එහෙත්, ඉදිරිය තවමත් අනපේක්ෂිතය.
ඊයේ (08), කැරලිකරුවෝ සිරියාවේ ඩමස්කස් අගනුවර ආක්‍රමණය කිරීමත් සමග වසර 50කට ආසන්න කාලයක් පැවති, ජනපති බෂාර් අල්-අසාද් ගේ කෲර පවුල් පාලනයෙන් සිරියාව අත්මිදුණි. ජනපති අසාද් වහ වහා ගුවනින් රුසියාවට පලා ගියේය. වසර 13ක එරට සිවිල් යුද්ධයද ඒ හා නිමාවට පත්විය.
වසර ගණනකට පසු, කොටින් කියතොත්, පරම්පරා කිහිපයකට පසු, මැද පෙරදිග 'කේන්දරයේ' දසාව වෙනස්ම මගකට අවතීර්ණව පවතී. ඉස්ලාමීය හයාත් තහ්රිර් අල්-ෂාම් සංවිධානය මෙවර සිරියානු කැරැල්ලේ මූලිකත්වය ගෙන ක්‍රියා කළේය. එය එරට, අල්-ඛයිඩා හිතවාදී ත්‍රස්ත සංවිධානය ද වේ. නව ආක්‍රමණයත් සමග, අරාබිකරයේ ඉරාන සහ රුසියානු බල පරාක්‍රමයෙන් විශාල කොටසක් ගැලවී ඉවත විසිවිය.
රුසියාව ඊයේ (08), අසාද් පවුලට එරට සරණාගත පහසුකම ලබා දුන්නේය. මේ අතර, ජාත්‍යන්තරය අසාද්ගේ ඒකාධිපති පාලනයේ අවසානය ප්‍රසාද මුඛයෙන් පිළිගත්තේය. මැද පෙරදිග නව මුහුණුවරකින් ඉදිරියට ඇදෙනු ඇතැයි යන්න එහි විශ්වාසයයි.
සිරියාව දැන් අන්තරායකර මෙන්ම, අස්ථිර සමාජ-ආර්ථික මාවතක් අබියස සිටින්නේ යැයි, එක්සත් ජනපද ජනපති, ජෝ බයිඩන් කියා සිටී. ඉතිහාසයේ පළමු වතාවට සිරියාව තුළ ඉරාන, රුසියා සහ හිස්බුල්ලා බලය ගිලිහී යාම පිලිබඳ ඔහු උදම් අනන්නේය.
ඉස්ලාමීය හයාත් තහ්රිර් අල්-ෂාම් සංවිධානය
ඉස්ලාමීය හයාත් තහ්රිර් අල්-ෂාම් සංවිධානය යනු, එක්සත් ජනපදය, තුර්කිය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තව දුරටත් තහනම් ත්‍රස්ත සංවිධානයකි. දිගින් දිගටම ජාත්‍යන්තරයේ සහ සිරියාවේ සුළුතර කොටස් තුළ සිය ප්‍රති රූපය ධනාත්මකව, වෙනස්ව සහ සමාජ සුභවාදීව ගොඩ නැගීමට එම සංවිධානය වසර ගණනක් තිස්සේ දත කෑවද, ඉනිදු තවමත් ඵලක් වී නොමැත.
අසාද් බලයෙන් පහ කිරීම ඉරානයට සහ රුසියාවට ප්‍රබල පා පහරකි. ඉරානයට සිය අවි මිල දී ගැනීමට සිටි ප්‍රධාන හිතවත් පාරිභෝගිකයකු අහිමි විය. සිරියාවට මින් මතු නොමිලයේවත් ඉරාන අවි සම්පාදනයක් සිදු නොවනු ඇත. රුසියාවට මධ්‍යධරණී සාගරයේ පිහිටි සිය නාවුක බල ඇණිය ඉවත් කර ගැනීමට සිදුවනු ඇත.
"සිරියානු ගැටුමට අපි නම් නෑ,"යි, එක්සත් ජනපද ජනපතිවරණ සටන ජයගත් ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවද, මේ චෙස් පෙතේ, අනෙක් පස 'සෙල්ලම්' කරන්නේ කවුරුන් දැයි, 'කොටුවෙන් පිට' දකින ඕනෑම අයෙකුට දැන් පැහැදිලිය.
සිරියාවේ නව අසිරිය

ඊයේ සිට නව සිරියාවක් බිහි වෙමින් පවතී. අසාද් පාලනයෙන් පලාවිත්, දශකයකට අධික කාලයක් තිස්සේ, තුර්කිය, ලෙබනනය සහ ජෝර්දානය යන රටවල සරණාගත කඳවුරු තුළ සිර වී සිටි මිලියන ගණනක සිරියානුවන්ට අවසානයේ, යළි සිය නිවෙස් කරා ඒමට දැන් අවස්ථාව උදාවී තිබේ.
සිරියානු කැරලිකරුවන් දැන් සිටින්නේ නව සිරියාවක් ඉදි කිරීමේ අභියෝගාත්මක කාර්‍ය භාරය අබියසය. දහ තුන් වසරක සිවිල් අරගලයෙන් අහිමි වූ මිනිස් ජීවිත සංඛ්‍යාව සුළුපටු නොවේ. ඉකුත් වසර රැස පුරා සිරියාවේ අභ්‍යන්තර ගැටුම්වලින් සිය දහස් ගණනක් මරු මුවට පත්වූහ. වෙඩි හුවමාරු, මිසයිල, බෝම්බ සහ රොකට් ප්‍රහාර හමුවේ, එහි නගර සුන්නධූලි ව ගියේය. එහි අදත් දැකිය හැක්කේ නටඹුන් පමණි. පසු ගිය කාලය පුරාවට සිරියාව වෙත ජාත්‍යන්තර සම්බාධක රැසක් ද පැනවිණි. යළි නැගී සිටීමට නම්, සිරියාවට දැන්, ඩොලර් බිලියන ගණනක ආධාර අවශ්‍යය.
"මාගේ සහෝදරවරුනි, මේ මහා විජයග්‍රහණයෙන් පසු, මුළු මහත් කලාපය පුරාවට ඉතිහාසය අලුතින් ලියවෙමින් පවතී," යනුවෙන්, කැරලිකාර ඉස්ලාමීය හයාත් තහ්රිර් අල්-ෂාම් සංවිධානයේ නායක අබු මොහම්මෙද් අල්-ගෝලානි (Abu Mohammed al-Golani), සිරියානු ජනතාවට කියා සිටී. ඊයේ, ඩමස්කස් අගනුවර උමයියාද් (Umayyad) මුස්ලිම් දේවස්ථානයට රැස්වූ විශාල ජනකාය අමතමින් ඔහු එසේ පැවසීය. මෙතැන්සිට, සිදු කිරීමට නියමිත දුෂ්කර ක්‍රියාවේ අවසන, සිරියාව සමස්ත මුස්ලිම් ජාතියටම නිවැරදි මග කියන ප්‍රදීපාගාරයක් වනු ඇතැයි, ඔහු ප්‍රකාශ කළේය.
සාමකාමී බල හුවමාරුවක්
අග්‍රාමාත්‍ය මොහම්මෙද් ජලාලි
අසාද් රජයේ අග්‍රාමාත්‍ය මොහම්මෙද් ජලාලි ( Mohammed Jalali), ගොලානි හමුවේ, සාමකාමී බල හුවමාරුවකට සූදානම් බව ප්‍රකාශ කර තිබේ. ඒ සඳහා අවශ්‍ය රාජ්‍ය ලේඛන සහ ඊට අවශ්‍ය සහාය ලබා දෙන බව ද ඔහු පවසා ඇත. සිරියානු හමුදාවේ ඉරණම කුමක් වේ දැයි තමාට කිව නොහැකි බව ද හෙතෙම පවසයි.
සිරියාවේ ස්වදේශ කටයුතු පරිපාලනය කවුරුන් අතට පත්වේ දැයි තවමත් අවිනිශ්චිතය. අසාද් සතුව මෙතෙක් පැවති දුර්දාන්ත පොලිස් පාලනය තුළ, දහස් ගණන් සිරියානුවෝ දේශපාලන සිරකරුවන් බවට පත්වූහ. ඔවුන් ඉතා දීර්ඝ කාලයක් මුළුල්ලේ, අතිශය කටුක පරිසරයක වූ සිර මැදිරි තුළ ගාල් කර විවධ වද හිංසාවන්ට ද යටත් කෙරිණි.
ඊයේ කැරලිකරුවන් ඩමස්කස් අගනුවර ආක්‍රමණය කිරීමෙන් පසු, ඒ සියල්ලෝ නිදහස ලදහ. නිදහස ලද සිරකරුවන් ඩමස්කස් නුවර වීදි දිග ප්‍රීතියෙන් දිව ගියහ. අගනුවර බන්ධනාගාරයේ, භූගත රහස් සිරකුටිවල තව දුරටත් රඳවා ඇතැයි සැක කෙරෙන සිරියානුවන් සොයා "සුදු ආරක්ෂක හිස්වැසුම්" ( White Helmets) නම් ස්වේච්ඡා සංවිධානය විසින් විශේෂ මුදා ගැනීමේ මෙහෙයුමක් ද දියත් කර තිබේ.
විධායක බලය සහිත අන්තර්වාර රජයක් වෙත 'එක්ව නැගිටින සිරියාවක්' කරා බල හුවමාරුව සිදු කරන බව කැරලි සන්ධානය පවසයි.
ඩමස්කස් ඇඳිරි නීතිය

අගනුවර ආක්‍රමණයත් සමග කැරලිකරුවෝ ඇඳිරිනීතිය පැනවූහ. අද උදෑසන වන විටත් ඩමස්කස් නුවර සියලු කඩ සාප්පු වසා තිබුණු අතර, වීදි සියල්ල ජනශුන්‍යව පාලු ස්වභාවයක් ගත්තේය. අගනුවර මුළුමනින්ම සන්සුන්ව පවතී. නගරය පුර දක්නට ඇත්තේ අවි ගත් කැරලිකරුවන් පමණකැයි, රොයිටර්ස් පුවත් සේවය පවසයි.
සිරියානු කැරැල්ලට පණ පෙවූ ඉස්ලාමීය හයාත් තහ්රිර් අල්-ෂාම් සංවිධානයේ නායක ගෝලානි, සුන්නි මුස්ලිම් ජාතිකයෙකි. එරට බහුතරය ද සුන්නි මුස්ලිම්වරුන් වුවත්, සිරියාව සුළුතර මුසල්මානු සහ වෙනත් ආගමික කොටස් වලින් ද සමන්විත දේශයකි.
ලොව මවිත කළ සිවිල් අරගලය

සිරියාවේ හටගත් කැරැල්ලේ ජයග්‍රහණය ලොව මවිත කළේය. ජාත්‍යන්තරයේ, සිරියානු ඩයස්පෝරාව, නව ජයග්‍රහණයෙන් උද්දාමයට පත්ව සිටී. ඔස්ට්‍රේලියාවේ, සිඩ්නි නුවර වෙසෙන සිරියනුවෝ, මෝටර් රථ පෙළපාලි පැවැත්වූහ. ඔවුන් අත සිරියානු ධජ ලෙල දෙමින් තිබිණි. ඔවුහු වීදි පුරා ගිනි කෙළි සංදර්ශන පවත්වමින් හා නටමින් ජය සැමරූහ.
එහෙත්, ගාසා යුද්ධය පවතින මේ මොහොතේ, ලෙබනනය සහ ඉරානය ද ඊශ්‍රායල ඉලක්ක වී ඇති පසුබිමෙක, සිරියාවේ නව පෙරලිය කලාපීය අස්ථාවරත්වය තව දුරටත් වර්ධනය කරන්නකැයි ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයෝ පවසති. එක්සත් ජනපදය සියල්ල දෙස "ඇහැ ගහගෙනම" සිටී.
අසාද් පාලනයට එරෙහි එරට සිවිල් යුද්ධය ආරම්භ වූ 2011 කාලවකවානුවේ, සිරියානු සහ රුසියානු ඒකාබද්ධ හමුදා සිරියාවේ නගර බොහොමයක් බෝම්බ හෙලා විනාශ කළහ. ඉතිරි වුයේ අළු ධූලි පමණි. එය සමස්ත කලාපය මතු නොව, මුළු මහත් යුරෝපයම අනවරත පටලැවිල්ලකට භාජනය කළේය. 2015 වසරේ, මිලියනයකට අධික සිරියානු සරණාගතයින් පිරිසක් යුරෝපය වෙත පැමිණීමත් සමග එහි නව දේශපාලන අර්බුදයක් හට ගත්තේය.
මෑත කාලීනව තුර්කිය සිය දේශ සීමාව ඔස්සේ, ඇතැම් සිරියානු කැරලි පාර්ශ්ව වෙත සහයෝගය දක්වා සිටියේය. හමුදා භටයින් 900ක පමණ සේනාන්කයකින් සුසැදි, සිරියාවේ සිටින ඇමෙරිකානු හමුදා බලඇණි ද, එරට කුර්දි සටන්කරුවන්ගෙන් සැදී සන්ධානයකට සහාය පල කර සිටියේය.
සිරියාව 'දැන්' සන්සුන්ය. හෙටත් එසේම වේදැයි දැන්ම කිව නොහැකිය.
(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)
සබැඳි ලිපි :
බසාර්, අල් අසාද් ගේ නික්මයාම.. - (නිශාන්ත ශ්‍රී වර්ණසිංහ)
සිරියාවේ, දශක පහක අසාද් පාලනය අවසන් - ජනපති පලා යයි
'සිරියානු ගැටුමට අපි නම් නෑ' - ඩොනල්ඩ් ට්‍රම්ප්
ජනපති අසාද් ගේ සිරියානු රජය කැරලිකරුවන්ගේ ග්‍රහණය අබියස
සිරියාවේ, අලෙප්පෝ නුවර කැරලිකරුවන්ට ඒකාබද්ධ ගුවන් ප්‍රහාර
සිරියානු කැරලිකරුවන් අලෙප්පෝ නගරය වැටලීමට ආසන්නයි - ගුවන්තොටුපලත් වසා දැමේ



