BREAKING
ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●
Top Ad
විදේශ

චීනය සහ ටිබෙටය අතර ඇති දේශපාලනික අර්බුදය මීළඟ දලයි ලාමා තේරීමට හරස් වෙයි ද?

T

The Leader Desk

March 25, 2025 • 5:52 AM

චීනය සහ ටිබෙටය අතර ඇති දේශපාලනික අර්බුදය මීළඟ දලයි ලාමා තේරීමට හරස් වෙයි ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දලයි ලාමා විසින් ඔහුගේ නව ග්‍රන්ථයේ ඔහුගේ උරුමක්කරුවා පිළිබඳව විස්තර කරනු ලැබ තිබේ
  • "පුනරුත්පත්තියක අරමුණ පුරෝගාමීයකුගේ කාර්යය දිගට ම කරගෙන යාම වන නිසා, නව දලයි ලාමා නිදහස් ලෝකයක් තුළ උපත ලබනු ඇත," යනුවෙන් ටිබෙටියානු බුදු දහමේ අග්‍රගණ්‍ය නායකයා වන ඔහුගේ නවතම කෘතියේ උන්වහන්සේ සඳහන් කර තිබේ.
  • දලයි ලාමා දේශපාලනික මෙන් ම අධ්‍යාත්මික චරිතයක් වන අතර, දලයි ලාමා ඇතුළු ජ්‍යෙෂ්ඨ බෞද්ධ ලාමාවරුන්ගේ (ගුරුවරුන්ගේ) සියලුම පුනරුත්පත්තීන් චීන රජයෙන් අනුමත කළ යුතු බව චීන රජය අවධාරණය කරයි.
  •   දලයි ලාමා නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලබා ඇති ලොව පුරා ඉතා ප්‍රසිද්ධ චරිතයකි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

දලයි ලාමාගේ මීළඟ අනුප්‍රාප්තිකයා චීනයෙන් පමණක් බිහිවිය යුතු බවට බීජිං හි සිට පැමිණෙන බලපෑම නොතකා දලයි ලාමා විසින් තම අනුප්‍රාප්තිකයා චීනයට පිටතින් බිහි වනු ඇති බවට නිවේදනය කොට තිබේ.

"පුනරුත්පත්තියක අරමුණ පුරෝගාමීයකුගේ කාර්යය දිගට ම කරගෙන යාම වන නිසා, නව දලයි ලාමා නිදහස් ලෝකයක් තුළ උපත ලබනු ඇත," යනුවෙන් ටිබෙටියානු බුදු දහමේ අග්‍රගණ්‍ය නායකයා වන ඔහුගේ නවතම කෘතියේ උන්වහන්සේ සඳහන් කර තිබේ.

දලයි ලාමා දේශපාලනික මෙන් ම අධ්‍යාත්මික චරිතයක් වන අතර, දලයි ලාමා ඇතුළු ජ්‍යෙෂ්ඨ බෞද්ධ ලාමාවරුන්ගේ (ගුරුවරුන්ගේ) සියලුම පුනරුත්පත්තීන් චීන රජයෙන් අනුමත කළ යුතු බව චීන රජය අවධාරණය කරයි.

එසේ නම් ටිබෙට් බුදු දහමට අනුව 'පුනරුත්පත්තිය' යන්න සිදුවන්නේ කෙසේද, එම භූමිකාව දරන පහළොස්වන දලයි ලාමාවරයා වන මීළඟ දලයි ලාමාවරයා තෝරාගනු ලබන්නේ කෙසේ ද? යන්න මෙම ලිපියෙන් විමසා බැලෙයි.

දලයි ලාමා යනු කවු ද?

 dl345344

දලයි ලාමා නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලබා ඇති ලොව පුරා ඉතා ප්‍රසිද්ධ චරිතයකි.

 

ටිබෙටයේ අධ්‍යාත්මික නායකයා වන දලයි ලාමා යනු, ටිබෙට් බුදු දහමේ වඩාත් ප්‍රසිද්ධ ම මුහුණුවර වන අතර අවලෝකිතේශ්වර හෝ චෙන්රෙසිග් ලෙස හඳුන්වන ටිබෙටයේ අනුශාසක සාන්තුවරයාගේ පහළ වීමකී.

මෙම ගෞරවණීය නාමයේ අර්ථය "ප්‍රඥා සාගරය" යන්නයි. මෙම භූමිකාව සියවස් ගණනක් තිස්සේ පිරවුණේ 'පුනරුප්පතිය' මගිනි.

යමෙකු මිය ගිය පසුව යළි උපදින බවට බෞද්ධයෝ විශ්වාස කරති. ඒ අනුව ඔවුන් විසින් විශ්වාස කරන්නේ තම පෙර ජිවිතයේ කළ කී දෑ මත ඔවුන් උපදින්නේ කෙසේ ද යන්න රඳා පවතින බවයි. (මෙම සංකල්පය බුදු දහමේ, හින්දු ආගමේ සහ සික් ආගමේ වැදගත් සංකල්පයක් වන කම්ම හෝ කර්මය ලෙස හැඳින්වේ). දලයි ලාමා වැනි ඉහළම අධ්‍යාත්මික තත්ත්වයට පත් වූ අයට තමන් කවදා කොතැනක නැවත ඉපදෙන්නේද යන්න තීරණය කළ හැකි බව ටිබෙට් ජාතිකයෝ විශ්වාස කරති.

වර්තමාන දලයි ලාමා වන ටෙන්සින් ග්‍යන්සෝ 1935 ජූලි 06 වන දින ඊසානදින ටිබෙටයේ දුප්පත් ගොවි පවුලකට දාව උපත ලැබීය. ඔහුට යන්තමින් වයස අවුරුදු දෙකක් වන විට ඔහු 13 වන දලයි ලාමා වූ තබ්තන් ග්‍යන්සෝගේ පුනරුප්පතිය ලෙස හඳුනාගන්නා ලදී.

"දලයි ලාමාගේ එක ම ආත්මය නැවත නැවත ඉපදෙනවා කියලා ටිබෙට් ජාතිකයන් විශ්වාස කරනවා. අපි විශ්වාස කරනවා දැන් ඉන්න දලයි ලාමා, 13 වන දලයි ලාමාගේ පුනරුප්පතිය කියලා," ආචාර්ය තප්තන් ජින්පා පවසයි.

 dl565654

'දලයි ලාමාගේ එක ම ආත්මය නැවත නැවත ඉපදෙනවා කියලා ටිබෙට් ජාතිකයන් විශ්වාස කරනවා,' යැයි මෙහි දලයි ලාමා සමග සිටින ආචාර්ය තප්තන් ජින්පා පවසයි.

 

හිටපු භික්ෂුවරයෙක් වන ආචාර්ය ජින්පා යනු ටිබෙට් බුදු දහම සම්බන්ධයෙන් ඉහළම න්‍යායත්මක සුදුසුකම් ඇත්තෙකි. ඔහු 1985 සිට දලයි ලාමාගේ නිල භාෂා පරිවර්තකයා ලෙස කටයුතු කරයි.

සියලු ම දලයි ලාමාවරුන් තනි පුද්ගලයෙකුගේ අඛණ්ඩ පැවැත්මක් ලෙස සම්ප්‍රදායිකව විශ්වාස කළ ද වත්මන් ආගමික නායකයා මෙය සැබෑ ලෙස වචනාර්ථයෙන්ම විශ්වාස කරන බවක් නොපෙනෙන බව ඔහු පවසයි.

"හිටපු දලයි ලාමාවරුන් 14 දෙනා ම එක ම පුද්ගලයා බව උන්වහන්සේ කොහෙත් ම විශ්වාස නොකරන බව ශුද්ධෝත්තමයන් වහන්සේ කීප අවස්ථාවකදී ම කියනවා මම අහලා තියෙනවා," ආචාර්ය ජින්පා බීබීසී වෙත පැවසීය. "නමුත් ඒ පෙළපතේ සිටින සෑම කෙනෙකුට ම දලයි ලාමාවරුන්ගේ පෙළපත සමඟ විශේෂ සම්බන්ධයක් පවතිනවා."

බුදු දහම, ක්‍රිස්තියානි ආගමට පෙර සිට පැවත එන නමුත් දලයි ලාමාවරුන්ගේ ඉතිහාසය එතරම් දුර නැත.

"පළමු දලයි ලාමා 1391 දී උපත ලැබූ ගදේන් ද්‍රප් ලෙස පසුව හඳුනාගත්තත්, තම පූර්වගාමීයාගේ දේපළ සහ සිසුන් උරුම කරගත් පුනරුත්පත්තිය ලබන බෞද්ධ ගුරුවරයෙකු පිළිබඳ අදහස, එයිනුත් වසර තුන්සීයකටත් වඩා පරණ අදහසක්," යැයි ඇබර්ඩීන් විශ්වවිද්‍යාලයේ හිමාලයානු පර්යේෂණ සඳහා ස්කොට්ලන්ත මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය මාර්ටින් ඒ මිල්ස් පවසයි.

"දැන් ඒ වගේ පුනරුපත්තිය ලබන ලාමාවරුන්ගේ පෙළපත් සිය ගණනක් තියෙනවා, ඔවුන්ගෙන් දලයි ලාමා තමයි වඩාත් ම ප්‍රසිද්ධ," මිල්ස් වැඩිදුරටත් පැවසුවේ ය.

දලයි ලාමා තෝරාගන්නේ කෙසේ ද?

 dl5646

තප්තන් ජින්පා දලයි ලාමාගේ නිල භාෂා පරිවර්තකයා ලෙස දශක 4කට ආසන්න කාලයක් කටයුතු කර තිබේ.

 

"දලයි ලාමා තේරීම ඉතා ම බරපතල, සංකීර්ණ සහ විචිත්‍රවත් ක්‍රමවේදයක්," උතුරු ඉන්දියාවේ ධර්මශාලා හි දී දලයි ලාමා හමුවී පැය කිහිපයකට පසු කතා කරමින් ආචාර්ය ජින්පා පැහැදිලි කරයි.

"දලයි ලාමාවරුන් එන්නේ වෙනස් වෙනස් පවුල්වලින්,ඔවුන් කිසිම කෙනක් ළඟ ම ඥාතීන් නොවුණු අය" ආචාර්ය ජින්පා වැඩිදුරටත් පැවසුවේ ය.

මෙම පුද්ගලයා හඳුනා ගැනීමට වසර ගණනක් ගත විය හැකි අතර, 14 වන පුනරුප්පත්තියේදී ඒ සඳහා 4 දෙනෙකු විය.

ඉහළ තනතුරුවල සිටින භික්ෂූන් වහන්සේලා විසින් පෙර දලයි ලාමාගේ මරණයත් සමඟම උපත ලැබූ පිරිමි දරුවෙකු සෙවීමට විවිධාකාරයේ ඉඟි විශාල සංඛ්‍යාවක් යොදාගනිමින් සෙවීම ආරම්භ කරනු ලැබේ.

ඇතැම්විට එක් භික්ෂුවකට පිරිමි දරුවාගේ අනන්‍යතාවය පිළිබඳ අදහසක් සිහිනයෙන් පෙනිය හැකි අතර, පෙර සිටි දලයි ලාමාගේ අවමංගල්‍ය චිතකයෙන් දුම් නඟින දිශාව පුනරුත්පත්තිය සිදුවිය හැකි ස්ථානය පිළිබඳ ඇඟවීමක් ලෙස ද ගැනෙයි. මධ්‍යම ටිබෙටයේ ශුද්ධ වූ විලක් ද ඇති අතර එයින් ද සෙවීම සඳහා ඉඟි ලබා දිය හැකි යැයි සැලකේ.

ටෙන්සින් ග්‍යන්සෝගේ නිවස සහ ගම හඳුනාගෙන ඇත්තේ මෙම විලේ දර්ශනයකින් ය.

පිරිමි දරුවා සිටින ස්ථානය තහවුරු වූ විට එම දරුවාට බොහෝ දේවල් ලබා දෙමින් මේවායින් පෙර දලයි ලාමාට අයත් දේවල් මොනවාදැයි පිරිමි දරුවා සාර්ථකව හඳුනා ගන්නේ නම්, එය පුනරුප්පත්තිය පිළිබඳ හොඳ ඇඟවීමක් ලෙස සලකනු ලබයි.

 

දලයි ලාමා හිමියන්ගේ ලංකාගමනය වැළැක්වීමට චීනයෙන් දහං ගැටයක් !
ඉහළ තනතුරු වල සිටින ලාමාවරුන් සෑහීමකට පත් වූ පසු පිරිමි දරුවා තෝරාගෙන වසර ගණනාවක් ආගමික පුහුණුව සහ න්‍යායාත්මක අධ්‍යයනයන් සඳහා යොමු කරයි.

පෙර සිදුකළ ඇතැම් තේරීම් මතභේදාත්මක වී ඇති අතර, ඒ පිළිබඳ ව ටිබෙටය තුළත් ඉන් පිටත් සැක සංකා ඇති කොට තිබේ.

"වසර පන්සියයකට පෙර තෂිල්හුන්පෝ ආරාමයේ වැඩ සිටි පළමු දලයි ලාමාගේ පුනරුප්පත්තිය එහි සිටි නායක භික්ෂූන්වහන්සේලා විසින් මුලින් පිළිගත්තේ නෑ. පස්වෙනි දලයි ලාමා (ඔහුගේ දිනපොත්වල ඔහු විසින් ම පිළිගෙන ඇති පරිදි) හඳුනාගැනීමේ ක්‍රියාවලියේ කොටසක් වෙන පරීක්ෂණ වලින් සමත් වෙලා නෑ," මහාචාර්ය මිල්ස් සිහි කරයි.

මෙතෙක් ටිබෙටයෙන් පිටත දලයි ලාමාවරුන් සිට ඇත්තේ දෙදෙනෙකු පමණි: එක් අයෙකු මොන්ගෝලියාවේ වන අතර අනෙක් දලයි ලාමා ඊසානදින ඉන්දියාවේ තාවාන්ග් ප්‍රදේශයේ ද විය.

වත්මන් දලයි ලාමා ජූලි මාසයේදී ඔහුට වයස අවුරුදු 90 ක් සපිරෙන විට ඔහුගේ ඊළඟ උපත පිළිබඳව වැඩි පැහැදිලි කිරීමක් ලබා දෙන බවට ප්‍රතිඥා ලබා දී තිබේ.

චීනයේ පාලනය

 dl4678478

දලයි ලාමාගේ තේරීම ලෙස පැන්චන් ලාමා ප්‍රසිද්ධියේ දැකීමට හැකි වූයේ 1995 මැයි මාසයේදී ය.

 

චීනය දලයි ලාමාව ප්‍රතික්ෂේප කරන්නේ ආගම මුවාවෙන් බෙදුම්වාදී චීන විරෝධී ක්‍රියාකාරකම්වල යෙදෙන දේශපාලන පිටුවහල්කරුවෙක් ලෙස ය. 2007 දී චීනය නියෝග කළේ "පුනරුප්පත්තිය ලබන ජීවමාන බුදුවරයෙකු" ලෙස ඔවුන් හඳුන්වන නව දලයි ලාමා "අයදුම්පත් යොමු කිරීමේ සහ අනුමත ක්‍රියාවලීන්" අනුව සිදු කළ යුතු බව ය.

චීන විරෝධී කැරැල්ල අසාර්ථක වීමෙන් පසුව ටිබෙටය බලහත්කාරී ව අයිති කරගැනීමට 1950දී චීනය දහස් ගණනක් හමුදා සෙබළුන් යැවූ විට, 1959 දී දලයි ලාමා ඉන්දියාවට පලා ගියේ පිටුවහල් කෙරුණු රජයක් පිහිටුවීම සඳහා ය.

ටිබෙටය සම්බන්ධයෙන් චීන ස්වෛරීභාවය පිළිබඳව කිසිදු රටක් විවාද නොකරන නමුත් දශක ගණනාවක් තිස්සේ දලයි ලාමා බීජිං පාලනයට එරෙහි ප්‍රතිරෝධයේ සංකේතයක් බවට පත්ව තිබෙන නිසා, පිටුවහල් ව සිටි කාලය තුළ ටිබෙට් ජාතිකයන් විසින් පිළිගත් නායකයා ලෙස ඔහුගේ වැදගත්කම වැඩි වී ඇති බව මහාචාර්ය මිල්ස් විශ්වාස කරයි.

 

ටිබෙට් බුදු දහමේ නායකයා ලෙස කිසිදු විධිමත් භූමිකාවක් ඔහු නොදැරුවත් (2011 දී පිටුවහල් රජයේ නායකත්වය අත්හැරීමෙන් පසු), දලයි ලාමා ටිබෙටය වෙනුවෙන් බලපෑම් කිරීම දිගටම සිදුකරගෙන යයි.

ටිබෙටයෙන් පිටත පුනරුප්පත්තිය පිළිබඳ දලයි ලාමාගේ නවතම තීරණය, චීන පාලනයේ ඇති බල ප්‍රදේශය තුළ පවතින තත්ත්වයන්ට ප්‍රායෝගික ප්‍රතිචාරයක් ලෙස සලකනු ලබයි.

ටිබෙට් බුදු දහමේ දෙවන ඉහළම චරිතය වන පැන්චන් ලාමා බොහෝදුරට මීළඟ දලයි ලාමා තෝරා ගැනීමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන චරිතයක් වනු ඇත.

1995 දී දලයි ලාමා විසින් කුඩා පිරිමි ළමයෙකු පැන්චන් ලාමා ලෙස නම් කරනු ලැබූ නමුත් චීනය එය ප්‍රතික්ෂේප කර තමන්ගේ ම අපේක්ෂකයෙකු තෝරා ගත්තේ ය. දලයි ලාමාගේ තෝරාගැනීම අතුරුදන් වූ අතර ඔහු කොහේ සිටින්නේදැයි මෙතෙක් කිසිවෙකුත් නොදනී.

 dli9578957

2018 පැන්චන් ලාමා ලෙස චීනය තෝරාගත් ජයාල්සෙන් නොර්බු 2018 දී බීජිං සමුළුවකට සහභාගී වෙමින්

 

මෙයින් පෙනී යන්නේ අනාගතයේදී චීන රජය විසින් ඔවුන්ගේ ම දලයි ලාමා කෙනෙක් පත් කරගැනීමට බොහෝ සෙයින් ඉඩ ඇති නමුත් ඔහුව ටිබෙට් ජාතිකයන් පිළිගනියි ද? යන ගැටලුව පැන නගියි.

"මිනිස්සුන්ට ඔවුන්ගේ ජිවිත නැති කරගන්න අවශ්‍ය නැති නිසා ඔවුන් ආචාරශීලි වෙයි, නමුත් ඔවුන් චීන රජය විසින් පත් කළ දලයි ලාමා පිළිගන්න එකක් නෑ," ආචාර්ය ජින්පා පවසයි.

"චීනයට භෞතික ව මිනිස්සුන් ව පාලනය කරන්න පුළුවන් වුණත් ටිබෙට් ජාතිකයන්ගේ හදවත් සහ හිත දිනාගන්න බෑ."

(සටහන | ස්වාමිනාදන් නටරාජන්)
බීබීසී ලෝක සේවය

උපුටා ගැනීම - BBC සිංහල සේවය


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...