එම බොහෝ තැන්හි දැකිය හැක්කේ අළු පැහැති සුවිසල් ආවාට පමණකැයි, රොයිටර්ස් පුවත් සේවය පවසයි.
ඊශ්‍රායල හමුදා එම ප්‍රදේශ අත්හළ පසු 'ප්ලැනට් ලැබ්ස්' (Planet Labs Inc) වෙතින් ලද චන්ද්‍රිකා ඡායාරූප නිරීක්ෂණයෙන් එම අනාවරණ සිදු කර ඇත.
පසුගිය ශතවර්ෂ දෙක පුරා ජනාවාසව පැවති, ඉපැරණි නගර ජනශුන්යව පවතී. ඊශ්‍රායල බෝම්බ හෙළීම්, ගුවන් ප්‍රහාර සහ භූමි ආක්‍රමණ හමුවේ එහි සියලු පදිංචි කරුවෝ නිවෙස් අතහැර පලා ගොසිණි.
අග්නිදිග ලෙබනනයේ කෆර්කෙලා (Kfarkela), දකුණුබද මෙසල්ජබාල් (Meiss al-Jabal) සහ බටහිරබද ලැබොනේ (Labbouneh) අතර කලාපය, ඊශ්‍රායල ප්‍රහාර හමුවේ, මෙසේ විනාශව තිබේ. ලැබොනේ ගම්මානය එක්සත් ජාතීන්ගේ සාම හමුදා රඳවා සිටි පෙදෙසේ පිහිටා ඇත.
මෙම ජනාවාසයන්හි, වසර සිය ගණනක් ඉපැරණි, දර්ශනීය මුල් නිවෙස් පිහිටා තිබිණි. ඒ වෙත, දහස් ගණන් ඊශ්‍රායල මිසයිල සහ ගුවන් ප්‍රහාර පතිත විය. අවසානය කෙසේ වේදැයි කිසිවකුට පැවසිය නොහැකි බව, මෙසල්ජබාල් නගරාධිපති අබ්දුල්මොනෙම් චෝව්කෙයිර් (Abdulmonem Choukeir) පවසයි.
විනාශයට පත් බොහෝ ජනාවාස, උස් සම භූමි මත ඊශ්‍රායලය දෙසට මුහුණලා පිහිටියේය.
පුරා වසරක අඛණ්ඩ වෙඩි හුවමාරුවලින් අනතුරුව, පසුගිය මස, දකුණු ලෙබනනයේ සහ ඉන් අභ්‍යන්තරය වෙත, ඊශ්‍රායල ප්‍රහාර දරුණු විය. භූමිය මතින්, එම හමුදා, දකුණු ලෙබනන කඳුකර පෙරමුණේ පිහිටි සියළු ප්‍රදේශ ද ආක්‍රමණය කළහ. ඇතැම් නාගරික කලාපයන්හි, හිස්බුල්ලා සටන්කරුවන් සමග මුහුණට මුහුණ දරුණු ගැටුම් හටගත්තේය.
විනාශයට පත් ලෙබනන නගර 14 ක් වෙත, පසුගිය වසර තුළ පමණක්, ඊශ්‍රායල හමුදා ප්‍රහාර 3,809 ක් එල්ල වී තිබේ.

ලෙබනනයේ සිදු කළ දැවැන්ත විනාශය පිලිබඳ ගණන් හිලව් කිසිත්, ඊශ්‍රායලය විසින් මෙතෙක් අනාවරණය කර නැත. එරට හමුදා ප්‍රකාශක ඩැනියෙල් හගාරි (Daniel Hagari) ට අනුව, දකුණු ලෙබනනයේ හඳුනාගත් ඉලක්ක 3,200 ක් වෙත, ඊශ්‍රායල හමුදා ප්‍රහාර එල්ල කර ඇත.
සිවිල් වැසියන් සහිත ගම්මාන, හිස්බුල්ලා සංවිධානය විසින්, අධිආරක්ෂිත සටන් බිම් බවට පත් කිරීම හේතුවෙන්, දකුණු ලෙබනනයේ, සිය හමුදා ක්‍රියාන්විත දැඩි කළ බව, ඊශ්‍රායලය පවසයි. එම ජනාවාස, හිස්බුල්ලා සංවිධානය සතු අවි ආයුධ, පුපුරණ ද්‍රව්‍ය සහ හමුදා රථ සඟවා තැබීමට භාවිතා කර ඇතැයි ද, ඊශ්‍රායලය කියයි.
වැඩි වශයෙන් තර්ජිත ප්‍රදේශ වූයේ, ඊශ්‍රායලයට මුහුණ ලා පිහිටි මහේබිබ් (Mhaibib) වැනි ලෙබනන ජනාවාසය. ඊශ්‍රායල හමුදා සිදු කරන භූමි ආක්‍රමණවලදී, එම ජනාවාසවල සිට, පහසුවෙන් සැඟවී ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට හිස්බුල්ලා සටන්කරුවන්ට හැකි විය.
දකුණු ලෙබනන නිම්න මතින්, 2006 දී ඊශ්‍රායල හමුදා සිදු කළ භූමි ආක්‍රමණවලදී හිස්බුල්ලා සටන්කරුවෝ, එසේ උපක්‍රමිකව පෙරළා පහර දුන්හ. එය, ඊශ්‍රායලයට 'උගත් පාඩම්' විය. ඊශ්‍රායල හමුදා මෙවර, එවැනි, ප්‍රති ප්‍රහාර එල්ල විය හැකි ගම්මාන 'එහෙම පිටින්ම' වනසා දැමුවේ එහෙයිනි.
කෆර්කෙලා හි ප්‍රධාන නාගරික මාර්ගයක් දෙපස පිහිටි නිවාස සියල්ල ද ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හමුවේ විනාශ විය. අද ඉතිරිව ඇත්තේ, තවත් නගරයකට ඇදී යන එම හිස් මාර්ගය පමණි.
එක්සත් ජාතීන් විසින් සීමා නීර්ණය කරන ලද නිල් තීරයට (Blue Line) මීටර 700ක් පමණ ආසන්නයේ පිහිටි, මෙසල්ජබාල් හි නගර චතුරශ්‍රය ඇතුළු, විශාල ජනාවාස පෙදෙසක් ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හේතුවෙන් මුළුමනින්ම විනාශ විය. ජනගහනයෙන් පිරී ඉතිරී ගොස් පැවති එහි වූ නිවෙස් හා වෙනත් ගොඩනැගිලි සියල්ල බිමට සමතලාව ඇති බව, පසුගිය වසරේ එහි චන්ද්‍රිකා ඡායාරූප හා සංසන්දනය කරමින් රොයිටර්ස් පැවසීය.
Kfarkela before the destruction, in Lebanon October 24, 2023. @REUTER
ඊශ්‍රායලය සහ ගෝලාන් කඳුකරය, ලෙබනනයෙන් සීමා කොට වෙන් කෙරෙන රේඛාව "නිල් තීරය" ලෙස හැඳින්වේ. ඊශ්‍රායලය පූර්ණ ලෙස ලෙබනනයෙන් ඉවත්වීම අරමුණු කොට එක්සත් ජාතීන්ගේ සංවිධානය, 2000 වසරේ ජුනි 07 වන දින එය ප්‍රකාශයට පත් කළේය.
ඉකුත් වසරේ ඇරඹි ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන්, මේ වන විට, ලෙබනනයේ මිලියන 1.2 කට අධික පිරිසක් අවතැන්ව සිටිති. ඝාතනය වූ පිරිස 2600ක ට අධිකය. ඉන් බොහොමයක් පසු ගිය මස පැවති ගැටුම් වලට මැදිව මියගිය පුද්ගලයින්ය.
සටන් හේතුවෙන් පලාගිය කිසිවෙක් මාස ගණනකින් ආපසු සිය නිවෙස් වෙත පැමිණ නැත. කෆර්කෙලා, අයිටරොවුන් (Aitaroun), ඔදෙයිසේ (Odaisseh) සහ රම්යේ (Ramyeh) මෙන්, ඊට ආසන්නව පිහිටි මහේබිබ් ගම්මානය ද දැඩි ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හමුවේ බිමට සමතලා විය.
එහි පිහිටි ගොඩනැගිලි වෙත ඊශ්‍රායල ගුවන් ප්‍රහාර පතිත වීමත් සමග ඒවා "හෙණ හඬ" නගමින් බිමට සමතලා වූ බව, ඇසින් දුටුවන් උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය පවසයි. ඒ සා විශාල පිපිරුම් හඬ කියාපාන්නේ, එම ගොඩනැගිලි තුළ නිසැක පුපුරණ ද්‍රව්‍ය ගබඩා කොට පැවතීම වියහැකි යැයි රොයිටර්ස් කියයි.
හිස්බුල්ලා සන්නද්ධ කල්ලියේ රද්වාන් ඒකකයට අයත් මහේබිබ් හි පිහිටි ප්‍රධාන අණ මධ්‍යස්ථානයක් සහ ඔවුන් විසින් පරිහරණය කරන ලද එහි පිහිටි උමං පද්ධතියක් සහමුලින්ම විනාශ කළ බව, ඊශ්‍රායල හමුදා ප්‍රකාශක පසුගිය 24 වන දා ප්‍රකාශ කළේය.
ඊශ්‍රායල දේශසීමාවෙන් හිස්බුල්ලා සංවිධානය පළවා හැර, ඔවුන්ගේ ශක්තිය විනාශ කර දැමීම මගින්, උතුරු ඊශ්‍රායල ජනාවාස වෙත එල්ල වන තර්ජන තුරන් කිරීම, සිය අරමුණ යැයි ඔහු පැවසීය. බොහෝ විට, හිස්බුල්ලා ත්‍රස්තයින්, ඊශ්‍රායලය දෙසට කෙටි දුර මිසයිල එල්ල කරන්නේ, දේශ සීමාවේ පිහිටි මෙම පෙරමුණු ගම්මානවල සිටය.
යුද්ධය හේතුවෙන් එම ගම්මාන අතහැර පලා ගිය ඇතැම් ලෙබනන වැසියෝ, සිය නිවෙස් තව දුරටත් පදිංචි තත්ත්වයේ පවතීදැයි පිරික්සීමට එම ජනාවාසවල නවතම චන්ද්‍රිකා ඡායාරූප මිලට ගැනීමට ද පෙළඹී සිටිති.
ලෙබනනයේ නැසීගිය සුප්‍රකට කලාකරුවකු වන අබ්දෙල්-හමීඩ් බාල්බකී (Abdel-Hamid Baalbaki) ගේ පුත්‍රයකු වන, එරට වාදය වෘන්දයේ මෙහෙයුම් ශිල්පී, ලුබ්නන් බාල්බකී (Lubnan Baalbaki) එවැන්නෙකි.
සිය ඉපැරණි නිවස, පියා විසින් අලංකාර සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත් කළ බව ඔහු පවසයි. එහි, අගනා කලාකෘති සහ ඒවායේ මුල් පිටපත් ද, වටිනා ග්‍රන්ථ 1000ක් සහිත දැවමුවා පුස්තකාලයක් ද වූ බව, ඔහු කියා සිටී.
කල්තියා නිවස අතහැර පලා ගිය ද, පසුගිය සතිය තෙක්, එය සුරක්ෂිතව පැවති බව, චන්ද්‍රිකා ඡායාරූප ඔස්සේ තහවුරු කරගත් නමුත්, ඉකුත් සති අන්තයේ, ඔදෙයිසේ (Odaisseh) හි පිහිටි සිය ඉපැරණි නිවස ඇතුළු තවත් නිවාස රැසක්, පුපුරා යන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයෙහි සංසරණය වනු දුටු බවත්, බාල්බකී පවසයි. තමන් හෝ තම පවුලේ කිසිවකු හිස්බුල්ලා සංවිධානයට කිසිසේත් සම්බන්ධ නැති බවද, සිය නිවෙස තුළ, එම සංවිධානයට අයත් අවි ආයුධ කිසිවක් නොතිබූ බවද, ඔහු කියා සිටී.
"ඊශ්‍රායලය සතුව පැහැදිලි බුද්ධි තොරතුරු තිබී නම්, කිසිදු ත්‍රස්ත ක්‍රියාවකට නොගෑවුණු අපේ නිවස විනාශ කළේ ඇයි? එය කලාගාරයක්. එහි වාසය කළේ, කලා පවුලක්. ඊශ්‍රායලයේ කුරිරු අරමුණ අන් කිසිවක් නොවේ; මෙහි පැවති ජීවය සහ එහි රටා පිලිබඳ සලකුණකුදු නොතබා, වැනසීම ඔවුන්ගේ එකම අපේක්ෂාවයි," බාල්බකී කියයි.
(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)



