BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

විශ්වාසභංග, විපක්ෂයේ දැඩි විරෝධතා මැද ප්‍රංශයේ දැන් සිදුවන්නේ කුමක් ද?

T

The Leader Desk

December 6, 2024 • 3:50 PM

විශ්වාසභංග, විපක්ෂයේ දැඩි විරෝධතා මැද ප්‍රංශයේ දැන් සිදුවන්නේ කුමක් ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාර්ලිමේන්තුවේ විශ්වාසභංගයෙන් මයිකල් බාර්නියර් ඉල්ලා අස්වීමෙන් පසු "ඉදිරි දිනවලදී" නව අගමැතිවරයෙකු නම් කරන බව
  • බ්‍රහස්පතින්දා ජාතිය අමතමින් කළ මිනිත්තු 10ක් දිග දේශනයකදී, ඔහු ධූරයෙන් ඉවත් වන ලෙසට විපක්ෂයෙන් එල්ල වන බලපෑම ප්‍රතික්ෂේප කරමින්, 2027 දී "ජනවරම අවසන් වන තුරු, සම්පූර්ණ කාල සීමාව ම" තනතුරේ රැඳී සිටින බවට ප්‍රතිඥා දුන්නේ ය.
  • අග්‍රාමාත්‍යවරයා ලෙස මයිකල් බාර්නියර් ඔහුගේ කෙටි කාලය තුළ කළ කැපවීම වෙනුවෙන් ජනාධිපතිවරයා ස්තූති කළ අතර, ප්‍රංශ අන්ත දක්ෂිණාංශික සහ දැඩි මතධාරී වාමාංශික පක්ෂ ආණ්ඩුව බිඳ දැමීම සඳහා "ජනරජ විරෝධී පෙරමුණක්" ලෙස සහයෝගයෙන් කටයුතු කරන බවට චෝදනා කළේ ය.
  • වසර 60කට වැඩි කාලයකට පසු ප්‍රංශ රජයක් එරට පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරන ලද පළමු අවස්ථාව එම විශ්වාසභංගය වූ අතර එය මැක්‍රොන් විසින් හඳුන්වන ලද්දේ, "පෙර නොවූ විරූ" සිද්ධියක් ලෙස ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පවසයි.

බ්‍රහස්පතින්දා ජාතිය අමතමින් කළ මිනිත්තු 10ක් දිග දේශනයකදී, ඔහු ධූරයෙන් ඉවත් වන ලෙසට විපක්ෂයෙන් එල්ල වන බලපෑම ප්‍රතික්ෂේප කරමින්, 2027 දී "ජනවරම අවසන් වන තුරු, සම්පූර්ණ කාල සීමාව ම" තනතුරේ රැඳී සිටින බවට ප්‍රතිඥා දුන්නේ ය.

අග්‍රාමාත්‍යවරයා ලෙස මයිකල් බාර්නියර් ඔහුගේ කෙටි කාලය තුළ කළ කැපවීම වෙනුවෙන් ජනාධිපතිවරයා ස්තූති කළ අතර, ප්‍රංශ අන්ත දක්ෂිණාංශික සහ දැඩි මතධාරී වාමාංශික පක්ෂ ආණ්ඩුව බිඳ දැමීම සඳහා "ජනරජ විරෝධී පෙරමුණක්" ලෙස සහයෝගයෙන් කටයුතු කරන බවට චෝදනා කළේ ය.

මැක්‍රොන් ඔහු පත් කර යන්තම් මාස තුනකට පසුව, බදාදා බාර්නියර් ඉවත් කිරීමට ප්‍රංශ මන්ත්‍රීවරු වැඩි වශයෙන් ඡන්දය දුන්හ.

වසර 60කට වැඩි කාලයකට පසු ප්‍රංශ රජයක් එරට පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරන ලද පළමු අවස්ථාව එම විශ්වාසභංගය වූ අතර එය මැක්‍රොන් විසින් හඳුන්වන ලද්දේ, "පෙර නොවූ විරූ" සිද්ධියක් ලෙස ය.

ඊට ප්‍රතිචාර වශයෙන්, අන්ත දක්ෂිණාංශික National Rally පක්ෂයේ නායිකා මරීන් ලා පෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළේ: "ව්‍යවස්ථාවේ ඇපකරු විය යුතු ජනාධිපති මැක්‍රොන්ට කුඩා මතක් කිරීමක්: වාරණය ජනරජ විරෝධී නොවේ, එය අපගේ පස් වන ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇත," යනුවෙනි.

බාර්නියර්ගේ නායකත්වය පෙරළා දැමූ විශ්වාසභංගය New Popular Front වාමාංශික සන්ධානය සහ ලා පෙන්ගේ National Rally යන දෙක ම විසින් සභාගත කර තිබිණි.

හිටපු බ්‍රෙක්සිට් සාකච්ඡාකරු විශේෂ බලතල භාවිත කරමින් ඡන්දයකින් තොරව අයවැයට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසුව ඔවුහු රජය දෝෂදර්ශනයට ලක් කිරීමට එක්සත් වූහ.

බාර්නියර්ට එරෙහි යෝජනාවට සහය දක්වමින් මන්ත්‍රීවරුන් 331 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කළ අතර, එය සම්මත වීමට අවශ්‍ය වූ ඡන්ද 288ට වඩා බෙහෙවින් වැඩි ඡන්ද සංඛ්‍යාවකි.

බාර්නියර් බ්‍රහස්පතින්දා (දෙසැ: 05) ඉල්ලා අස්වූ අතර අයවැය ද නිෂ්ප්‍රභ විය. නව රජයක් පත්වන තුරු ඔහු සිය අමාත්‍යවරුන් සමග භාරකාර පදනම මත ධූරයේ රැඳී සිටිනු ඇත. මැක්‍රොන්ගේ තනතුරට බලපෑමක් නැත.

පාර්ලිමේන්තු කටයුතු අවහිර කරමින් සහ උග්‍ර වන දේශපාලන අර්බුදයක් නිර්මාණය කරමින් ජූලි මාසයේදී හදිසි මැතිවරණයක් කැඳවීමට තීරණය කිරීම සම්බන්ධයෙන් මැක්‍රොන් දැඩි ලෙස විවේචනයට ලක්ව ඇත.

ඔහු එම තීරණය ගත්තේ "අවබෝධයකින් තොරව" යැයි ඔහු පිළිගත්තේය: "බොහෝ දෙනෙක් මට දොස් පවරනවා. ඒකට වගකියන්න ඕන මම."

ඍජුව ම ඡන්දදායකයින් අමතමින් ඔහු කියා සිටියේ, තම දේශපාලන විරුද්ධවාදීන්ගෙන් සමහරක් "වගකීම වෙනුවට ආරවුල්" තෝරාගෙන ඇති බවත්, ඔවුන් "ඡන්ද දායකයින් වන ඔබ ගැන" නොසිතන බවත්, ඔවුන්ගේ අවධානය ඊළඟ ජනාධිපතිවරණය කෙරෙහි යොමු වී ඇති බවත්ය.

මීළඟ අගමැතිවරයා කවුරුන් ද? යන්න පිළිබඳව මැක්‍රොන් කිසිදු ඇඟවීමක් නොකළ නමුත්, ඔවුන්ගේ ක්ෂණික අවධානය 2025 සඳහා වන අයවැය වන බව පැවසීය.

ආරක්ෂක අමාත්‍ය සෙබස්තියන් ලෙකෝර්නු, අභ්‍යන්තර කටයුතු අමාත්‍ය බෲනෝ රිටෙයිලියු සහ මධ්‍යස්ථ මතවාදී හිටපු ජනාධිපති අපේක්ෂක ෆ්‍රැන්කොයි බේරූ ඇතුළු විභව අපේක්ෂකයින් අතරින් නම් කළ හැක්කේ කවුරුන් ද? යන්න පිළිබඳව අවධානය යොමුව තිබේ.

එහෙත්, ජූලි මාසයේ මැතිවරණයෙන් පසු මාස දෙකක කාලයක් හිටපු අගමැති ගේබ්‍රියෙල් අටාල්ට භාරකරු ලෙස රැඳී සිටින ලෙස ඉල්ලා සිටි අවස්ථාවේදී මෙන්, මේ වන විට අක්‍රිය වී ඇති පාර්ලිමේන්තුව තුළ බහුතර කණ්ඩායම්වල සහය ලබන්නෙකු සොයා ගැනීම දුෂ්කර විය හැකි ය.

පැරීසියේ නැවත ගොඩනගන ලද නොට්‍රි-ඩාම් ආසන දෙව්මැදුර විවෘත කිරීමේ උත්සවයට ඇමෙරිකානු ජනාධිපති ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු ලෝක නායකයින් සහභාගී වීමට නියමිතව ඇති සෙනසුරාදාට (දෙසැ: 07) පෙර මීළඟ රජය ක්‍රියාත්මක වේ දැයි අපැහැදිලි ය.

2019 අප්‍රේල් මාසයේදී මෙම ගොඩනැගිල්ල ගින්නෙන් විනාශයට පත්වූ අතර වසර 5කට වැඩි කාලයකට පසු එහි ප්‍රතිසංස්කරණය ලොව පුරා ප්‍රශංසාවට ලක් විය.

විනාශ වූ ආසන දෙව්මැදුර නැවත ගොඩනැංවීම සහ 2024 ඔලිම්පික් උළෙල ප්‍රංශය සාර්ථකව පැවැත්වීම "අපට විශාල දේවල් කළ හැකි බවට සාක්ෂියක්" බව මැක්‍රොන් පැවසීය.

"අපට කළ නොහැකි දේ කළ හැකියි," ඔහු පැවසීය. "ලෝකය ඒ ගැන අපව අගය කරාවි."

(සටහන -ජැක්ලින් හවර්ඩ්)
බීබීසී
(BBC සිංහල සේවය)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...