BREAKING
Top Ad
විදේශ

'කලාපය පුරා ඇත්තේ ඊශ්‍රායල දණ්ඩමුක්තියට යටත් වූ සමූහ සමූලඝාතනයක්'

T

The Leader Desk

October 3, 2024 • 3:10 PM

'කලාපය පුරා ඇත්තේ ඊශ්‍රායල දණ්ඩමුක්තියට යටත් වූ සමූහ සමූලඝාතනයක්'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දකුණු ලෙබනනයේ අද පැවති ගැටුම් වලින් අවම වශයෙන් හිස්බුල්ලා සාමාජිකයින් 15 දෙනකුවත් මරණයට පත් වූ බව ඊශ්‍රායල හමුදා ප්‍රකාශ කරති.
  • පෙරේදා (01) ඉරානය විසින්, ඊශ්‍රායල අභ්‍යන්තරය වෙත  180කට අධික බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය.
  • ඊට ප්‍රති ප්‍රහාර දක්වන බව ඊශ්‍රායලය පමණක් නොව ඇමෙරිකා එක්සත් ජනපදය ද සපථ කර සිටී.
  • මීට තෙමසකට පෙර, ගාසා තීරයේ සටන් වලින් හමාස් රාජ්‍ය ප්‍රධානී රව්හි මුෂ්තහා (Rawhi Mushtaha) ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු වන සමේ අල්-සිරාජ් ( Sameh al-Siraj) සහ සමී ඖදෙ (Sami Oudeh) ද ඝාතනය කළ බව ඊශ්‍රායලය අද තහවුරු කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඊශ්‍රායල ගුවන් හමුදාව අද ලෙබනනයේ බීරුත් අගනුවරට යළි බෝම්බ හෙලූහ.

ඊශ්‍රායලය, වසරකට ආසන්න කාලයක් ගාසා තීරයේ හමාස් සංවිධානය හා සටන් වදිමින් සිටී.

හමාස් වෙත සහාය පල කරන හිස්බුල්ලා සන්නද්ධ සාමාජිකයින් සොයා මීට දෙසතියකට පෙර සිට, ලෙබනනය වෙත දැවැන්ත ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව,  සිය සන්නද්ධ හමුදා සේනාංක යොදා ලෙබනනය, භූමිය මතින්ද ආක්‍රමණය කළේය.

හමාස් සහ හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායම් වෙත සහාය පිණිස, මේ වන විට, ඉරානය ද එක්ව  සිටී. පෙරේදා (01) ඉරානය විසින්, ඊශ්‍රායල අභ්‍යන්තරය වෙත  180කට අධික බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. ඊට ප්‍රති ප්‍රහාර දක්වන බව ඊශ්‍රායලය පමණක් නොව ඇමෙරිකා එක්සත් ජනපදය ද සපථ කර සිටී.

මීට තෙමසකට පෙර, ගාසා තීරයේ සටන් වලින් හමාස් රාජ්‍ය ප්‍රධානී රව්හි මුෂ්තහා (Rawhi Mushtaha) ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු වන සමේ අල්-සිරාජ් ( Sameh al-Siraj) සහ සමී ඖදෙ (Sami Oudeh) ද ඝාතනය කළ බව ඊශ්‍රායලය අද තහවුරු කළේය.

අද, ලෙබනනයේ බින්ට් ජෙබෙල් (Bint Jbeil) නුවර, නගර සභා ගොඩනැගිල්ල ඉලක්ක කළ ඊශ්‍රායල ප්‍රහාරයෙන් 15 දෙනකු ඝාතනය විය.  බීරුත් බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාවද ඉහළ යමින් පවතී.

 "මහපොළොව නුහුල්ලන බිහිසුණු බෝම්බ පිපිරුම්, ගණනින් ගණිමින්   බීරුත් හි තවත් නිදි නැති රැයක් පහන් කරමි. ඉදිරියේ පවත්නේ අවිනිශ්චිත බවින්  පිරි කාලයක් පමණි. සෑම  තැනකම බිය සහ ඒ අවිනිශ්චිත බවම රජ කරයි," යනුවෙන් ලෙබනනයේ,  එක්සත් ජාතීන්ගේ (UN) විශේෂ සම්බන්ධීකාරක  නිලධාරිනී  ජෙනින් හෙනිස්-ප්ලැස්චැත් ( Jeanine Hennis-Plasschaert) එක්ස් (X) පණිවුඩයක් තබමින් අද ප්‍රකාශ කළාය.

ඊශ්‍රායලයේ පළි  ගැනීම් අහවර කිරීම පිණිස තද බල සටන් විරාමයක් අවැසි බවත්, පලස්තීන රාජ්‍යයෙන් තොර සාමයක්   මැද පෙරදිග කලාපයේ  කිසිදා   බිහි නොවන බවත් කටාර් හි  එමීර්වර, ෂෙයික් තමිම් බින් හමාඩ් අල්-තානි (Sheikh Tamim bin Hamad Al-Thani) පවසයි.  කලාපය පුරා පවත්නේ ඊශ්‍රායල දණ්ඩමුක්තියට යටත් වූ "සමූහ සමූලඝාතනයක්" බව ඔහු කියා සිටී.

දෝහා හි පැවති ආසියා සහයෝගිතා දෙබස් සමුළුවට (Asia Cooperation Dialogue summit) සහභාගී වෙමින් ඔහු එම අදහස් ප්‍රකාශ කළේය.

ඊට එක්වූ ඉරාන ජනපති මසුද් පෙසෙස්කියාන් (Masoud Pezeshkian) ද එවැනිම අදහසක් ඉදිරිපත්  කරමින්, යුදකාමී ඊශ්‍රායලය ඉදිරියේ මුනිවත රැකීම බියගුළු කමක් සේ නොදකින ලෙස අනතුරු අඟවා සිටී. කිනම් ආකාරයේ හමුදා ප්‍රහාරයක්, මැදිහත්වීමක්, ත්‍රස්ත ක්‍රියාවක් හෝ ඉරාන "රතු ඉර" පැනීමක් සිදු කළහොත්,  සිය හමුදා විසින් ඊශ්‍රායලයට තීරණාත්මක ප්‍රහාරයක් එල්ල කරනු ඇති බවට ඔහු ගුගුලේය.

ඉකුත් ඔක්තෝබර  07 දායින් පසු සිදු කළ අනේක විධ ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන්, මේ වනවිට, හමාස් සහ හිස්බුල්ලා නායකයින් සහ කොමාන්ඩෝ කාඩර්වරුන් විශාල සංඛ්‍යාවක් මරු වැළඳ සිටිති.

හිස්බුල්ලා නායක නස්රල්ලාගේ ඝාතනයත් සමග ඉරානයට සිය ප්‍රබලතම අරාබි සහාය අහිමි විය. ලෙබනනයේ  හිස්බුල්ලා බලකාය, මැද පෙරදිග වඩාත් බලසම්පන්න සහ ශක්තිමත් සන්නද්ධ සහ දේශපාලන බලය බවට පත් කෙරුනේ ඔහුගේ නායකත්වය යටතේය.

යේමනයේ හුති ත්‍රස්තයින් සහ ඉරාකයේ  කැරලිකාර කොටස් ද මේ වන විට, ඊශ්‍රායලයට එරෙහිව යුද වදිමින් සිටිති.

වසරක්  පුරා පවතින දේශසීමා ගැටුම් වලට මැදිව වත්මන,   ලෙබනනයේ 1,900 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව, 9000ක ට වැඩි පිරිසක් තුවාල ලබා සිටිති. ඊශ්‍රායල ප්‍රහාර හේතු කොට, අවතැන් පත් ලෙබනන වාසීන් සංඛ්‍යාව මිලියන 1.2ක ට අධිකය.

බීරුත් නගරයේ පිහිටි සමාජ ශාලාවක් දැන් අවතැන් මධ්‍යස්ථානයකි. කලක් වින්දනීයයන්ගෙන් පිරී ගිය එහි,    අද වින්දිතයින් විශාල පිරිසකට 'අවිනිශ්චිත' ජීවිත රැකවරණ සැලසෙයි.

ලෙබනනයේ ධීවර ප්‍රජාවද යුද්ධයෙන් මහත් අසීරුතාවට පත්ව සිටිති. "කිසිත් නොකළැකි තත්වයක සිටත් ජීවිතය ගැටගසා ගැනීමට අපට සිදුවෙලා. ඔවුන් යුද ගැටෙන අතර අප ජීවිතය  ගැට ගසා ගැනීමට  පොර බදනවා," යි එහි එක් ධීවරයෙක් රොයිටර්ස් (Reuters) පුවත් වෙත පැවසීය.

ලෙබනනයේ භූමි ක්‍රියාන්විත උදෙසා නිරන්තරයෙන් ඊශ්‍රායල හමුදා සේනාංක එක්  වෙමින් සිටිති. එරට 36 වන පාබල සහ සන්නද්ධ සේනාංකයේ ගොලානි බලකාය, 188 වන සන්නද්ධ බලකාය සහ 6 වන පාබල බලකාය ද සටනට පිවිසීමෙන් පෙනී යන්නේ, මුලින් සීමාන්විත ක්‍රියාන්විතයක් සේ  ඇරඹි  ආක්‍රමණය, සීමා රහිත පුළුල් යුද්ධයක් කරා සීග්‍රයෙන් ආදී යන බවම පමණය.  


(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ  උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:
Israel strikes heart of Beirut, killing six

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'කලාපය පුරා ඇත්තේ ඊශ්‍රායල දණ්ඩමුක්තියට යටත් වූ සමූහ සමූලඝාතනයක්' | The Leader