BREAKING
ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●
Top Ad
විදේශ

භූ කම්පනයේ බලපෑම් මධ්‍යයේත් මියන්මාර් ජුන්ටාව 'ඔවුන්ගේ ජනතාවට ම ගුවන් ප්‍රහාර එල්ල කරයි'

T

The Leader Desk

April 2, 2025 • 4:13 AM

භූ කම්පනයේ බලපෑම් මධ්‍යයේත් මියන්මාර් ජුන්ටාව 'ඔවුන්ගේ ජනතාවට ම ගුවන් ප්‍රහාර එල්ල කරයි'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මියන්මාරයේ ජුන්ටා සටන්කාමීන් විසින් සිකුරාදා සවස බෝම්බ හෙළන ලද බවට වාර්තා වන ෂෑන් ප්‍රාන්තයේ නාඋං ලින් ගම්මානයේ හානියට පත් ගොඩනැගිලිවල ඡායාරූප කිහිපයක් බීබීසී වෙත ලැබී තිබේ.
  • එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම ප්‍රහාර "සම්පූර්ණයෙන් ම පිළිකුල්සහගත සහ අනුමත කළ නොහැකි" ඒවා ලෙස විස්තර කර ඇත.
  • භූමිකම්පාවෙන් පසුව හමුදාව "මිනිසුන් බේරා ගැනීමට උත්සහ කරන අතරතුර බෝම්බ හෙළීම" දිගට ම කරගෙන යාම "අදහාගත නොහැකි" බව එහි විශේෂ නියෝජිත ටොම් ඇන්ඩෲස් බීබීසී වෙත පැවසීය.
  • වසර හතරකට පමණ පෙර කුමන්ත්‍රණයකින් බලය අල්ලා ගත් හමුදා පාලනයෙන් ඔහු ඉල්ලා සිටියේ, සියලු හමුදා මෙහෙයුම් නතර කරන ලෙස ය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

පුද්ගලයින් 2,000කට අධික පිරිසක් මිය ගිය දරුණු භූ කම්පනයෙන් පසුව ද මියන්මාරයේ හමුදා ජුන්ටාව යුද්ධයෙන් විනාශ වී ඇති එරට ඇතැම් ප්‍රදේශවලට අඛණ්ඩව බෝම්බ හෙළා තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම ප්‍රහාර "සම්පූර්ණයෙන් ම පිළිකුල්සහගත සහ අනුමත කළ නොහැකි" ඒවා ලෙස විස්තර කර ඇත.

භූමිකම්පාවෙන් පසුව හමුදාව "මිනිසුන් බේරා ගැනීමට උත්සහ කරන අතරතුර බෝම්බ හෙළීම" දිගට ම කරගෙන යාම "අදහාගත නොහැකි" බව එහි විශේෂ නියෝජිත ටොම් ඇන්ඩෲස් බීබීසී වෙත පැවසීය.

වසර හතරකට පමණ පෙර කුමන්ත්‍රණයකින් බලය අල්ලා ගත් හමුදා පාලනයෙන් ඔහු ඉල්ලා සිටියේ, සියලු හමුදා මෙහෙයුම් නතර කරන ලෙස ය.

"හමුදා බලපෑම්වලට ලක්ව සිටින සියලු දෙනා ඔවුන්ට එරෙහි පීඩනය වැඩි කළ යුතු අතර ම මෙය අනුමත නොකරන බව ඉතා පැහැදිලිව කිව යුතු යි," ඔහු පැවසීය.

"මම ජුන්ටාවෙන් ඉල්ලා සිටින්නේ ඔවුන් කරන සියලු ම හමුදා මෙහෙයුම් නවත්වන ලෙස යි," ඔහු තවදුරටත් පැවසීය.


reutersභූමිකම්පාවේ අපිකේන්ද්‍රය වූ මැන්ඩලේහි දිවි ගලවා ගත් පුද්ගලයින් සෙවීමේ කටයුතු තවමත් සිදුවෙමින් පවතී.
උතුරු ෂෑන් ප්‍රාන්තයේ නෞන්චෝහි ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් හත් දෙනෙකු මිය ගොස් ඇති බව බීබීසී බුරුම සේවය තහවුරු කළේ ය. භූමිකම්පාව සිදුවී පැය තුනකටත් අඩු කාලයකින්, සිකුරාදා (මාර්තු 28) එරට වේලාවෙන් පසවරු 3:30ට පමණ මෙම ප්‍රහාරය එල්ල විය.

කැරලිකරුවන්ට අනුව, මියන්මාර් හමුදාව සඳුදා (මාර්තු 31) ද භූමිකම්පාවෙන් පීඩාවට පත් සගායිං ප්‍රදේශයට ගොඩබිම් ප්‍රහාර එල්ල කළේ ය.

සිවිල් මිලීෂියා කණ්ඩායමක් වන චාඕං යූ මහජන ආරක්ෂක බළකායේ ප්‍රකාශකයෙකු බීබීසීයට පැවසුවේ, ඔවුන් දැඩි මෝටාර් ෂෙල් වෙඩි ප්‍රහාරවලට ලක් වූ බව ය.

කැරලිකරුවන් වාර්තා කළේ, ප්‍රදේශයේ හමුදා රථ පෙළ පහක් ඇති බව ය.

මෙය සිදුවන්නේ, කලාපයේ භූමිකම්පා සහන සේවා සහ ගලවා ගැනීමේ සේවකයින් බරපතළ සම්පත් හිඟයකින් පෙළෙන අවස්ථාවක ය.

හමුදාව බලයෙන් ඉවත් කිරීමට සටන් කරන ප්‍රජාතන්ත්‍රවාදය අපේක්ෂා කරන කැරලිකාර කණ්ඩායම්, භූමිකම්පාවේ අපිකේන්ද්‍රය වූ වයඹදිග සගායිං කලාපයේ චැං-උ නගරයට ගුවන් බෝම්බ ප්‍රහාර එල්ල වූ බව ද වාර්තා කළහ. තායි දේශසීමාව අසල ප්‍රදේශවලට ගුවන් ප්‍රහාර එල්ල වී ඇති බව ද වාර්තා වී තිබේ.

හමුදා ජුන්ටාව බලයෙන් පහ කිරීමට සටන් වදින ප්‍රජාතන්ත්‍රවාදයට හිතැති පුද්ගලයින් රට පුරා ක්‍රියාත්මක වීම මර්දනය කිරීමේ උත්සහයක් ලෙස හමුදාව සඳුදා දිනයේදීත් රටේ අනෙකුත් ප්‍රදේශවලට ගුවන් ප්‍රහාර එල්ල කිරීම දිගට ම කරගෙන ගොස් තිබේ.

බලයෙන් පහ කරන ලද සිවිල් පරිපාලනය නියෝජනය කරන ජාතික එක්සත් රජය (NUG) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, භූමිකම්පාවෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශවල "ආරක්ෂක ක්‍රියාමාර්ග හැර, ප්‍රහාරාත්මක හමුදා මෙහෙයුම්" සඳහා ඉරිදා සිට සති දෙකක විරාමයක් තම සන්නද්ධ හමුදා විසින් ආරම්භ කරනු ලබන බව ය.

 

b014d950 0e34 11f0 ba12 8d27eb561761

සගායිංහි ඇති වූ මැග්නිටියුඩ් 7.7ක භූමිකම්පාව අසල්වැසි රටවලට ද දැනිණි. ඉන්පසු, මියන්මාරයේ දෙවන විශාලතම නගරය වන මැන්ඩලේ ආසන්න ප්‍රදේශවලින් මෙන් ම ඊට සැතපුම් 150කට වඩා (කිලෝමීටර් 241) දුරින් පිහිටි අගනුවර වන නේ පි ටෝ වෙතින් ද විනාශය පිළිබඳ වාර්තා පළ විය.

ජුන්ටාව පවසන්නේ, පුද්ගලයින් 2,056 දෙනෙකු මිය ගොස් ඇති අතර 3,900 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව ත් 270 ක් තවමත් අතුරුදහන් වී ඇති බව ත් ය.

මෙම සංඛ්‍යා අපට ස්වාධීනව සත්‍යාපනය කළ නොහැකි ය. මැන්ඩලේහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 දක්වා ඉහළ ගොස් ඇති අතර සුන්බුන් අතර ඇති මළ සිරුරුවල දුර්ගන්ධය වීදි පුරා පැතිර යන බව බීබීසීයට පවසා තිබේ.

භූමිකම්පාවේ සිදුවූ ස්ථානය සහ ප්‍රමාණය අනුව "මරණ සංඛ්‍යාව 10,000 ඉක්මවීමට ඇති ඉඩකඩ ඉතා ඉහළ යි" යනුවෙන් එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සිකුරාදා පැවසීය.

මෙම භූමිකම්පාව සිදුවූයේ, මියන්මාරයේ වසර හතරක් පුරා පැවති සිවිල් යුද්ධයෙන් අනතුරුව 2021දී සිදුවූ හමුදා කුමන්ත්‍රණයකින් පසුව ය. හමුදා කුමන්ත්‍රණයෙන් පසු දැවැන්ත විරෝධතා ඇති වූයේ සිවිල් පාලනය යථාතත්ත්වයට පත් කරන ලෙස ඉල්ලා දිනපතා දහස් ගණනක් වීදි බැසීමත් සමග ය.

මුලින් සිවිල් නීති කඩ කිරීමේ ව්‍යාපාරයක් ලෙස ආරම්භ වූ එය ඉක්මනින් ම ප්‍රජාතන්ත්‍ර හිතවාදීන් සහ වාර්ගික කැරලිකාර කණ්ඩායම් සම්බන්ධ වූ පුළුල් කැරැල්ලක් දක්වා පරිණාමය විය. අවසානයේ එය සම්පූර්ණ සිවිල් යුද්ධයකට මග පෑදීය.

වසර හතරකට පසුවත්, එක් අතකින් හමුදාව අතරත්, අනෙක් අතින් වාර්ගික හමුදා සහ සන්නද්ධ ප්‍රතිරෝධක කණ්ඩායම් අතරත් ප්‍රචණ්ඩ සටන් දිගට ම පැවතිණි.

අඛණ්ඩ හා නින්දිත පරාජයන් අත්විඳ ඇති සහ විශාල භූමි ප්‍රමාණයක් අහිමි වී ඇති ජුන්ටාව, තම පාලනයට එරෙහි ප්‍රතිරෝධය මැඩපැවැත්වීම සඳහා ගුවන් ප්‍රහාර මත වැඩි වැඩියෙන් විශ්වාසය තබමින් සිටී.

භූමිකම්පාවේ අපිකේන්ද්‍රය වූ සගායිං කලාපයේ විශාල කොටස් දැන් ප්‍රජාතන්ත්‍රවාදීන්ට එරෙහි කණ්ඩායම්වල පාලනය යටතේ පවතී.


53fec630 0e25 11f0 ba12 8d27eb561761.jpgසිකුරාදා සිදුවූ දැවැන්ත භූමිකම්පාවේ අපිකේන්ද්‍රය වූ මැන්ඩලේ සිට කිලෝමීටර් 44ක් පමණ දුරින් පිහිටි කයොක්සේහි පෙර පාසලක සුන්බුන් අතර ළමුන්ගේ බෑග් වැටී තිබුණු අයුරු
කුමන්ත්‍රණයකින් බලය අල්ලා ගැනීමෙන් වසර හතරකට ආසන්න කාලයකට පසු, හමුදාව දැන් පාලනය කරන්නේ රටෙන් හතරෙන් එකකටත් වඩා අඩු ප්‍රමාණයක් බව බීබීසී විමර්ශනයකින් හෙළි විය.

එම විමර්ශනයෙන් හෙළි වූයේ, වාර්ගික හමුදාවන් සහ ප්‍රතිරෝධී කණ්ඩායම්වල එකතුවක් දැන් රටේ භූමි ප්‍රමාණයෙන් 42%ක් පාලනය කරන අතර, ඉතිරි ප්‍රදේශයෙන් වැඩි කොටසක් සඳහා තවමත් සටන් ක්‍රියාත්මක වන බව ය.

ගුවන් සටන්වලදී හමුදා රජයට වාසියක් ඇත. ප්‍රතිරෝධක කණ්ඩායම්වලට ගුවනේදී ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ හැකියාව නොමැත.

පාසල්, ආරාම, පල්ලි සහ රෝහල් විනාශ කර ඇති ඉවක් බවක් නොමැතිව ගුවනින් බෝම්බ හෙලීමේ ඉතිහාසයක් හමුදාවට ඇත. එක් මාරාන්තිකම ගුවන් ප්‍රහාරයකින්, කාන්තාවන් බොහෝ දෙනෙකු සහ ළමුන් ඇතුළු 170කට වැඩි පිරිසක් මිය ගියහ.

එරට මානව හිමිකම් උල්ලංඝණය කිරීම් විමර්ශනය කරන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය අනතුරු අඟවා ඇත්තේ, හමුදා ජුන්ටාව තමන්ගේ ම ජනතාවට එරෙහිව යුද්ධ අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදු කරන බව ය.

රුසියාවෙන් සහ චීනයෙන් ලැබෙන අඛණ්ඩ සහයෝගය මත හමුදාව ගුවන් සටන් පවත්වාගෙන යයි. කුමන්ත්‍රණයට ප්‍රතිචාර වශයෙන් අවි තහනමක් පනවන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලා සිටිය ද, චීනය සහ රුසියාව යන රටවල් දෙක ම ජුන්ටාවට නවීන ප්‍රහාරක ජෙට් යානා විකුණා ඒවා භාවිත කරන ආකාරය පිළිබඳ පුහුණුවක් ලබා දී ඇත.

රුසියාව සහ චීනය ද දැන් මියන්මාරයට ආධාර සහ සහන කණ්ඩායම් යවා ඇත. නමුත් එක්සත් රාජධානිය පදනම් කර ගත් බුරුම මානව හිමිකම් ක්‍රියාකාරිනී ජූලි කයින් මෙසේ පැවසුවා ය: "අපේ අහිංසක සිවිල් වැසියන් ඝාතනය කිරීමට භාවිත කරන මාරාන්තික අවි මිලිටරි ජුන්ටාවට සපයන රටවල් ම ඒ දේ කරද්දී, ඒක අනුකම්පාව කියලා විශ්වාස කරන්න අමාරු යි."

army මියන්මාර හමුදා ප්‍රධානී මින් අවුං ලයින් සිකුරාදා නේ පියි ටෝහි පිහිටි දිවි ගලවා ගත් පුද්ගලයින් ප්‍රතිකාර ලබන රෝහලකට ගියේ ය.
සිවිල් යුද්ධයේදී ජනතාවට ලැබෙන ආධාර හමුදාව විසින් ආයුධයක් ලෙස භාවිත කරනු ලබනු ඇතැයි යන කනස්සල්ල ද පුළුල් ලෙස පවතී.

මියන්මාර් හමුදාවට, ප්‍රතිරෝධී කණ්ඩායම් ක්‍රියාකාරී ප්‍රදේශවලට ආධාර ලබා දීම ප්‍රතික්ෂේප කිරීමේ දිගුකාලීන පුරුද්දක් තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ටොම් ඇන්ඩෲස් බීබීසීයට පැවසුවේ, පසුගිය සහන කටයුතුවලදී හමුදාව ආධාර අවහිර කර සහන සේවකයින් අත්අඩංගුවට ගත් බව ය.

"අතීතයේ සිදුවුණ මානුෂීය ව්‍යසනයන්ගෙන්, ස්වාභාවික විපත්වලින් අප දන්නා දේ තමයි ජුන්ටාව සත්‍යය හෙළි කරන්නේ නැහැ කියලා. මානුෂීය ආධාර වඩාත් අවශ්‍ය ස්ථානයට ළඟා වීම අවහිර කිරීමේ පුරුද්දක් ද ඔවුන්ට තියෙනවා," ඔහු පැවසීය.

"ඔවුන් මේ ආධාරය ආයුධයක් ලෙස යොදා ගන්නවා. ඔවුන් ඒවා ඔවුන්ට පාලනය කළ හැකි ප්‍රදේශවලට යවන අතර ඔවුන්ගේ පාලනයේ නොමැති ප්‍රදේශවලට යැවීම ප්‍රතික්ෂේප කරනවා."

"ආධාරවල අවශ්‍යතාව දැඩිව තියෙන ප්‍රදේශ තියෙනවා. ඒවා ඒ ප්‍රදේශවලට රැගෙන යන්න උත්සහ කරනවා. ට්‍රක් රථ යොදලා ඒ මග අවහිර කරනවා. මිනිස්සු අත්අඩංගුවට පත් වෙනවා සහ අතීතයේ ඉඳලා ඒක එයාලා ස්වභාවික අපදාවලට ප්‍රතිචාර දක්වන රටාවක් වෙලා.

"කනගාටුවෙන් උණත් ඒක මේ ව්‍යසනයේදීත් වේවි කියලා මම කිසි ම සැකයක් නැතුව බලාපොරොත්තු වෙනවා."


(සටහන | රෙබෙකා හෙන්ෂ්කි)

බීබීසී අයි

උපුටා ගැනීම - BBC සිංහල සේවය

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

භූ කම්පනයේ බලපෑම් මධ්‍යයේත් මියන්මාර් ජුන්ටාව 'ඔවුන්ගේ ජනතාවට ම ගුවන් ප්‍රහාර එල්ල කරයි' | The Leader