ඇතන්ස් නුවර පිහිටි අදාළ නැව් සමාගමේ, ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරියකුගේ පුද්ගලික සහ ව්‍යාපාර ඊ-මේල් ගිණුම් වෙත ඉකුත් මැයි මස දිනෙක මධ්‍යම රාත්‍රිය ආසන්නයේ ලද එම පණිවුඩය මගින්, "පහර කෑමට" සූදානම් වන ලෙස දැනුම් දී ඇත.
එම සංවිධානය විසින් පනවා ඇති නීති උල්ලංඝනය කිරීම හේතුකොට, රතු මුහුදේ යාත්‍රා කෙරෙන අදාළ ග්‍රීක සමාගමට අයත් සියලු නෞකාවන්ට, යේමනයේ හුති කැරලිකරුවන් වෙතින් ප්‍රහාර එල්ල වීමේ අවදානක් පවතින බවට එමගින් දන්වා තිබිණි.
හුති කැරලිකරුවන් ඉරාන සහාය සහිත ත්‍රස්ත කණ්ඩායමක් ලෙස නම් කර තිබේ.

මෙම ග්‍රීක නැව් සමාගමට අයත් නෞකාවක් හුති සංවිධානය විසින් පනවා ඇති, සංක්‍රාන්ති නීති උල්ලංඝනය කරමින් ඊශ්‍රායල වරායක නැංගුරම්ලා ඇති බවත්, අභිමත මුහුදු සීමාව තුළ, ඕනෑම මොහොතක, එම නෞකාව යේමන සන්නද්ධ හමුදාවන් හි සෘජු ප්‍රහාරයකට ලක්විය හැකි බවත් එම පණිවුඩයේ සඳහන්ය. නෞකාව තහනම් ලැයිස්තුගත කෙරෙන බවද එමගින් වැඩි දුරටත් දන්වා තිබේ. පනවා ඇති නීති උල්ලංඝනය කෙරෙන්නේ නම්, සමාගම සතු සියලු නෞකාවන්ට එරෙහිව, එකී මුහුදු සීමා තුළ මෙහෙයුම් සිදු කරන බවටද එහි තර්ජනය කර ඇත.
යේමනයේ පිහිටි මානුෂීය මෙහෙයුම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (Humanitarian Operations Coordination Center) නම් ආයතනයක් මගින් එම ඊ-මේල් පණිවිඩය යොමු කර තිබේ. එම මුල් පණිවුඩයෙන් පසු, ඉකුත් මැයි මස සිට මේ දක්වා, අවම වශයෙන් තවත් ග්‍රීක නැව් සමාගම් හයක් වෙත එවැනි ඊ-මේල් පණිවුඩ ලැබී ඇතැයි වාර්තා වේ. හුති කැරලිකරුවන්ගේ මෙම නවතම උපක්‍රමය මගින්, ඊශ්‍රායලයට අවම සහාය සහිත හෝ කිසිදු සහායක් නොදක්වන ග්‍රීසිය වැනි ස්වාධීන රටවලට අයත් වෙළඳ නෞකා පවා අවදානමට ලක් කර ඇතැයි ඒ පිලිබඳ විශ්ලේෂකයෝ පෙන්වාදෙති.

ඉකුත් වසරේ නොවැම්බරයේ සිට, එක්සත් ජනපද, බ්‍රිතාන්‍ය, ඊශ්‍රායල සහ ඒ හා මිත්‍ර රටවල ධජ යටතේ රතු මුහුද පසු කර යාත්‍රා කරමින් තිබූ නෞකා 100ක ට අධික සංඛ්‍යාවක් හුති ත්‍රස්ත ප්‍රහාරයන්ට ලක් විය. එම වෙළඳ නෞකා බොහොමයක්, ත්‍රස්තවාදීන්ගේ මිසයිල, සන්නද්ධ ඩ්‍රෝන සහ පුපුරන ද්‍රව්‍ය පිරවූ යාත්‍රා ප්‍රහාරයන්ට බඳුන් විය. ගාසා ගැටුම සම්බන්ධව, ඊශ්‍රායලයට එරෙහිව පලස්තීනයට පක්ෂපාතීත්වය පිළිබිඹු කරනු පිණිස එම ප්‍රහාර එල්ල කරන බව හුති ත්‍රස්තයෝ පවසති.
(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි).
මූලාශ්‍ර: Houthis warn shipowners in new phase of Red Sea campaign: Prepare to be attacked



