BREAKING
වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර අනාවරණය: ගුප්ත ශාස්ත්‍ර අවභාවිතයේ බරපතල කර්ම විපාක●මහ බැංකු අනතුරු ඇඟවීම: වගා ආයෝජන මුදල් වෙනත් ව්‍යාපාරවලට●
Top Ad
විදේශ

එක්සත් රාජධානියේ සාත්තු සේවා සඳහා විදෙස් ශ්‍රමිකයන් බඳවා ගැනීම නතර කිරීම 'අදූරදර්ශී ක්‍රියාවක්' බවට චෝදනා

T

The Leader Desk

May 13, 2025 • 4:15 PM

එක්සත් රාජධානියේ සාත්තු සේවා සඳහා විදෙස් ශ්‍රමිකයන් බඳවා ගැනීම නතර කිරීම 'අදූරදර්ශී ක්‍රියාවක්' බවට චෝදනා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සාත්තු සේවා සඳහා එක්සත් රාජධානියේ කාර්ය මණ්ඩලය බඳවා ගැනීමට අපහසු වන ගැටලු නිරාකරණය නොකර, සාත්තු සේවයේ "ජීවනාලිය"
  • විදේශයන්ගෙන් පැමිණෙන සාත්තු සේවකයින් බඳවා ගැනීම අවසන් කිරීමේ සැලසුම් ඇතුළුව, ආගමන කටයුතු සඳහා පුළුල් ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන බව බ්‍රිතාන්‍ය අගමැති ශ්‍රීමත් කියර් ස්ටාමර් සඳුදා (මැයි 12) නිවේදනය කළේ ය.
  • වෙනත් රටවලින් ශ්‍රමිකයින් ගෙන්වා ගත්ත ද, නිල ඇස්තමේන්තුවලට අනුව පසුගිය වසරේ එංගලන්තයේ සමාජ රැකවරණ අංශයේ සේවක පුරප්පාඩු 131,000ක් පැවතිණි.
  • විදෙස් රටවල සේවකයින් බඳවා ගැනීමක් නොමැතිව ඇතැම් සේවා පවත්වාගෙන යාමේ ගැටලු ඇතිවිය හැකි යැයි සාත්තු සේවා සමාගම් පවසා තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

බඳු විදෙස් ශ්‍රමිකයින් බඳවා ගැනීම රජය විසින් උදුරා ගනිමින් සිටින බව සාත්තු සේවා සපයන්නන් විසින් පවසා තිබේ.

විදේශයන්ගෙන් පැමිණෙන සාත්තු සේවකයින් බඳවා ගැනීම අවසන් කිරීමේ සැලසුම් ඇතුළුව, ආගමන කටයුතු සඳහා පුළුල් ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන බව බ්‍රිතාන්‍ය අගමැති ශ්‍රීමත් කියර් ස්ටාමර් සඳුදා (මැයි 12) නිවේදනය කළේ ය.

වෙනත් රටවලින් ශ්‍රමිකයින් ගෙන්වා ගත්ත ද, නිල ඇස්තමේන්තුවලට අනුව පසුගිය වසරේ එංගලන්තයේ සමාජ රැකවරණ අංශයේ සේවක පුරප්පාඩු 131,000ක් පැවතිණි.

විදෙස් රටවල සේවකයින් බඳවා ගැනීමක් නොමැතිව ඇතැම් සේවා පවත්වාගෙන යාමේ ගැටලු ඇතිවිය හැකි යැයි සාත්තු සේවා සමාගම් පවසා තිබේ.

"සම්පත් අඩුවීම, පිරිවැය ඉහළ යාම සහ පුරප්පාඩු වැඩිවීම හේතුවෙන් මෙම අංශය අමාරුවෙන් පවත්වා ගෙන ආවේ," ස්වාධීන සාත්තු සේවා සපයන්නන් සඳහා විශාලතම නියෝජිත ආයතනය ලෙස තමන් විස්තර කරන Care Englandහි මහාචාර්ය මාටින් ග්‍රීන් පැවසීය.

"අනතුරු ඇඟවීමකින් තොරව, අරමුදල් සැපයීමක් නොමැතිව සහ විකල්පයක් නොමැතිව (ජාත්‍යන්තර බඳවා ගැනීම්) නතර කිරීම අදූරදර්ශී ක්‍රියාවක් පමණක් නෙවෙයි, ඒක කෲර ක්‍රියාවක්," ඔහු පැවසීය.

වීසා වෙනස්කම් "සංක්‍රමණ සැලකිය යුතු ලෙස අඩු කිරීමේ" මෙහෙයුමක කොටසක් බව ත්, රජයට "පාලනයට නතු, තෝරාගත් සහ සාධාරණ සංක්‍රමණ පද්ධතියක්" නිර්මාණය කිරීමට අවශ්‍ය බවත් ශ්‍රීමත් කියර් පැවසීය.

රජය පැවසුවේ, සාත්තු සේවා සපයන්නන්ට දැනට සිටින කාර්ය මණ්ඩලය සඳහා වීසා දීර්ඝ කර එක්සත් රාජධානිය තුළ දැනටමත් රැකියාවක් සොයාගෙන නොමැති සංක්‍රමණිකයින් බඳවා ගත හැකි බවයි. රජය සාත්තු සේවා කාර්ය මණ්ඩලය සඳහා නව සාධාරණ වැටුප් ගිවිසුමක් ද ඇති කරන බවට පොරොන්දු වූ අතර එම සමාගම් වෙත එක්සත් රාජධානියෙන් වැඩි පිරිසක් බඳවා ගැනීමට සහ පුහුණු කිරීමට ඇති අවශ්‍යතාව ද පෙන්වා දුන්නේ ය.

කෙසේ වෙතත්, සාධාරණ වැටුප් ගිවිසුමක් පිළිබඳ සංවාදය බොහෝ දුරින් පවතිද්දී සිය රටට අවශ්‍ය සාත්තු සේවකයින් ලබා දීමට කිසිදු සැලැස්මක් රජය සතුව නොමැතිව රජය "රික්තයක්" තුළ වෙනස්කම් හඳුන්වා දෙන බව Homecare Associationහි ආචාර්ය ජේන් ටවුන්සන් පැවසීය.

සමාජ රැකවරණ සේවා වසර ගණනාවක් පුරා පවතින්නේ අර්බුදකාරී තත්ත්වයක ය. ප්‍රාදේශීය බලධාරීන් එම සේවා සඳහා ලබා දෙන අරමුදල් සීමා කිරීම, සැලකිය යුතු කාර්ය මණ්ඩල හිඟය සහ වයස්ගත ජනගහනය නිසා වැඩිවන ඉල්ලුම සමග එම අර්බුදය නිර්මාණය වී ඇත. ප්‍රතිසංස්කරණ සඳහා වූ සැලසුම් නැවත නැවතත් ප්‍රමාද වී ඇත.

වසංගතය අතරතුර සෞඛ්‍ය සේවකයින් ද සමග සාත්තු සේවකයින් ද ප්‍රශංසාවට ලක් වුව ද, එය වැටුප් හෝ ඔවුන්ගේ තත්ත්වයේ දියුණුවක් බවට පරිවර්තනය නොවීය.

ශ්‍රම බළකාය නිරීක්ෂණය කරන නිල ආයතනය වන Skills for Care ආයතනයට අනුව, එංගලන්තයේ සමාජ රැකවරණයට අදාළ අංශය තුළ මිලියන 1.7ක් පමණ සේවය කරති. එය බොහෝ විට අවම වැටුප් හෝ ඊට තරමක් ඉහළ තලයක ඇති වැඩිහිටි සහ ආබාධ සහිත පුද්ගලයින්ට සහයක කාර්ය මණ්ඩලය සපයනු ලබන; වැඩිවන වගකීම් සහ සංකීර්ණත්වයක් සහිත එහෙත් අඩු පිළිගැනීමක් ඇති රැකියා ක්ෂේත්‍රයකි.

ඍජුව ම සඳහන් කළහොත්, කෙනෙකුට සුපිරි වෙළෙඳසැලක අඩු කාලයක් වෙහෙසකර නොවන ලෙස වැඩ කිරීමෙන් වැඩි මුදලක් උපයා ගත හැකි නම්, බොහෝ දෙනෙකු තෝරා ගන්නා විකල්පය එයයි.

කොවිඩ් වසංගතයෙන් පසු, ඇතැම් සේවකයින්ට තමන් අධික ලෙස වෙහෙසට පත්වූ බවක් දැනුණු නිසා සාත්තු සේවා කටයුතුවලින් ඉවත් වූ අතර, තවත් පිරිසක් රැකියාවට ආදරය කළ ද ජීවන වියදම ඉහළ යාම දරාගත නොහැකි බැවින් ඉන් ඉවත් වී තිබේ.

2021 අප්‍රේල් සහ 2022 මාර්තු අතර කාලය තුළ සමාජ රැකවරණ අංශයේ පුරප්පාඩු 165,000ක වාර්තාගත ඉහළ ම අගයක පැවති අතර එය පෙර වසරට වඩා 52%ක වැඩිවීමකි.

2021 දෙසැම්බර් වන විට, ආසන්න බිඳවැටීමක් පිළිබඳ අනතුරු ඇඟවීම් මත බොරිස් ජොන්සන්ගේ කොන්සර්වේටිව් රජය සාත්තු සේවා ක්ෂේත්‍රය සේවක හිඟයකින් පීඩා විඳින ක්ෂේත්‍රයක් ලෙස පියවර ගැනීමට පෙළඹවූ අතර එමගින් එම සමාගම්වලට තම කාර්ය මණ්ඩල සඳහා විදේශයන් වෙත යොමුවීම පහසු කළේය.

වීසා බලපත්‍රය සඳහා සුදුසුකම් ලැබීමට එම සේවකයින්ට වසරකට අවම වශයෙන් පවුම් 20,480ක් උපයා ගැනීමට සිදු වූ අතර, ඔවුන්ට තම පවුලේ සාමාජිකයින් රැගෙන ඒමට හැකි විය.

ඒ අනුව විදේශ බඳවා ගැනීම්වල ශීඝ්‍ර වැඩිවීමක් ඇති විය. 2022/23දී පුද්ගලයින් 80,000ක් එක්සත් රාජධානියට සාත්තු සේවා කටයුතු සඳහා පැමිණි අතර 2024/23දී තවත් වීසා බලපත්‍ර 105,000ක් නිකුත් කර තිබිණි.

එක්සත් රාජධානියට ඇතුළු වන මෙම නව මාර්ගය අනිසි ලෙස භාවිත කිරීම ද සිදු විය. නිදසුනක් වශයෙන්, ඇතැම් පුද්ගලයින් සූරාකෑමට ලක් වූ අතර, අවසානයේ සංචාරක සහ අනුග්‍රාහක සහතික සඳහා අතරමැදියන්ට දහස් ගණනක් ගෙවීමට සිදුවිය.

2022 වසරේ සිට සාත්තු සේවා සමාගම් 470ක ජාත්‍යන්තර කාර්ය මණ්ඩලය බඳවා ගැනීමේ බලපත්‍රය අවලංගු කර ඇති බව එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු කාර්යාලය පවසයි. එහි ඇස්තමේන්තු අනුව සේවකයින් 40,000කට පමණ රැකියා අහිමි වී ඇත. සමාගම් පවසන්නේ බොහෝ දෙනෙකු දැනටමත් විකල්ප සාත්තු සේවා වැඩ සොයාගෙන ඇති බවයි.

2024 මාර්තු මාසයේදී, රිෂි සුනක්ගේ කොන්සර්වේටිව් රජය වීසා නීති දැඩි කළේ ය. රැකියා සඳහා බඳවා ගත් අයට තවදුරටත් පවුලේ අය රැගෙන ඒමට නොහැකි බව මෙයට ඇතුළත් විය. එය විදේශයන්ගෙන් පැමිණෙන සත්කාර සේවකයින් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස පහත වැටීමට හේතු වී තිබේ.

එකසත් ජනපද රජයට අනුව, 2024 දෙසැම්බර් දක්වා වසර තුළ, "පෞද්ගලික සාත්තු සේවා සැපයීම සඳහා" එක්සත් රාජධානියට ඇතුළු වන පුද්ගලයින්ට වීසා බලපත්‍ර 9,500ක් ලබා දී ඇත.

කෙසේ වෙතත්, කාර්ය මණ්ඩල හිඟය වඩාත් උග්‍ර වූ වසර හතර තුළ, එක්සත් රාජධානියේ පුද්ගලයින් වැඩි ගණනක් සාත්තු සේවා සඳහා යොමු වීම දිරිමත් කිරීම කොට ඇත්තේ අවම අවදා කොටසකි. රජය විසින් අරමුදල් සපයනු ලබන බඳවා ගැනීමේ ව්‍යාපෘතියක් අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර කාර්ය මණ්ඩලයේ වැටුප් හා ජිවන තත්ත්වය වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව පිළිබඳ කතාබහක් පවතී. නමුත් විසඳුම් සඳහා බොහෝ කලක් ගත වනු ඇතැයි බොහෝ සේවකයෝ බියෙන් පසුවෙති.

වැඩිහිටි සමාජ රැකවරණ සඳහා සැලසුම් සකස් කිරීමට "ස්වාධීන කේසි කොමිසම" පසුගිය මාසයේ සිය වැඩ ආරම්භ කළේ ය. අමාත්‍යවරුන් විසින් එය විස්තර කරනු ලැබ ඇත්තේ "පක්ෂ දේශපාලනය ඉක්මවා ගොස් ක්ෂේත්‍රයේ අනාගතය පිළිබඳ එකඟතාවක් ගොඩනඟා ගැනීමට පරම්පරාවකට එක් වරක් පමණක් ලැබෙන අවස්ථාවක්" ලෙසයි. එහි පළමු වාර්තාව ලබන වසරේදී නිකුත් කිරීමට නියමිත අතර එහි අවසන් වාර්තාව 2028 වන විට ඉදිරිපත් කිරීමට නියමිත ය.

ජාතික සෞඛ්‍ය සේවය අරගල කරන මොහොතක, සමාජ රැකවරණය වෙන කවරදාටත් වඩා වැදගත් වන්නේ, අවදානමට ලක්විය හැකි පුද්ගලයින් රෝහලෙන් බැහැරව තබා ගැනීමට සහ රෝගීන් නැවත නිවසට පැමිණෙන විට ඔවුන්ට සහය වීමට එයට හැකි බැවිනි.

බොහෝ සාත්තු සේවකයින් පවසනු ඇත්තේ එය ඇදහිය නොහැකි තරම් තෘප්තිමත් රැකියාවක් වුවත්, ගැටලුව නම් විදෙස් ශ්‍රමික බඳවා ගැනීම් නතර කිරීමත් සමග වැඩි වැඩියෙන් එක්සත් රාජධානියේ පුද්ගලයින් මෙම භූමිකාව භාර ගැනීමට දිරිගැන්වීම සඳහා වෙනස් කළ යුත්තේ කුමක් ද? යන්න පිළිබඳවයි.

(සටහන | ඇලිසන් හෝල්ට්)
බීබීසී සමාජ කටයුතු පිළිබඳ පුවත් සංස්කාරක

උපුටා ගැනීම - BBC සිංහල සේවය



මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

එක්සත් රාජධානියේ ආගමන ධවල පත්‍රිකාවේ ශ්‍රී ලාංකිකයින්ට බලපාන කරුණු

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් සඳහා බ්‍රිතාන්‍යය වීසා ලබා දීම සීමා කරන්නේ ඇයි?

බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවාවට එක්වූ විදෙස් වෛද්‍යවරුන් වැඩි ම සංඛ්‍යාවක් පැමිණි රටවල් 5 අතරට ශ්‍රී ලංකාව

ලෝකයේ ශිෂ්‍ය ප්‍රජාව තුළ බ්‍රිතාන්‍යය කෙරෙහි තිබූ ආකර්ෂණය අඩු වෙමින් පවතිනවා ද?

පවුම් දහස් ගණනකට පීතෘත්වය සංක්‍රමණික කාන්තාවන්ට විකුණන බ්‍රිතාන්‍යයේ පිරිමි

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...