එහි ඊශ්‍රායල හමුදා ස්ථාවර ලෙස රඳවා තැබීමට අපේක්ෂා කරන බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඉශ්‍රයෙල් කාට්ස් (Israel Katz) ප්‍රකාශ කළේය. සිරියාවේ රසායනික අවි ගබඩා සංකීර්ණයක් වෙත ඊයේ (10) ඊශ්‍රායලය විශේෂ ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළේය. විශාල විනාශයක් සිදු කළ හැකි, එම රසායනික අවි, කැරලිකරුවන් අතට පත්වීම වැළක්වීමට එම ප්‍රහාර දියත් කළ බව ඊශ්‍රායල හමුදා ප්‍රකාශ කළහ.
ඒ අනුව, සිරියාවේ ස්ථාන ගත කර ඇති, ගුවන්යානා නාශක අවි, ගුවන් හමුදා මධ්‍යස්ථාන, ප්‍රහාරක ජෙට් යානා, අවි කම්හල් සහ මිසයිල සංචිත ඉලක්ක කර ඊශ්‍රායල ගුවන් ප්‍රහාර 350කට අධික සංඛ්‍යාවක් එල්ල කෙරිණි. එරට ඩමස්කස් අගනුවර, ටර්ටස්, ලටාකියා සහ පැල්මයිරා නගර වෙත එම ප්‍රහාර එල්ල විය. සිරියානු ගුවන් හමුදා මධ්‍යස්ථාන වෙත එල්ල කෙරුණු ප්‍රහාවලින්, ප්‍රහාරක හෙලිකොප්ටර, ප්‍රහාරක ජෙට් යානා සහ යුද ටැංකි ද විනාශ කෙරිණි.
සිරියාවේ අල්-බයිදා (Al-Bayda) සහ ලටාකියා (Latakia) වරායන්හි නැංගුරම් ලා තිබූ සිරියානු නාවුක හමුදා යාත්‍රා වෙත ද ඊශ්‍රායල නාවුක හමුදා මිසයිල ප්‍රහාර එල්ල විය. නාවුක හමුදා යාත්‍රා 15ක් පමණ එම ප්‍රහාරවලින් විනාශයට පත් විය.
සිරියාවේ අභ්‍යන්තර කටයුතුවලට අත පෙවීමේ කිසිදු අවශ්‍යතාවක් නැති මුත්, එම නව අවි, අල්-ඛයිඩා වැනි ත්‍රස්ත සංවිධාන සෙවණේ හැදී වැඩුණු, සිරියානු කැරලි කණ්ඩායම් අතට පත් වුවහොත්, ඉන් කලාපීය ආරක්ෂාවට එල්ල විය හැකි තර්ජනය සැලකිල්ලට ගෙන එම ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පැවසීය.
ඒ අනුව, සිරියානු හමුදා විසින් අතහැර දමා ගිය රසායනික අවි සංචිත, ගුවන් ප්‍රහාර මගින් විනාශ කිරීමට ඊශ්‍රායල ගුවන් හමුදාවට උපදෙස් නිකුත් කළ බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.

පසුගිය ඉරිදා (08) සිරියානු ජනපති බෂාර් අල්-අසාද් සිරියානු කැරැල්ල හමුවේ රුසියාවට පලා ගියේය. අනතුරුව වහා ඊශ්‍රායලය සිරියාවේ යුද මුක්ත කලාපය වෙත සිය හමුදා සේනාංක පිටත් කර හැරීමට පියවර ගත්තේය. 1973 වසරේ, අරාබි-ඊශ්‍රායල යුද්ධයෙන් පසුව, සිරියාවේ ඩමස්කස් අගනුවර ඈතින් පෙනන මානයේ, කඳුකර ප්‍රදේශයක් ඔස්සේ, එම යුද මුක්ත කලාපය ප්‍රකාශයට පත් කෙරිණි.

මේ වන විට, එම කලාපයේ සහ නුදුරේ තවත් ස්ථාන කිහිපයකම ඊශ්‍රායල හමුදා රඳවා තිබේ. එම කලාපයෙන් නැගෙනහිර, ඩමස්කස් ගුවන් තොටුපොළ ආසන්නයේ, සිරියානු අභ්‍යන්තරයේ පිහිටි, ඛටානා (Qatana) වැනි පෙදෙස් වෙත ද ඊශ්‍රායල හමුදා ලඟා වී ඇතැයි, සිරියානු පාර්ශ්වයෙන් නැගෙන චෝදනා, ඊශ්‍රායලය ප්‍රතික්ෂේප කරයි.
සිරියාවේ ඇතැම් ප්‍රදේශ වෙත සිදු කරන ලද ආක්‍රමණය හුදෙක්, දේශ සීමා ආරක්ෂාව තර කිරීම උදෙසා සිදු කළ තාවකාලික හමුදා ක්‍රියාන්විතයක් බව ඊශ්‍රයලය පවසයි. අසාද් රජය පෙරලා දැමීම පිලිබඳ අතිශය ප්‍රසාදය පල කරන බව ද ඊශ්‍රායලය කියා සිටී.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙතන්යාහු
නව සිරියානු රජය සමග ද්වීපාර්ශ්වීය සහ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගැනීමට අපේක්ෂා කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙතන්යාහු පැවසීය. එහෙත්, සිරියාව හරහා හිස්බුල්ලා සංවිධානය වෙත ඉරානයේ නිෂ්පාදිත අවි සැපයුම් සිදු කර ඊශ්‍රායලයට තර්ජන එල්ල කළහොත්, කිසිදු වග විභාගයකින් තොරව සිරියාවට ද දැඩි ප්‍රහාර එල්ල කරන බව ඔහු අවධාරණය කළේය.
(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)



