරුවන් සය දෙනා ජීවිතකෂයට පත්වූ බව ජ්‍යෙෂ්ඨ හමාස් නිලධාරියකු වන ඉසාත් අල්-ඍෂෙක් (Izzat al-Risheq) ප්‍රකාශ කරයි. ඊශ්‍රායලය ට අයුතු සාහය පළ කිරීම සම්බන්ධයෙන් ඔහු එක්සත් ජපනපදයට ද චෝදනා එල්ල කර සිටී.
මරණවලට වගකිවයුතු හමාස් නායකයින් ඇතුළු සියලු සාමාජිකයින් මරා දමන බවට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සපථ කළේය. ප්‍රාණ ඇපකරුවන් ඝාතනය කළ ත්‍රස්තයින් සමග කිසිඳු එකඟතාවක් නැතැයි ද ඔහු පවසයි.
ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් සය දෙනාගේ මළ සිරුරු සොයාගැනීමත් සමග එරට සිවිල් කැළඹීම් උග්‍ර වී තිබේ.
හමාස් ප්‍රාණ ඇපයට පත් ඊශ්‍රායල ජාතිකයින්ගේ පවුල් සාමාජිකයින්ගෙන් සැදි 'ප්‍රාණ ඇපකරු සංසදය', මැද පෙරදිග යුද්ධය සම්බන්ධයෙන් එරට අග්‍රාමාත්‍යවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපයට එරෙහිව අද එරට, දැවැන්ත උද්ඝෝෂණයක් කැඳවීමට පියවර ගත්තේය.
වහා සටන් විරාමයකට එළැඹ, ඉතිරි ප්‍රාණ ඇපකරුවන් මුදා ගන්නා තෙක්, සමස්ත ඊශ්‍රයලය පුරා දැවැන්ත වැඩ වර්ජනයක් දියත් කිරීමට බල කරමින් උද්ඝෝෂකයෝ වීදි බසිමින් සිටිති.
පුරා මාස දෙකකට අධික කාලයක් විවිධ හේතූන්මත අපේක්ෂිත සටන් විරාමය කල් දැමීමෙන් සිය "ආදරණීයයන්" අකාලයේ ඝාතනය වූ බවත්, අගමැති නෙතන්යාහු ඊට වගකිව යුතු බවත් ඔවුහු චෝදනා කරති.
වහා සටන් විරාමයකට බල කරමින් සෑම සංවේදී ඊශ්‍රායල පුරවැසියකුම නෙතන්යාහුට එරෙහිව වීදි බසින ලෙස එරට විපක්ෂ නායක යෛර් ලපිඩ් (Yair Lapid) මහජනතාවගෙන් ඉල්ලා සිටී.
නෙතන්යාහුට අයත් 'මරණයේ කැබිනෙට්ටුව' ප්‍රාණ ඇපකරුවන් මුදා නොගැනීමට තීරණය කර ඇතැයි ඔහු පවසයි.
වහා ඊශ්‍රායල ආර්ථිකය, මුළුමනින්ම අක්‍රීය කර දමන ලෙස ඔහු එරට ප්‍රධාන වෘත්තීය සමිතියෙන්, සියලු ආයතන ඇතුළු කර්මාන්ත හිමිකරුවන්ගෙන් සහ රාජ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
ඊශ්‍රායල විශ්වවිද්‍යාල මහාචාර්යවරු ඇතුළු විවිධ වෘත්තිකයෝ රැසක්ද නෙතන්යාහු අග්‍රාමාත්‍යවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය හෙලා දකිති.
අග්‍රාමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය, ප්‍රාණ ඇපකරුවන්ගේ මරණ වරෙන්තුවට අත්සන් තැබීමක් බව ඔවුහු චෝදනා කරති.
ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් (Joe Biden), ප්‍රාණ ඇපකරුවන්ගේ ඝාතන සම්බන්ධයෙන් සිය දැඩි කණගාටුව සහ අප්‍රසාදය පල කර තිබේ. හමාස් නායකයින්ට ඒ වෙනුවෙන් ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවෙතැයි ඔහු පවසයි. ඉතිරි ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ වැඩපිළිවෙලක් පිණිස පැය 24 පුරා කටයුතු කරමින් සිටින බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.
හමාස් අත්අඩංගුවේ පසු වූ දකුණු ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවකු, අද ප්‍රාණ ඇපකරුවන්ගේ මළ සිරුරු හමුවූ ස්ථානයට කිලෝ මීටර කිහිපයක් නුදුරින්, ඊශ්‍රායල හමුදා විසින්, මීට දින කිහිපයකටපෙර, ත්‍රස්ත ග්‍රහණයෙන් මුදා ගැනිණි.
ඉකුත් ජුලි මස 02 වන දා හමාස් සංවිධානය නිකුත් කළ සිය ග්‍රහණයෙන් නිදහස් කිරීමට අනුමත ප්‍රාණ ඇපකරු ලේඛනයෙහි, අද දින ඝාතනය වූ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් තිදෙනකු ගේ නම් සඳහන්ව තිබූ බව,නම සඳහන් කිරීම ප්‍රතික්ෂේප කළ, ඊශ්‍රායල නිලධාරියකු විසින් ප්‍රකාශ කර තිබේ.
(Aljazeera ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත)
මූලාශ්‍ර:



