BREAKING
බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●SDIG රන්මල් ඇතුළු පිරිසගේ මාරුවීම් පොලිස් කොමිසමෙන් ප්‍රතික්ෂේපයි● එස්. එම්. මරික්කාර්: ජනපති ධුර කාලයෙන් 45%ක් අවසන්●
Top Ad
විදේශ

'නිල්ල' සොයා ජීවිතයත් මරණයත් අතර පලා යන කියුබානු තරුණයෝ

T

The Leader Desk

October 13, 2024 • 3:55 PM

'නිල්ල' සොයා ජීවිතයත් මරණයත් අතර පලා යන කියුබානු තරුණයෝ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කියුබානු ජාතික මයිරා රුයිස් (Mayra Ruiz) සෑම දිනක්ම පහන් කරන්නේ අතුරුදන් වූ සිය එකම පුතු මයිකෙල් ගොන්සාලෙස්
  •   එතැන් සිට, තෙවසරකට අසන්න කාලයක් සිය පුතුගෙන් ඇමතුමක් ලැබෙන තෙක් 61 හැවිරිදි මයිරා බලා හිඳී.
  •   කියුබාවේ රැඳී නම්, ගොන්සාලෙස් ගේ දැන් වයස අවුරුදු 28 කි.
  • ඔහු සංගීතයට සහ නර්තනයට බෙහෙවින් ඇලුම් කළ බව මව පවසන්නීය.
අකුරු ප්‍රමාණය (Font Size):

(Maiquel Gonzalez) පිලිබඳ 'අද අද' හෝ හෝඩුවාවක් ලැබෙතැයි මහත් අපේක්ෂාවෙනි.



 දිනෙන් දින ඉහළ යන ජීවන අර්බුද රැසකින් බැටකන, කැරීබියානු දිවයින් රාජ්‍යයක් වන කියුබාව අතැර ඇමෙරිකාවට පලා යන්නට ගැටවර පිරිස් රැසක් "දත කන්නේ"  මීට වසර ගණනක සිටය.  

එක්සත් ජනපදය සංක්‍රමණ නීති "තද" කිරීමට "ඔන්න මෙන්න" කියා තිබූ පසුබිමක,  2022 දෙසැම්බර් මස ගොන්සාලෙස් ඇතුළු  පිරිසක් ද 'අබ මල් රේණුවක' ද  ලකුණක් නොතබා කියුබාවෙන් අතුරුදන් වූහ.  

එතැන් සිට, තෙවසරකට අසන්න කාලයක් සිය පුතුගෙන් ඇමතුමක් ලැබෙන තෙක් 61 හැවිරිදි මයිරා බලා හිඳී.  

කියුබාවේ රැඳී නම්, ගොන්සාලෙස් ගේ දැන් වයස අවුරුදු 28 කි. ඔහු සංගීතයට සහ නර්තනයට බෙහෙවින් ඇලුම් කළ බව මව පවසන්නීය.  

ඔහු කුලී යතුරුපැදි කරුවකු වශයෙන් සුළු රැකියාවක නිරත වූවෙකි. අනෙක් ඕනෑම කියුබානු තරුණයකුට මෙන් ඔහුට ද සිහින රැසක් තිබිණි. ඒ අතර  මෝටර් රථයක් පිණිස වූ සිහිනය මුල් තැන විය. සිය දෙමාපියන් හා විසීමට, වඩා හොඳ නිවසක් තැනීමට ද ඔහුට වුවමනා විය.

 එහෙත්, කියුබානු ආර්ථික අර්බුදය හමුවේ ඒවා සිහින පමණක්ම විය. එවන් පසුබිමක, ගොන්සාලෙස්ට ද එරට අතහැර ඇමෙරිකාවට පලා යන්නන් අතරට එක්වීමට  සිදුවිය.  

ඔහුගේ මුල් සැලැස්ම වුයේ, ඩොලර් 5000 ක මිලක් ගෙවා ප්‍රථමයෙන් නිකරගුවාවට සහ එතැන් සිට, යළි එක්සත් ජනපද දේශ සීමාව වෙත "නැව් නගින්නට" ය. රටින් පලායන කියුබානුවන් රැසක් අනුදත් ජනප්‍රියම මුහුදු මග එයය.  

එහෙත් ඊට මුදල් මදි විය. කල් ගතවත්ම, හිටි හැටියේ, 'ගෙදර හැදූ' බෝට්ටුවකින්, ඩොලර් 200කටත් අඩු මුදලකට ෆ්ලොරිඩාවට පැන යාමේ දුලබ අවස්ථාවක් උදා වුයේය. එය, මුල් මුහුදු මාර්ගයට වඩා සැතපුම් 90 ක පමණ වැඩි දුරෙකි. දුර, එතරම් ගණන් ගත යුත්තක් නොවුවද, අවදානම කිසිසේත් ගිණිය නොහැකි තරමේය.  

කියුබාව සහ එක්සත් ජනපදය  අතර පිහිටි ෆ්ලොරිඩා මුහුදු කලාපය, සංක්‍රමණිකයින් විසින් භාවිත කෙරෙන ලොව ඇති දරුණුතම සමුද්‍ර සන්ධි පහෙන් එකක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) විසින් නම් කර ඇත. නිරන්තර කැළඹෙන රළ ස්වභාවයෙන් යුත් එය, මොහොතින් මොහොත දරුණු කාලගුණික විපර්යාසයන්ට ද ලක් වෙයි.  

ගොන්සාලෙස් ගමන්ගත් අතුරුදන් වූ සංක්‍රමණික යාත්‍රාවේ සිටි පිරිසට අයත් පවුල් සාමාජිකන් 40 ක පමණ පිරිසක් හා රොයිටර්ස් පුවත් සේවය, ඒ පිලිබඳ කරුණු විමසීමට ඉදිරිපත් විය.  

ජීවිතයත්, මරණයත් අතර අනවරත ගමනක්  වූ එම පලා යාමේ සිතියම ගැන කිසිදු පූර්ව දැනුමක් හෝ පැහැදිලි අවබෝධයක් සංක්‍රමණිකයින් සතුව නොපැවති බව එහිදී අනාවරණය විය.

ගොන්සාලෙස් ගේ මව මෙන්, කියුබානු සංක්‍රමණිකයින්ගේ පවුල් සාමාජිකයින් රැසක් අතුරුදන් වූවන් පිලිබඳ කිසියම් හෝ තොරතුරක් සොයා තවමත් වෙහෙසෙති.

2014 සිට, එම මුහුදු මාර්ගය ඔස්සේ පලාගිය සංක්‍රමණිකයින් 264 දෙනකු එහිදී ජීවිතක්ෂයට පත් වූ බව අතුරුදන් වූ සංක්‍රමණිකයින් පිලිබඳ එක්සත් ජාතීන්ගේ  ව්‍යාපෘතිය අනාවරණය කරයි. එහෙත්, එවැනි සමීක්ෂණ සිදු නොකළ මෙවැනි සිද්ධීන් ද පවතින බව එම සංවිධානය කියා සිටී.

ළඟ එන ඇමෙරිකානු ජනපතිවරණයට තරග වදින ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කමලා හැරිස් අතර, එරට සංක්‍රමණික නීති දැඩි කිරීම සම්බන්ධයෙන් එකිනෙකට පරස්පර විවාද රැසකි.

කෙසේ වුවත්, නොවැම්බර් 05 ජනපතිවරණයෙන් පසු එම නීති තවදුරටත් තදින් ක්‍රියාත්මක වනු ඇති බවට කියුබානු සංක්‍රමණිකයෝ බියට පත්ව සිටිති. ගොන්සාලෙස් ඇතුළු කියුබානුවන් පිරිස ඇමෙරිකාවට පලා ගිය 2022 වසරද සංක්‍රමණිකයින්ට, කියූ තරම් සුබ දායක වසරක් නොවූ බව එක්සත් ජනපද බලධාරීහු පවසති.

2020 සිට මේ දක්වා, සිය රට අතහැර පලා ගිය කියුබානුවන් පිරිස මිලියනයකට අධිකය. එය, එරට සමස්ත ජනගහනයෙන් දහයෙන් කොටසකට ආසන්නය. එම සංඛ්‍යාව තව දුරටත් වර්ධනය වෙමින් පවතී.

ඒ අතර, එක්සත් ජනපද සංක්‍රමණ නීති රෙගුලාසි පෙර කවරදාකත් නොවූ සේ දැඩි වෙමින් පවතී. සිය ආර්ථිකය සූරාකනුවස් පනවා ඇති සම්බාධක පිලිබඳ කියුබානු රජය ඇමෙරිකාවට චෝදනා කරයි. එහෙත්, සංක්‍රමණිකයින් පිලිබඳ ප්‍රශ්නයට පැහැදිලි විසඳුමක් දීමට දෙරටේම නායකයෝ තව දුරටත් අපොහොසත්ව  සිටිති.

නීති විරෝධී කියුබානු සංක්‍රමණිකයින් රැසක් ඇමෙරිකානු හමුදා විසින් රට තුළ හෝ බහමාස් හි රඳවා ඇතැයි ද බොහෝ සංක්‍රමණිකයින්ගේ පවුල් සාමාජිකයෝ කියා සිටිති. අතුරුදන්වූවන් පිලිබඳ ඔවුන් උනන්දු වන්නේද ඒ පිලිබඳ එම සත්‍යසත්‍යය  දැනගැනීම පිණිසය. එහෙත්, ෆ්ලොරිඩා සමුද්‍ර සන්ධියෙන් පලා එන සියලු නීති විරෝධී සංක්‍රමණිකයින් ආපසු හරවා යවන බවට ඇමෙරිකානු වෙරළාරක්ෂක භටයෝ පවසති.

කෙසේ වුවත්, ඉකුත් වසර 25 පුරාවට සංක්‍රමණික අර්බුදය, එක්සත් ජනපදය තුළ විවාදයට තුඩු දුන් මුඛ්‍ය කරුණෙකි. එය, මෙවර ඇමෙරිකානු ජනපතිවරණ වේදිකාවේද ප්‍රබල මාතෘකාවකි.

කියුබාවේ සමාජවාදී රජය මේ වන විට එරට, ආර්ථික අර්බුදය ජය ගන්නා හැඩක් නැත. ඊට පිළියම් ලෙස බොහෝ තරුණ කියුබානුවෝ "නිල්ල" සොයා තව දුරටත් රටින් පලා යමින් සිටිති.

 

(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ  උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:

Cubans are disappearing as they sail to America, leaving a painful void

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'නිල්ල' සොයා ජීවිතයත් මරණයත් අතර පලා යන කියුබානු තරුණයෝ | The Leader