මගීන් 62ක් සහ කාර්ය මණ්ඩලයේ පස් දෙනකු රැගත් ගුවන් යානය අද කසකස්තානයේ අක්තාවු (Aktau) නගරබද පෙදෙසකට කඩා වැටී ඇතැයි, එරට බලධාරීහු ප්‍රකාශ කළහ. යානයේ ගමන්ගත් 32 දෙදෙනෙක්, අනතුරින් දිවි ගලවා ගැනීමට සමත් වූහ.
අසර්බයිජාන් ගුවන් සේවයට (Azerbaijan Airlines) අයත් J2-8243 නම්, එම මගී ජෙට් ගුවන් යානය අනතුර සිදුවන අවස්ථාවේ සිය නියමිත ගුවන් පථයේ ගුවන් සැතපුම් සිය ගණනක් පසුකරමින් පැමිණ ඇති අවස්ථාවෙක, කැස්පියන් මුහුදේ ප්‍රතිවිරුද්ධ දිශාවේ පිහිටි වෙරළ තීරයට කඩා වැටීමෙන් මෙම අවාසනාවන්ත ගුවන් අනතුර සිදු විය.
අහසේ පියාසර කළ පක්ෂීන් එහි ගැටීමෙන් (bird strike) අනතුර සිදුවී ඇතැයි සැක කෙරෙන බව රුසියානු බලධාරීහු පැවසූහ.
ගුවන් යානය මුහුදු කලාපයට ඉහළින් පියාසර කිරීමට හේතුව මෙතෙක් අනාවරණය කර නැතත්, අනතුර සිදුවන අවස්ථාවේ, දකුණු රුසියාවට ඩ්‍රෝන ප්‍රහාරයක් ද එල්ල වෙමින් පැවතිණැයි, රොයිටර්ස් පුවත් සේවය පවසයි.
ඩ්‍රෝන ප්‍රහාර එල්ලවන බොහෝ අවස්ථාවල අවට ගුවන්තොටුපොළ වසා දැමෙන අතර, අද අනතුරට පත් ගුවන් යානයේ ගමන් මාර්ගයට ආසන්නතම රුසියානු ගුවන් තොටුපොළ ද, ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් උදෑසන සිට වසා තැබීමට රුසියානු ගුවන් බලධාරීහු පියවර ගත්හ.
ගුවන් යානය වේගයෙන් පහතට ඇදී එන අතර ගිනි ගන්නා ආකාරය සහ එය වෙරළ මත පතිත වීමෙන් අනතුරුව යානයෙන් කළු දුම් ඉහළට නැගෙන අයුරු, අනතුර සම්බන්ධයෙන් නිකුත් කෙරුණු වීඩියෝ දර්ශනවල දැක්වේ. ගුවන් යානයේ පසුපස කොටසේ සිට අනතුරට පත් මගීහු ඉන් පිටතට පැමිණීමට උත්සාහ කර ඇතැයි රොයිටර්ස් කියයි. ගුවන් අනතුර පිලිබඳ වීඩියෝ දර්ශන කැස්පියන් වෙරළේ සිට රූ ගත කර තිබේ.
කසකස්තාන හදිසි අවස්ථා අමාත්‍යංශය විසින් අනතුර සිදු වූ ස්ථානයට වහා ගිනි නිවන රථ සහ ගිලන් රථ පිටත් කර හැරිණි. අනතුරින් තුවාල ලබා දිවි ගලවා ගත් කුඩා ළමුන් දෙදනකු ඇතුළු ගුවන් මගීන් පිරිසක් අසල රෝහලක ප්‍රතිකාර ලබමින් පසුවෙති. මියගිය අයගේ සිරුරු තවමත් රැස් කරමින් ඇතැයි වාර්තා වේ.
ගුවන් යානය බාකු (Baku) සිට දකුණු රුසියා කාලාපයේ චෙච්නියා අගනුවර වන ග්‍රොස්නි (Grozny) වෙත පියාසර කරමින් පැවති අතර, කිලෝ මීටර 3 කට නුදුරින් පිහිටි අක්තාවු වෙත හදිසි ගොඩ බැස්වීමකට සූදානමින් පසුවූ බව අසර්බයිජාන් ගුවන් සේවය පැවසීය. ගුවන් යානයේ ඇන්ජින් මත පියාසර පක්ෂීන් ගැටීමෙන් අනතුරුව යානය හදිසි ගොඩ බැස්වීමකට සූදානමින්, කසකස්තානයේ අක්තාවු ගුවන් තොටුපොළ වෙත යොමු කරන බව ප්‍රධාන ගුවන් නියමුවා විසින් දැනුම් දී තිබේ.
කැස්පියන් මුහුදේ අසර්බයිජානයට සහ රුසියාවට ප්‍රතිවිරුද්ධ වෙරළේ අක්තාවු ගුවන් තොටුපොළ පිහිටා තිබේ. ගුවන් පථයේ උතුරු දෙසට වූ බටහිර වෙරළ තීරයේ නියමිත ගුවන් ගමන් මග පියාසර කරමින් තිබූ යානය, රේඩාර් තිරයෙන් හදිසියේ ඉවත්ව, යළි නැගෙනහිර වෙරළ තීරයෙන් මතුව අක්තාවු ගුවන් තොටුපොළ වෙත පියාසර කළ බව, ගුවන් පථ නිරීක්ෂණ වෙබ් අඩවි වාර්තා කරයි.
චෙච්නියාවට යාබද, රුසියාවේ ඉඟුශේෂියා ( Ingushetia ) සහ උතුරු ඔසේශියා (Ossetia) වෙත අද උදෑසන ඩ්‍රෝන ප්‍රහාර එල්ල විය. කැස්පියන් මුහුදු තීරයේ, නැගෙනහිර වෙරළට ඉහළ අහසේ යානය පියාසර කරමින් පැවති, මුල් ගුවන් මාර්ගයට ඉතා ආසන්නව පිහිටි මැඛාච්කලා ( Makhachkala ) ගුවන් තොටුපොළ, ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන්, අද උදෑසන සිට, ළඟාවන ගුවන් යානා වෙනුවෙන් වසා පැවතිණ. ග්‍රොස්නි ගුවන්තොට ඊට ආසන්නව පිහිටියේය.
ගුවන් අනතුර සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට විශේෂ කොමිසමක් පත් කර ඇතැයි, කසකස්තාන රජය පැවසීය. අදාළ රාජ්‍ය බලධාරීහු, නිරීක්ෂණ සහ අවශ්‍ය සහන කටයුතු සැලසීම පිණිස වහා ගුවන් අනතුර සිදු වූ ස්ථානය වෙත ගුවන් මගින් පිටත්ව ගියහ. අනතුර පිලිබඳ විමර්ශන කටයුතු අසර්බයිජානය සමග සහයෝගයෙන් සිදු කෙරෙන බව කසකස්තාන රජය ප්‍රකාශ කරයි.
රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් සහ අසර්බයිජාන ජනපති ඉල්හම් අලියෙව් ද මෙම අවාසනාවන්ත ගුවන් අනතුර පිලිබඳ සිය ශෝකය ප්‍රකාශ කළහ. අද, රුසියාවේ සමුළුවකට සහභාගී වී සිටි අසර්බයිජාන ජනපති, ගුවන් අනතුර සැල වූ වහා මව්බිම වෙත පියාසර කළේය.
රුසියානු හිතෛෂී චෙච්නියානු නායක රාම්සාන් කදිරොව් ද ගුවන් අනතුර පිලිබඳ සිය සංවේගය ප්‍රකාශ කළේය. අනතුරින් දිවි බේරාගත් ඇතැමකුගේ තත්ත්වය ඉතා බරපතල බවත්, තුවාළ ලැබූ සියලු දෙනාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරන බවත් ඔහු පැවසීය.
(Reuters ඇසුරින් සටහන | හ ර් ෂ උදයකාන්ත විසිනි)
දකුණු රුසියාවට ඩ්‍රෝන ප්‍රහාරයක් අතරේ අසර්බයිජාන මගී ගුවන් යානයක් කඩා වැටේ
T
The Leader Desk
December 25, 2024 • 5:02 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- අසර්බයිජානයේ සිට රුසියාව බලා පියාසර කරමින් තිබූ මගී ගුවන් යානයක් කඩා වැටේ.
- යානයේ ගමන්ගත් 32 දෙදෙනෙක්, අනතුරින් දිවි ගලවා ගැනීමට සමත් වූහ.
- අහසේ පියාසර කළ පක්ෂීන් එහි ගැටීමෙන් (bird strike) අනතුර සිදුවී ඇතැයි සැක කෙරෙන බව රුසියානු බලධාරීහු පැවසූහ.
- ගුවන් යානය මුහුදු කලාපයට ඉහළින් පියාසර කිරීමට හේතුව මෙතෙක් අනාවරණය කර නැතත්, අනතුර සිදුවන අවස්ථාවේ, දකුණු රුසියාවට ඩ්‍රෝන ප්‍රහාරයක් ද එල්ල වෙමින් පැවතිණැයි, රොයිටර්ස් පුවත් සේවය පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


