BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
විදේශ

පේජර් ප්‍රහාරය එල්ල කළ ආකාරය ගැන ඊශ්‍රායල් හිටපු බුද්ධි නියෝජිතයින්ගෙන් අනාවරණයක්

T

The Leader Desk

December 27, 2024 • 2:38 PM

පේජර් ප්‍රහාරය එල්ල කළ ආකාරය ගැන ඊශ්‍රායල් හිටපු බුද්ධි නියෝජිතයින්ගෙන් අනාවරණයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රහාරවලින් පුද්ගලයින් රැසක් මිය ගිය අතර දහස් ගණනක් තුවාල ලැබූහ
  • හිටපු මොසාඩ් නියෝජිතයන් දෙදෙනා සීබීඑස් නිව්ස් වෙත පවසා ඇත්තේ, ඊශ්‍රායලයේ නිෂ්පාදිත බව නොදැන හිස්බුල්ලා සාමාජිකයන් විසින් 'පුපුරණ ද්‍රව්‍ය සහිත'' වෝකි ටෝකි සහ පේජර් දහස් ගණනක් මිලදීගෙන ඇති බව ය.
  • හිස්බුල්ලා සාමාජිකයින් පමණක් ඉලක්ක කර ගනිමින් මෙය සකස් කළ බව ඊශ්‍රායලය ප්‍රකාශ කළ ද ලෙබනන් බලධාරීන් පවසන්නේ මියගිය පිරිස අතර සිවිල් වැසියන් ද සිටින බවයි.
  • එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානියා මෙම ප්‍රහාරය යුද අපරාධයක් ලෙස හඳුන්වා දුන්නේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ලෙබනනයේ ෂියා සටන්කාමී කණ්ඩායමක් වන හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයින් වසර 10 ක් පුරා පුපුරණ ද්‍රව්‍ය සහිත ඊශ්‍රායලයේ නිෂ්පාදිත වෝකි ටෝකි භාවිතා කළ ආකාරය හිටපු ඊශ්‍රායල බුද්ධි අංශ නියෝජිතයින් දෙදෙනෙකු හෙළි කර තිබේ.

මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී හදිසි ප්‍රහාරයකින් එම වොකි ටෝකි පුපුරුවා හැරුණි.

හිටපු මොසාඩ් නියෝජිතයන් දෙදෙනා සීබීඑස් නිව්ස් වෙත පවසා ඇත්තේ, ඊශ්‍රායලයේ නිෂ්පාදිත බව නොදැන හිස්බුල්ලා සාමාජිකයන් විසින් 'පුපුරණ ද්‍රව්‍ය සහිත'' වෝකි ටෝකි සහ පේජර් දහස් ගණනක් මිලදීගෙන ඇති බව ය.

මෙම ප්‍රහාරවලින් බොහෝ පිරිසක් මිය ගිය අතර, දහස් ගණනක් තුවාල ලැබූහ. හිස්බුල්ලා සාමාජිකයින් පමණක් ඉලක්ක කර ගනිමින් මෙය සකස් කළ බව ඊශ්‍රායලය ප්‍රකාශ කළ ද ලෙබනන් බලධාරීන් පවසන්නේ මියගිය පිරිස අතර සිවිල් වැසියන් ද සිටින බවයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානියා මෙම ප්‍රහාරය යුද අපරාධයක් ලෙස හඳුන්වා දුන්නේ ය.

මෙම ප්‍රහාරය සිදු වන්නේ, 2023 ඔක්තෝම්බර් 7 වන දින හමාස් සංවිධානය විසින් දකුණු ඊශ්‍රායලයේ ස්ථාන කිහිපයකට එල්ල කරන ලද ප්‍රහාරයකින් පසු ඊශ්‍රායලය සහ හිස්බුල්ලා අතර දරුණු ගැටුම් ඇතිවී ඇති අතරවාරයේ ය.

සැප්තැම්බර් 17 වන දින ලෙබනනයේ, මූලික වශයෙන් හිස්බුල්ලා බලය වැඩි වශයෙන් ඇති ප්‍රදේශවල පේජර් දහස් ගණනක් එකවර පුපුරා ගියේ ය. පිපිරීම්වලින් ඒවා පරිහරණය කළ සහ අවට සිටි අයට තුවාල සිදු වූ අතර, ඇතැමුන් මිය ගියහ. එමෙන්ම මෙම සිදුවීමෙන් බොහෝ දෙනා බියට පත් වූහ.

ඉන් පසු දිනයේ ඒ ආකාරයෙන්ම වෝකි ටෝකි පුපුරා ගිය අතර, එයින් තවත් පිරිසක් මිය අතර සිය ගණනක් තුවාල ලැබූ හ.

ඉන් මාස දෙකකට පසු ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, මෙම ප්‍රහාරය ඊශ්‍රායලය විසින් සිදු කළ බව පිළිගත්තේ ය.

බීබීසීයේ එක්සත් ජනපද මාධ්‍ය හවුල්කරු වන සීබීඑස් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හිටපු ඊශ්‍රායල් බුද්ධි නියෝජිතයන් දෙදෙනා මෙම මෙහෙයුම පිළිබඳ තොරතුරු හෙළි කළහ.

මයිකල් ලෙස තමන්ව හඳුන්වා දුන් එක් නියෝජිතයෙකු පැහැදිලි කළේ, සාමාන්‍යයෙන් පරිශීලකයන් විසින් තම පපුවට සමීප ව සාක්කුවක රඳවා තබාගෙන භාවිත කරන වෝකි ටෝකිවල බැටරි තුළ, මොසාඩ් සංවිධානය විසින් පුපුරණ ද්‍රව්‍ය සඟවා තිබූ බවයි.

හිස්බුල්ලා සංවිධානය, මීට වසර 10 කට පෙර ව්‍යජ සමාගමකින් "හොඳ මිලකට" වෝකි ටෝකි 16,000 කට අධික ප්‍රමාණයක් නොදැනුවත්වම මිලදී ගෙන ඇති බව ඔහු පැවසුවේ ය.



"ඊශ්‍රායලයට සම්බන්ධයක් ඇති බවට සොයාගත නොහැකි ලෙස විදේශීය සමාගම් නිර්මාණය කිරීමට අපට ඇදහිය නොහැකි තරමේ හැකියාවක් තිබෙනවා."යි මයිකල් පැවසීය. "ව්‍යාජ සමාගම් සහ ඒවා වසන් කිරීම සඳහා තවත් ව්‍යාජ සමාගම් ලෙස සැපයුම් දාමය ආවරණය කරන්න අපට පුළුවන්."

"අපි මනඃකල්පිත ලෝකයක් නිර්මාණය කරනවා. එහිදී අපි ගෝලීය නිෂ්පාදන සමාගමක් ලෙසටයි මවාපාන්නේ. තිර රචනය, අධ්‍යක්ෂණය, නිෂ්පාදනය වගේම ප්‍රධාන නළුවොත් අපිම තමා.අපේ වේදිකාව තමා ලෝකය."


මෙම මෙහෙයුම, මීට වසර දෙකකට පෙර පේජර් ඇතුළත් කිරීම දක්වා පුළුල් වූ බව සීබීඑස් පවසයි.

ඒ වන විට හිස්බුල්ලා විසින් ගෝල්ඩ් ඇපලෝ නම් තායිවාන සමාගමකින් පේජර් මිලදී ගනිමින් සිටි බව මොසාඩ් අනාවරණය කර ගත්තේ ය. ඉන් පසුව මොසාඩ් සමාගම ගෝල්ඩ් ඇපලෝ නාමය භාවිතා කරමින් ව්‍යාජ සමාගමක් නිර්මාණය කළේ පුපුරණ ද්‍රව්‍ය යොදන ලද පේජර් විකිණීම සඳහා ය. මේ ව්‍යාජ සමාගම ගැන සැබෑ සමාගම දැන සිටියේ නැත.

සීබීඑස් පැවසුවේ මොසාඩ් විසින් භාවිත කරන්නාට පමණක් හානි වන තරමේ ප්‍රබලත්වයක පුපුරණ ද්‍රව්‍ය ඒවාට ඇතුළත් කර ඇති බවයි.
"අවම හානියක් සිදුවන බවට වග බලා ගැනීම සඳහා අපි සෑම දෙයක්ම කිහිප වතාවක් පරීක්ෂා කළා" යැයි වැඩසටහන සඳහා ගේබ්‍රියල් ලෙස තමන්ව හඳුන්වා දුන් දෙවන නියෝජිතයා පැවසීය.

මොසාඩ් විසින් මේ සඳහා, හදිසි පණිවුඩයක් බව ඇඟවෙන විශේෂ පණිවිඩ නාදයක් (ringtone) තෝරාගත් බවත්, එය යමෙකුට ඉක්මනින් සිය උපකරණය අතට ගෙන පරීක්ෂා කිරීමට තරම් හදිසි වුවමනාවක් ඇති කරන එකක් බවත් පැවසේ.

හිස්බුල්ලා සංවිධානය මෙම පේජර් මිලදී ගැනීම සඳහා රැවටීම වෙනුවෙන්, ප්‍රචාරණ චිත්‍රපට සහා අත්පත්‍රිකා සෑදීම සහ ඒවා අන්තර්ජාලයේ බෙදා හැරීම සිදු කළ බවත් ගේබ්‍රියල් කියා සිටියේ ය.

"ඔවුන් අපෙන් පේජර් මිලදී ගන්න කොට, ඔවුන් මොසාඩ් වෙතින් මෙම මිලදී ගැනීම කරන බව කොහෙත්ම දන්නෙ නැහැ" යැයි ඔහු පැවසීය. "ඒක හරියට ටෲමන් ෂෝ එක වගේ. සෑම දෙයක්ම තිරය පිටුපස සිට පාලනය කරන්නේ අපි."

2024 සැප්තැම්බර් මාසය වන විට මෙම උගුල් අටවන ලද පේජර් 5,000 ක් හිස්බුල්ලා සංවිධානය විසින් මිලදී ගෙන ඇති බව CBS වාර්තා කළේය.

මේ ගැන හිස්බුල්ලා සංවිධානයට සැකයක් ඇති වූයේ යැයි මොසාඩ් බිය වූ සැණින් ඊශ්‍රායලයේ සිට ඒවා පුපුරුවා හැර තිබේ.

මෙම පිපිරීම් ලෙබනනය පුරා භීතියක් ඇති කළ අතර සුපිරි වෙළඳසැල් ඇතුළුව පේජර් රැගෙන ගිය සෑම තැනකම පාහේ පිපිරීම් සිදු විය. ජීවිත හානි රැසක් සිදු වූ අතර බරපතල තුවාල ලැබූ අයගෙන් රෝහල් පිරී ගියේ ය.

එකල හිස්බුල්ලා නායකයා වූ හසන් නස්රාල්ලා ඉදිරිපිටදී ද මිනිසුන් මෙම පිපිරීම්වල ගොදුරු බවට පත් වූ බවට ප්‍රබල කටකතා පැතිර ගිය බවත් ගේබ්‍රියෙල් සඳහන් කළේය.

දින කිහිපයකට පසු, හිස්බුල්ලා තවමත් මෙම ප්‍රහාරයේ කම්පනයෙන් සිටියදීම ඊශ්‍රායලය හිස්බුල්ලා ඉලක්ක වෙත දැඩි ගුවන් ප්‍රහාර එල්ල කළ අතර, පසුව ලෙබනනයේ බිම් මට්ටමේ මෙහෙයුමක්ද සිදු කළේ ය.

නොවැම්බර් 26 වැනිදා දෙපාර්ශවය සටන් විරාමයකට එකඟ විය.

පේජර් සහ වෝකි ටෝකි ප්‍රහාර ලෙබනනය තරයේ හෙළා දුටු අතර, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානී වොල්කර් ටර්ක් කියා සිටියේ මෙම ප්‍රහාර ඔහුව කම්පනයට පත් කළ බව ය.

මෙම ප්‍රහාර සඳහා යොදාගත් ක්‍රමය ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය ද උල්ලංඝණය කරන බව ඔහු පැවසුවේ ය.

සටහන | රෆී බර්ග්
බීබීසී පුවත්

(BBC සිංහල සේවය)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...