අගනුවරට අයත් තැදමොන් (Tadamon) දිස්ත්‍රික්කයේ විනාශයට පත් ගොඩනැගිල්ලක් තුළින් මිනිස් උකුල් ඇට, පාද, කොඳු ඇට පෙළ ආදී ශරීර අස්ථි කොටස් හමුවීමත් සමග මෙම අනාවරණය සිදු කෙරිණි. අසාද් ගේ දුර්දාන්ත පාලනය තුළ සිදු කෙරුණු එම මිනිස් ඝාතනවලට බඳුන්වූවන්ගේ අස්ථි කොටස් දිස්ත්‍රික්කය පුරා, විසිරී ඇති බවත්, ඇතැම් විට කුඩා දරුවන් එසේ විසිරුණු මිනිස් අස්ථි කොටස් ගෙන ක්‍රීඩා කිරීමට පවා පෙළඹී ඇති බවත් ප්‍රදේශවාසීහු පවසති.

එම සමූල ඝාතන පිලිබඳ දර්ශන ඇතුළත් වීඩියෝවක් 2022 වසරේ මුදාහැරුණු අතර, ඉන් පසු අසාද්, තවදුරටත් කුප්‍රකට නායකයකු බවට ප්‍රකට විය. හමුදා ඇඳුමින් සැරසුණු පුද්ගලයෙක්, දෑස් බැඳී නිරායුධ මිනිසුන්, විශාල ආගාධයෙන් යුත් ආවාටයක් ආසන්නයට රැගෙනගොස්, ඔවුන්ට ඒ දෙසට පලා යාමට අණ කර, එසේ දිව යන්නන්, එම ආවාටයට අද වැටෙන සේ වෙඩි තබා ඝාතනය කරන අයුරු එම වීඩියෝවේ දැක්වේ.
එම සිද්ධිය 2013 තරම් ඈතක සිදු කෙරුණු අපරාධ මාලාවක් වුවත්, එවැනි සාවද්‍ය මිනිස් ඝාතන මෑතක් වන තෙක් පැවතී යැයි ප්‍රදේශවාසීහු පවසති. සිරියානු හමුදා විසින් නිරන්තරයෙන් සිවිල් පුද්ගලයින් එහි රැගෙන එනු දුටු බවත්, එක දිගට වෙඩි හඬ ඇසුණු බවත්, අනතුරුව එම අවට පැතිරුණු සිරුරු දැවෙන පුළුටු දුර්ගන්ධය ආඝ්‍රාණය වූ බවත් ඔවුහු දැන්, පවසති.

මොහොමඩ් අල්-දාරා (Mohammad al-Darra) යනු, 2011 වසරේ, එරට සිවිල් යුද්ධය ආරම්භ වීමත් සමග ප්‍රදේශය අතහැර පලා ගිය පිරිසට එක් නොවී, එහිම රැඳුණු අයෙකි. විශාල පිරිසක් තැදමොන් පෙදෙස අතහැර පලා ගිය මුත්, තමාට අයත් මහල් ගොඩනැගිල්ල මංකොල්ල කරුවන්ට හසු වේ යැයි බියෙන් සිය පවුලේ උදවිය සමග තව දුරටත් එහිම රැඳී සිටීමට තීරණය කළ බව ඔහු කියා සිටී. එතැන් සිට, වසරක් පාසා සිරියානු හමුදා විසින් අත-පය, දෑස් බැඳ, මෝටර් රථ මගින් රැගෙන ආ නිරායුධ පුද්ගලයින්, තැදමොන් සමූල ඝාතනය සිදු කෙරුණු බවට අනුමාන කෙරෙන ස්ථානය වෙත රැගෙන එනු දුටු බව ඔහු පවසයි.
බොහෝ ඝාතනයන් සිදු කෙරුනේ රාත්‍රී කාලයේ බව ඔහු කියා සිටී. තමාට ඇසුණු සෑම වෙඩි හඬක්ම පුද්ගලයකු ඉලක්ක කර, ආසන්නයේ තබන ලද වෙඩි පහරක් බවට නොබෝ දිනකින් වැටහී ගිය බව ඔහු ප්‍රකාශ කරයි. දුහුවිල්ලෙන් පිරුණු, පරිසර දූෂණයෙන් ගහන, නගරයේ වීදි අතර පිහිටි ගොඩනැගිලි මධ්‍යයේ වූ කුඩා මුඩුක්කු මාවතක් කෙළවර එම ඝාතන සිදු කෙරුණු තැදමොන් සමූහ ඝාතන ආවාට සුසානය පිහිටියේය.

එහි එකතුව ඇති, කසල කන්දරාව අතර මිනිස් අස්ථි ගොඩ ගැසී ඇති බව දුටුවේ යැයි, රොයිටර්ස් පුවත් සේවය සඳහන් කරයි. 2019 සිට එම ප්‍රදේශයේ පදිංචියට පැමිණි, මෝටර් කාර්මිකයකු වන ඛලෙඩ් හෞරියා (Khaled Houriya) ද, තැදමොන් හි එවැනි සිදුවීම් සිදු වූ බවට තහවුරු කර සිටී. එම මාවත ඝාතන වීදියක් ලෙසින් ප්‍රසිද්ධියට පත්ව තිබුණේ යැයි, ඔහු පවසන්නේය. එහි පැමිණි, ඕනෑම ආගන්තුකයකුට අත් වුයේ එකම ඉරණම බව ඔහු කියා සිටී. එනම්, මරණයයි. සිරියානු හමුදා විසින්, සිය අසල්වාසීන්ට සමූහ මිනී වලවල් කැපීමට හවුල් වන ලෙස අණ කළ බව හෞරියා ප්‍රකාශ කරයි. නිරන්තරව වීදිය පුරා විසිරී පැවති ඝාතනයට ලක් වූ මිනිස් දේහ, පසුව සාමාන්‍ය දසුනක් බවට පත්වූ බව ද ඔහු කියා සිටී.

අසාද් පාලනය පිලිබඳ අදටත් පවතින බිය හේතුවෙන්, එහි සිදු වූ අමානුෂික මිනිස් ඝාතන පිලිබඳ කතා කිරීමට බොහෝ ප්‍රදේශ වාසීහු මැලි වෙති. එහෙත්, පසුගිය දා සිදු කෙරුණු සිරියානු කැරැල්ලෙන් අසාද් පාලනය බිඳ වැටීමත් සමග, මෙම සමූල ඝාතනයන්ට වග කිවයුතු සියලු පිරිස් නීතිය ඉදිරියට රැගෙන විත් දඬුවම් පැමිණවීමට කටයුතු කළ යුතු බව, සිරියානු වැසියෝ සහ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන එක හඬින් පවසති. සමූහ ඝාතන සිදු කෙරුණු ප්‍රදේශයේ ආරක්ෂාව තර කළ යුතු බවද ඔවුහු පෙන්වා දෙති. ඒ පිලිබඳ නිසි විමර්ශනයක් සිදු කිරීම පිණිස ජාත්‍යන්තර විශේෂඥයිට ඉඩ ප්‍රස්තා ලබා දිය යුතු බව මානව හිමිකම් සංවිධාන කියා සිටිති.
තැදමොන් සමූහ ඝාතන ආවාටය, පලා ගිය අසාද් රජයේ හමුදා විසින් විනාශ කරන්නට ඇති බවටද සැක පළ කෙරේ. එහෙත්, ඝාතනයට ලක්වූ සිය ප්‍රියයන්ට සිදු වූයේ කුමක්දැයි දන දැනගැනීමට, ඉතිරිව සිටින එම පවුල් සාමාජිකයින්ට ඇති පරම අයිතියට ගරු කළ යුතු බව මානව හිමිකම් සංවිධාන පවසති.

2011 වසරේ, සිරියාවේ අභ්‍යන්තර ගැටුම් ආරම්භයත් සමග, සිය දහස් ගණන් සිරියානුවෝ අසාද් හමුදා විසින් ඝාතනය කෙරුණු බවට තහවුරු වී තිබේ. ඔහුට එරෙහිව නැගුනු ජන විරෝධය, කලාපීය ආර්ථිකයන්ගේ ද අවධානයට නතු වූ පුළුල් සිවිල් අරගලයක් තෙක් ව්‍යාප්ත විය. අසාද් මෙන්ම, සිරියාවේ ජනපති ධුරයේ සිටි ඔහුගේ පියා හෆෙස් ද (Hafez) නීති විරෝධී මිනිස් ඝාතනවලට නම් දැරූ, කුප්‍රකට පාලකයෙකි. ඔහු 2000 වසරේ මිය යාමත් සමග අසාද් ජනපති ධුරයට පත් විය. එරට ආන්දෝලනාත්මක බන්ධනාගාර පද්ධතිය තුළ හෆෙස් සමයේ සාවද්‍ය මිනිස් ඝාතන රැසක් සිදු කෙරී ඇතැයි පැවසේ.
තමා, සිරියාව තුළ කිසිවිටෙකත් එවැනි භීෂණයක් ඇති නොකළ මුත්, ත්‍රස්තවාදීන් විනාශ කිරීමට නොපැකිළව පියවර ගත් බවත් අසාද් පවසයි. 2013 වසරේ, තැදමොන් සමූහ ඝාතන සම්බන්ධයෙන්, සිවිල් පුද්ගලයින් 41 දෙනකු ඝාතනය කළ බවට එක්සත් ජනපදයේ චෝදනාවට ලක් වූ සිරියානු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකුට සහ ඔහුගේ පවුල් සාමාජිකයින්ට ඇමෙරිකාවට ඇතුළු වීම තහනම් කරමින්, එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කළේය. එම ඝාතන සම්බන්ධයෙන් 2022 වසරේ නිකුත් වූ වීඩියෝව ජාත්‍යන්තර "හියුමන් රයිට්ස් වොච්" (Human Rights Watch) සංවිධානයේ සමීප නිරීක්ෂණයට බඳුන් විය. චන්ද්‍රිකා තාක්ෂණයෙන්, සිරියාවේ තැදමොන් සමූහ ඝාතන ආවාට ප්‍රදේශය බවට සැක කෙරෙන ස්ථානයද හඳුනා ගැනිණි.
සිරියානු හමුදා සහ කැරලිකරුවන් අතර දරුණු ගැටුම් පැවති සමයේ, තැදමොන් සමූහ ඝාතන සිදුවූ ඒ අවට ප්‍රදේශය ශක්තිමත් ලෝහමය බාධක මගින් ආවරණය කර වසා තිබුණේ යැයි, ප්‍රදේශවාසීහු පවසති. හමුදාවෙන් වෙන්ව ගිය, අසාද් හිතවාදී, නීතිවිරෝධී සන්නද්ධ කල්ලියක් වූ ජාතික ආරක්ෂක බලකායද, 2012 වසරේ සිරියානු හමුදාවට ඈඳා ගැනීමට රජය පියවර ගත්තේය.
මෙම වසරේ සිට සිරියානු හමුදා, තැදමොන් සමූහ ඝාතන ආවාට සුසානයෙන්, මිනිස් අස්ථි කොටස් ඉවත් කිරීම ආරම්භ කර තිබෙනු දුටු බව ද ඇතැම් ප්‍රදේශවාසීහු දැන් පවසති. එම අපරාධය පිලිබඳ, ඉතිරිව ඇති අත්‍යවශ්‍ය සාක්ෂි විනාශ කිරීම එහි අරමුණ විය හැකියැයි මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙති.
බන්ධනාගාර ගත කර සිටි බොහෝ සිරියානුවන් ට අත්වූ අවසන් ඉරණම පිලිබඳ සාක්ෂි, ඉකුත් ඉරුදින (08) අසාද් රජයේ බිඳ වැටීම හමුවේ පලා ගිය රජයේ හමුදා විසින්, විනාශකර දමන්නට ඇතැයි සැක කරන බව ද එම අපරාධයන්ට බඳුන් වූ පුද්ගලයින්ගේ පවුල් සාමාජිකයෝ කියා සිටිති.
(Reuters ඇසුරින් සටහන: හර්ෂ උදයකාන්ත විසිනි)



