BREAKING
ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට● වචනවල නොපැටලී ශිල්පීය නිපුණතාව සහ බුද්ධිමය දේපළෙහි වෙනස හඳුනාගනිමු●පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●
Top Ad
විදේශ

ට්‍රම්ප් හාවර්ඩ් ඇතුළු ඇමෙරිකානු විශ්වවිද්‍යාල සඳහා අරමුදල් කපා දැමීමට සැරසෙන්නේ ඇයි?

T

The Leader Desk

April 17, 2025 • 12:27 PM

ට්‍රම්ප් හාවර්ඩ් ඇතුළු ඇමෙරිකානු විශ්වවිද්‍යාල සඳහා අරමුදල් කපා දැමීමට සැරසෙන්නේ ඇයි?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හාවර්ඩ් විශ්වවිද්‍යාලය විසින් ධවල මන්දිරයෙන් ඉදිරිපත් කරන ලද ඉල්ලීම් ලැයිස්තුවක් ප්‍රතික්ෂේප කිරීමෙන් පැය කිහිපයකට පසු,
  • ට්‍රම්ප් පරිපාලනයේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ පළමු ප්‍රධාන ඇමෙරිකානු විශ්වවිද්‍යාලය බවට හාවර්ඩ් විශ්වවිද්‍යාලය පත්ව ඇති අතර, ධවල මන්දිරය තම ප්‍රජාව "පාලනය" කිරීමට උත්සහ කරන බවට චෝදනා කර තිබේ.
  • ජනාධිපති ට්‍රම්ප් දැන් රටේ පැරණිතම විශ්වවිද්‍යාලයට වටිනා බදු සහනය අහිමි කරන ලෙස දැනුම් දී තිබේ.
  • මෙය හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ෆෙඩ්රල් අරමුදල්වලින් ඩොලර් බිලියන 9කින් සුළු කොටසක් වුව ද, මෙම ප්‍රතිඵලය ආයතනයේ අනාගතය, වඩා පුළුල් ලෙස ගතහොත් ට්‍රම්ප් යටතේ ඇමෙරිකානු විශ්වවිද්‍යාලවල අධ්‍යයන නිදහස පිළිබඳ ප්‍රශ්න මතු කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

එම කීර්තිමත් විශ්වවිද්‍යාලය සඳහා ෆෙඩ්රල් අරමුදල්වලින් ඇමෙරිකානු ඩොලර් බිලියන 2කට වඩා අත්හිටුවන බව ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය පැවසීය.

ට්‍රම්ප් පරිපාලනයේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ පළමු ප්‍රධාන ඇමෙරිකානු විශ්වවිද්‍යාලය බවට හාවර්ඩ් විශ්වවිද්‍යාලය පත්ව ඇති අතර, ධවල මන්දිරය තම ප්‍රජාව "පාලනය" කිරීමට උත්සහ කරන බවට චෝදනා කර තිබේ.

ජනාධිපති ට්‍රම්ප් දැන් රටේ පැරණිතම විශ්වවිද්‍යාලයට වටිනා බදු සහනය අහිමි කරන ලෙස දැනුම් දී තිබේ.

මෙය හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ෆෙඩ්රල් අරමුදල්වලින් ඩොලර් බිලියන 9කින් සුළු කොටසක් වුව ද, මෙම ප්‍රතිඵලය ආයතනයේ අනාගතය, වඩා පුළුල් ලෙස ගතහොත් ට්‍රම්ප් යටතේ ඇමෙරිකානු විශ්වවිද්‍යාලවල අධ්‍යයන නිදහස පිළිබඳ ප්‍රශ්න මතු කරයි.


ට්‍රම්ප් හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ අරමුදල් කපා හරින්නේ ඇයි?

ට්‍රම්ප් යළිත් ජනාධිපති ධූරයට තේරී පත්වූ දා සිට, ඔහුගේ රජය ෆෙඩ්රල් අරමුදල් අත්හිටුවන බවට තර්ජනය කරමින් කීර්තිමත් විශ්වවිද්‍යාල නැවත සැලසුම් කිරීමට උත්සහ කර ඇති අතර, එසේ අත්හිටුවීමට නියමිත අරමුදල් බොහොමයක් පර්යේෂණ සඳහා වෙන් කෙරෙන ඒවාය.

විශ්වවිද්‍යාල තුළ වාමාංශික පක්ෂග්‍රාහීත්වයක් ලෙස දකින ක්‍රියාකාරකම්වලට එරෙහිව සටන් කිරීමට උත්සහ කරන බව පරිපාලනය පවසයි.

පසුගිය වසරේ ගාසා තීරයේ යුද්ධයට සහ ඊශ්‍රායලයට එක්සත් ජනපදය දුන් සහයෝගයට එරෙහි විරෝධතාවලින් රට පුරා විශ්වවිද්‍යාල මණ්ඩප කැළඹී ගිය විට, ප්‍රමුඛ විශ්වවිද්‍යාල යුදෙව් සිසුන් ආරක්ෂා කිරීමට අපොහොසත් වූ බවට ට්‍රම්ප් චෝදනා කර තිබේ.

නිව්යෝර්ක් ටයිම්ස් වෙත සිකුරාදා ධවල මන්දිරයෙන් ලැබුණු ලිපියක සඳහන් වූයේ, ෆෙඩ්රල් ආයෝජන සාධාරණීකරණය කරන "බුද්ධිමය සහ සිවිල් අයිතිවාසිකම් කොන්දේසිවලට" අනුකූල වීමට හාවර්ඩ් විශ්වවිද්‍යාලය අපොහොසත් වී ඇති බව ය.

zdfw5234‍| හාවර්ඩ් විශ්වවිද්‍යාලය
යෝජිත වෙනස්කම් සඳහා කාණ්ඩ 10ක් ලිපියේ ඇතුළත් කර තිබූ අතර, ඒවා අතර පහත යෝජනා පැවතිණි.

* ඇමෙරිකානු වටිනාකම්වලට "සතුරු" වන සිසුන් ෆෙඩ්රල් රජයට වාර්තා කිරීම

* සෑම අධ්‍යයන දෙපාර්තමේන්තුවක් ම "විවිධත්වයෙන් යුතු දෘෂ්ටිකෝණයන්ගෙන් යුක්ත" බව සහතික කිරීම

* "බොහෝ විට යුදෙව් විරෝධී හිරිහැරවලට තුඩු දෙන" වැඩසටහන් සහ දෙපාර්තමේන්තු විගණනය කිරීම සඳහා රජය විසින් අනුමත කරන ලද බාහිර පාර්ශවයක් යොදා ගැනීම.

* පීඨ කාර්ය මණ්ඩලය තුළ වංචාකාරී ලෙස සුදුසුකම් ලැබූවන් සිටීදැයි පරීක්ෂා කිරීම

ගාසා යුද්ධයට එරෙහි විරෝධතා අතරතුර සිදුවූ "උල්ලංඝණ" සම්බන්ධයෙන් විනය පියවර ගන්නා ලෙස ද අදාළ ලිපිය මගින් විශ්වවිද්‍යාලයට නියෝග කර තිබේ.

අඟහරුවාදා උදෑසන සමාජ මාධ්‍යවල පළ කළ සටහනකින් ට්‍රම්ප්, ෆෙඩ්රල් අරමුදල් අත්හිටුවීමෙන් ඔබ්බට යන බවට තර්ජනය කළ අතර, හාවර්ඩ්හි බදු සහනය ද ඉලක්ක කර තිබිණි.

විශ්වවිද්‍යාල මෙන් ම බොහෝ පුණ්‍යායතන සහ ආගමික කණ්ඩායම් ෆෙඩ්රල් ආදායම් බදු ගෙවීමෙන් නිදහස් කර ඇත. කෙසේ වෙතත්, අදාළ පාර්ශව දේශපාලන කටයුතුවලට සම්බන්ධ වුවහොත් හෝ ඔවුන්ගේ ප්‍රකාශිත අරමුණුවලින් ඉවත් වුවහොත් මෙම වටිනා බදු සහනය ඉවත් කළ හැකි ය.

බදු සහනය අහිමි වුවහොත්, වාර්ෂිකව හාවර්ඩ් විශ්වවිද්‍යාලයට ඩොලර් මිලියන ගණනක් අහිමි වනු ඇත.

හාවර්ඩ් විශ්වවිද්‍යාලය ප්‍රතිචාර දක්වා ඇත්තේ කෙසේ ද?

ට්‍රම්ප් පරිපාලනයේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව පැහැදිලි කිරීමක් කරමින් හාවර්ඩ් සභාපති ඇලන් ගාර්බර් පැවසුවේ, නිදහස් භාෂණය ආරක්ෂා කරන පළමු සංශෝධනය යටතේ විශ්වවිද්‍යාලය එහි ස්වාධීනත්වය අත් නොහරින අතර එහි ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් අත් නොහරින බව ය.

"රජය ඉදිරිපත් කරල තියෙන සමහර ඉල්ලීම් යුදෙව් විරෝධයට එරෙහිව සටන් කිරීම අරමුණු කර ගත් ඒවා වුණත්, බහුතරය හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ 'බුද්ධිමය තත්ත්වයන්' ඍජුව රජයේ නියාමනයට යටත් වෙනවා," ඔහු පැවසීය.

ඔහුගේ විරෝධතා ලිපිය යවා මඳ කලකට පසු, අධ්‍යාපන දෙපාර්තමේන්තුව පැවසුවේ, හාවර්ඩ් වෙත ඩොලර් බිලියන 2.2ක ප්‍රදාන සහ ඩොලර් මිලියන 60ක කොන්ත්‍රාත්තු වහා ම අත්හිටුවන බව ය.

"අද දිනයේ හාවර්ඩ් විශ්වවිද්‍යාලය නිකුත් කළ නිවේදනය අපේ රටේ වඩාත් ම කීර්තිමත් විශ්වවිද්‍යාලවලට සහ විද්‍යාලවලට ආවේණික වූ කරදරකාරී මානසිකත්වය උඩගෙඩි දීමකි," එය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ය.

ට්‍රම්ප්ගේ බදු සහන කපා හැරීමේ තර්ජනය සම්බන්ධයෙන් හාවර්ඩ් විශ්වවිද්‍යාලය මෙතෙක් ප්‍රතිචාර දක්වා නැත.

හාවර්ඩ් විශ්වවිද්‍යාලයට ෆෙඩ්රල් රජයෙන් අරමුදල් ලැබෙන්නේ ඇයි?

හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ ඩොලර් බිලියන 50කට වඩා වටිනා පරිත්‍යාග අරමුදල් ය. ආයෝජනය කරන ලද මෙම අරමුදල් 17 වන සියවසේ සිට පරිත්‍යාග හරහා ගොඩනගා ඇත.

හාවර්ඩ් විශ්වවිද්‍යාලය උපකාරක පන්ති ගාස්තු සහ රජයේ ප්‍රදාන හරහා විශාල මුදලක් උපයන අතර, ඒවා බොහෝ දුරට පර්යේෂණ සඳහා වැය වේ.

"ෆෙඩ්රල් අරමුදල් නොමැතිව, මෙම කාර්යය අතරමග නතර වෙන්න විය හැකි අතර, පිළිකා ප්‍රතිකාර ඇතුළුව හාවර්ඩ් විශ්වවිද්‍යාලය සහය දක්වන බොහෝ ක්ෂේත්‍රවල අඛණ්ඩ ව්‍යාපෘති අවසන් කිරීමට හෝ නව ව්‍යාපෘති සඳහා මුදල් යෙදවීමට පර්යේෂකයන්ට අවශ්‍ය සම්පත් හිඟ විය හැකි ය," යනුවෙන් විශ්වවිද්‍යාලය එහි වෙබ් අඩවියේ සඳහන් කරයි.

මාර්තු මාසයේදී ට්‍රම්ප් පරිපාලනය පැවසුවේ, හාවර්ඩ්හි ෆෙඩ්රල් කොන්ත්‍රාත්තු සහ ප්‍රදානවලින් දළ වශයෙන් ඩොලර් මිලියන 256ක් සහ බහු වාර්ෂික ප්‍රදානවලින් අතිරේක ඩොලර් බිලියන 8.7ක් සම්බන්ධයෙන් යළි සලකා බලන බව ය.

රජය නීති විරෝධී ලෙස කතා කිරීමේ නිදහසට සහ අධ්‍යයන නිදහසට පහර දෙන බවට චෝදනා කරමින් හාවර්ඩ් මහාචාර්යවරුන් පිරිසක් නඩුවක් ගොනු කළහ.

මෙය ඇමෙරිකාවේ සෙසු විශ්වවිද්‍යාලවලට බලපාන්නේ කෙසේ ද?

ට්‍රම්ප් පරිපාලනය ෆෙඩ්රල් අරමුදල් අත්හිටුවීම හෝ අත්හිටුවන බවට තර්ජනය කිරීම මගින් බලපෑම් එල්ල වූ හත් වන විශ්වවිද්‍යාලය හාවර්ඩ් ය.

ධවල මන්දිරය ඩොලර් මිලියන 400ක ෆෙඩ්රල් අරමුදල් කපා හරින බව නිවේදනය කිරීමෙන් පසු, නිව්යෝර්ක් නගරයේ පිහිටි කොලොම්බියා විශ්වවිද්‍යාලය පසුගිය මාසයේ ඉල්ලීම් ගණනාවකට එකඟත්වය පළ කළේ ය.

ට්‍රම්ප් පරිපාලනය කෝනෙල් විශ්වවිද්‍යාලය සඳහා ඩොලර් බිලියනයකට වැඩි ෆෙඩ්රල් අරමුදල් සහ නෝර්ත්වෙස්ටර්න් විශ්වවිද්‍යාලය සඳහා ඩොලර් මිලියන 790ක පමණ අරමුදල් අත්හිටුවා ඇත. විශ්වවිද්‍යාලවල සිදුවූ බවට චෝදනා එල්ල වන සිවිල් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම් පිළිබඳව රජය විමර්ශනය කරමින් සිටින බව ධවල මන්දිරය පැවසීය.

පසුගිය සතියේ එම විශ්වවිද්‍යාල දෙක ම පැවසුවේ, අරමුදල් අත්හිටුවීම පිළිබඳ කිසිදු නිල තහවුරු කිරීමක් තමන්ට නොලැබුණු බව ය.

නිවේදනයක් නිකුත් කරමින් කෝනෙල් විශ්වවිද්‍යාලයේ පරිපාලනාධිකාරිය පැවසුවේ, විශ්වවිද්‍යාලය "සියලු ම පුද්ගලයින් සහ දෘෂ්ටිකෝණයන් ආරක්ෂා කර ගරු කරන පරිසරයක් නිර්මාණය කිරීමට කඩිසරව කටයුතු කර ඇති" බව ය.

පසුගිය මාසයේදී, ඇමෙරිකානු අධ්‍යාපන දෙපාර්තමේන්තුව පැවසුවේ, ජාතිවාදය මත පදනම් වූ සුදුසුකම් සලකා බැලුණු බවට ලැබුණු පැමිණිලි අනුව, එහි සිවිල් අයිතිවාසිකම් කාර්යාලය විශ්වවිද්‍යාල 45ක් සම්බන්ධයෙන් විමර්ශනය කරන බව ය.

ලන්ඩන් විශ්වවිද්‍යාල කොලීජියේ එක්සත් ජනපද දේශපාලනය පිළිබඳ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ තෝමස් ගිෆ්ට් පවසන පරිදි, හාවර්ඩ් විශ්වවිද්‍යාලයට මෙම කප්පාදුවලින් සමහරක් අවශෝෂණය කර ගත හැකි වීම "වාසනාවක්" වන නමුත්, ඒ හා සමාන අත්හිටුවීම්වලට මුහුණ දිය හැකි අනෙකුත් විශ්වවිද්‍යාල සඳහා එය එසේ නොවන බව ඔහු පැවසීය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ උසස් අධ්‍යාපන ආයතනවලින් 42%ක් පමණ පොදු ආයතන වන අතර, එයින් අදහස් වන්නේ ඒවා සැලකිය යුතු ලෙස මහජන අරමුදල්වලින් සහය ලබන, රාජ්‍ය නිලධාරීන් හෝ පත් කරන්නන් විසින් පාලනය කරනු ලබන බව අධ්‍යාපනය ලාභ නොලැබිය යුතු බව පිළිගන්නා කණ්ඩායමක් වන Bellwether පවසයි.

ට්‍රම්ප්ගේ ප්‍රවේශය "භයානක" බව පැවසූ තෝමස් ගිෆ්ට්, "එය ඉතා නරක පූර්වාදර්ශයක් වනු ඇතැයි" පැවසීය.

ඔහු විශ්වාස කරන්නේ, "ෆෙඩ්රල් රජය හාවර්ඩ් සහ අනෙකුත් විශ්වවිද්‍යාලවලට තුවක්කුවක් එල්ල කරගෙන සිටින තරමට එය අධ්‍යයන නිදහසට තර්ජනයක්" බව ය. "ඒක විශ්වවිද්‍යාලවල මූලික මූලධර්මයක් සහ ඒවා ක්‍රියාත්මක විය යුතු ආකාරය උල්ලංඝණය කරනවා".

නමුත් ඔහු ඇමෙරිකානු විශ්වවිද්‍යාල පිළිබඳ මහජන මතය ද පෙන්වා දුන්නේ ය.

පසුගිය ගිම්හානයේදී පැවති මත විමසුමකින් හෙළි වූයේ, විශ්වවිද්‍යාල දේශපාලන න්‍යාය පත්‍රයක් ඉදිරිපත් කරන බවට වර්ධනය වන විශ්වාසය හේතුවෙන්, සියලු දේශපාලන පසුබිම්වල ඇමෙරිකානුවන් අතර උසස් අධ්‍යාපනය කෙරෙහි පවතින විශ්වාසය කාලයත් සමග පහත වැටෙමින් පවතින බව ය. රිපබ්ලිකන් පක්ෂය අතර මෙම පහත වැටීම විශේෂයෙන් දැඩි විය.

"මේ විශ්වවිද්‍යාල බොහොමයක්, විශේෂයෙන් අයිවි ලීග් විශ්වවිද්‍යාල, මහ ජනතාව සිතන දේට අතිශය උදාසීන ආකාරයෙන් ක්‍රියාත්මක වී ඇති බව මම සිතනවා," ගිෆ්ට් පැවසීය.

"විශ්වවිද්‍යාල දේශපාලනිකව වමට නැඹුරු වන බව නිසැකව ම සත්‍යයකි. විශ්වවිද්‍යාල දේශපාලනිකව යම් ආකාරයක සමතුලිත බව බැරෑරුම් ලෙස ඉදිරිපත් කරන කිසිවෙකු ඇතැයි මම නොසිතමි," ඔහු තවදුරටත් පැවසුවේ විශ්වවිද්‍යාල "ඇතුළත සිට" ප්‍රතිසංස්කරණය වනු දැකීමට තමා කැමති බව ය.

(සටහන | මාරියා සකාරෝ සහ ජෝර්ජ් රයිට්)
බීබීසී ලෝක සේවය

BBC සිංහල සේවය

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...