කොලොම්බියාවේ බොගෝටා නුවර දී දින දෙකක් මුළුල්ලේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම රටවල් එම තීරණය ගෙන තිබේ.
ඊශ්‍රායලයට ආයුධ යැවීම නැවැත්වීම ඇතුළුව, ඊශ්‍රායලය පලස්තීන දේශසීමාවේ සිදුකරන ප්‍රහාර නැවැත්වීම සඳහා ක්‍රියාමාර්ග හයකට ද මෙම රටවල් එකඟතාව ඇති කරගෙන තිබේ.
බොලීවියාව, කොලොම්බියාව, කියුබාව, ඉන්දුනීසියාව, ඉරාකය, ලිබියාව, මැලේසියාව, නැමීබියාව, නිකරගුවාව, ඕමානය, ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනඩීන්ස් සහ දකුණු අප්‍රිකාව යන රටවල් 12 හේග් කණ්ඩායමට අයත් වේ.
හේග් කණ්ඩායම ආරම්භ වූයේ මේ වසර මුලදී ය. ‘ගෝලීය දකුණ’ එකතු කරගනිමින් ඊශ්‍රායලය වගවීමට ලක් කරමින්, ගාසා තීරයේ යුද්ධය නැවැත්වීමට සහ පලස්තීන භූමිය අල්ලා ගැනීමට එරෙහිව ඊශ්‍රායලයට පීඩනයක් එල්ල කිරීම මෙම කණ්ඩායමේ අරමුණ වී තිබේ.

ඊශ්‍රායලයට ආයුධ සැපයීම නැවැත්වීම, එවැනි ආයුධ ගෙන යන නෞකාවලට තහනමක් පැනවීම, ඊශ්‍රායලය කරන අකටයුතුකම් හෝ පලස්තීන භූමිය අත්පත් කරගැනීමේ ප්‍රතිලාභ සහ වාසි ලබන සමාගම් සමඟ තිබෙන කොන්ත්‍රාත් නැවත විමසා බැලීම යනාදිය ඉහතින් කී ක්‍රියාමාර්ගවලට ඇතුළත් වේ.
“විශ්වීය අධිකරණ බලතල”වලට සහාය දැක්වීම ද මෙම රටවල් එකඟතාව ඇති කරගත් ක්‍රියාමාර්ග හයට ඇතුළත් වේ. විශ්වීය අධිකරණ බලතල මඟින් අපරාධය සිදු වූ ස්ථානය සැලකීමකින් තොරව දරුණු ගණයේ ජාත්‍යන්තර අපරාධවලට එරෙහිව නඩු පැවැරීමට සහ නෛතික ක්‍රියාමාර්ග ගැනීමට රාජ්‍යවලට හෝ ජාත්‍යන්තර ආයතනවලට හෝ අවස්ථාව සැලසේ.




