ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සම්බාධක තර්ජන මධ්‍යයේ වුව ද බටහිර රටවල් සිය කොන්දේසිවලට ධනාත්මක ප්‍රතිචාරයක් දක්වන තුරු රුසියානු ජනාධිපතිවරයා යුද්ධය කරගෙන යෑමට සූදානම් බව වාර්තා වේ.
රුසියාවේ ක්‍රෙම්ලීනයට සමීප ආරංචි මාර්ග තුනක් උපුටා දක්වමින් රොයිටර්ස් ප්‍රවෘත්ති සේවය මේ බව වාර්තා කර තිබේ.
“තමන් රුසියානු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් කනස්සල්ලටත් කනගාටුවටත් පත්ව ඇතැයි” ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනි 15 වැනිදා බී.බී.සී. පුවත් සේවයට පැවැසීය. කෙසේ නමුත් රුසියානු ජනාධිපතිවරයා සමඟ මෙම යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කරන බව ද ඔහු පැවැසීය.
ඒ ඔහු යුක්රේනයට ආයුධ යවන බවට ප්‍රකාශ කර දිනකට පසුව ය.
යුක්රේනය ආක්‍රමණය කරන්නැයි රුසියානු ජනාධිපතිවරයා එරට හමුදාවලට අණදුන්නේ 2022 පෙබරවාරි මාසයේ දී ය.
රුසියාව, යුක්රේනය ආරම්භ කරන ලද්දේ වසර ගණනාවක් නැගෙනහිර යුක්රේනයේ පැවැති ගැටුම්වලින් පසුව ය. යුක්රේනයේ ඩොන්බාස් කලාපයේ මෙලෙස යුද ගැටුම් පැවැති අතර ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් පළාත් ද ඊට අයත් විය. රුසියාවේ සහාය ලැබූ බෙදුම්වාදීන් සහ යුක්රේන හමුදා අතර 2014 වසරේ සිට මෙම ප්‍රදේශවලට ගැටුම් පැවැතුණි.
බටහිර රටවල් ඉදිරියේ දී අමතර ක්‍රියාමාර්ග ගත්ත ද රුසියාවට ඒවාට මුහුණ දීමට ප්‍රමාණවත් ආර්ථික සහ යුද්ධමය ශක්තිය ඇතැයි ජනාධිපති ව්ලැදිමීර් පුටින් විශ්වාස කරන බව ද අදාළ ආරංචි මාර්ග සඳහන් කර ඇත.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බී.බී.සී. පුවත් සේවය සමඟ දුරකතන සංවාදයට එක්වීමට පෙර ජූනි 14 වැනිදා සඳුදා දිනයේ දී ද රුසියාව සහ ජනාධිපති ව්ලැදිමීර් පුටින් සම්බන්ධයෙන් සිය නොසතුටට පළ කර තිබිණි.
රුසියානු ජනාධිපතිවරයා සටන් විරාමයකට එකඟතාව පළ නොකිරීම සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙලෙස සිය නොසතුට පළ කර තිබිණි.
එමෙන්ම යුක්රේනයට ප්‍රේට්‍රියට් යනුවෙන් හඳුන්වන ගොඩබිම සිට ගුවනට විදිය හැකි මිසයිල පද්ධති යුක්රේනයට ලබාදෙන බව ද ඇමෙරිකානු ජනාධිපතිවරයා සඳුදා දිනයේ දී නිවේදනය කළේ ය. දින 50ක් ඇතුළත සටන් විරාමයකට එකඟතාවය පළ නොකළහොත් තවදුරටත් සම්බාධක පනවන බවට ද ඇමෙරිකානු ජනාධිපතිවරයා, රුසියාවට අනතුරු ඇඟවීය.
ඇමෙරිකාවෙන් හෝ බටහිර රටවලින් හෝ එල්ල වන මෙම පීඩනයට හෝ සම්බාධක හෝ වලට බියේ රුසියානු ජනාධිපතිවරයා මෙම යුද්ධය නවත්වන්නේ නැති බවත් දැඩි සම්බාධකවලට රුසියාව දැනටමත් සාර්ථකව මුහුණ දී ඇතැයි පුටින් ජනාධිපතිවරයා විශ්වාස කරන බවත් මේ සම්බන්ධයෙන් රොයිටර්ස් පුවත් සේවය අදාළ ආරංචි මාර්ග ත්‍රිත්වය උපුටා දක්වමින් වාර්තා කර තිබේ. රුසියාවෙන් බොරතෙල් මිලදී ගන්නා රටවලට ද සම්බාධක පනවන බව ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ නවතම තර්ජනවලින් කියැවිණි. රුසියානු ජනාධිපති පුටින් ඊට ද වැඩි සැලකිල්ලක් දක්වා නැතැයි වාර්තා වේ.

“යුක්රේනයට සාමය උදා කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාව ද ඇතුළුව කිසිවකුත් තමන් සමඟ බරපතළ ලෙස කරුණු දක්වා හෝ සාකච්ඡා පවත්වා හෝ නැතැයි” රුසියානු ජනාධිපතිවරයා සිතා සිටින බව ඉහත කී ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබී තිබේ.




