යුක්රේනයේ යුද්ධය අවසන් කිරීමේ අරමුණින් ලෝක නායකයන් දෙදෙනා අතර මෙම සාකච්ඡාව පැවැත්වුණු අතර, දෙදෙනා අතර සාකච්ඡාව පැය තුනකට ආසන්න කාලයක් පැවැත්විණි. මෙම සාකච්ඡාවලට දෙරටේ, විදේශ ප්‍රතිපත්තිවලට අදාළ තීන්දු තීරණ ගන්නා ඉහළ පෙළේ පිරිස් ද සහභාගී වූහ. රතු පළස එළමින්, රුසියානු ජනාධිපතිවරයා පිළිගැනීම සම්බන්ධයෙන් යුක්රේනය කනස්සල්ල පළ කර තිබිණි.
ඇමෙරිකානු සහ රුසියානු ජනාධිපතිවරුන් අතර හමුවක් සිදුවන බව නිවේදනය කෙරුණේ විදේශ සම්බන්ධතා සම්බන්ධයෙන් කෙරෙන සාම්ප්‍රදායික ආකාරයෙන් නොව, සමාජ මාධ්‍යයේ පළ කෙරුණු ප්‍රකාශයකිනි. යුක්රේන යුද්ධය අවසන් කිරීම සඳහා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවන බවත්, ඇලෙස්කාවේ දී හමුව සිදුවන බවත් මීට සති කිහිපයකට කලින් සිය ටෘත් සෝෂල් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ ය. යුරෝපා රටවල් හෝ යුක්රේනය හෝ මෙම හමුවට හෝ හමුව සම්බන්ධයෙන් කෙරුණු කිසිදු කටයුත්තකට සම්බන්ධ කර නොගැනීම ද විශේෂත්වයකි.
ඇලස්කාවේ, ඇන්කරේජ් හී එල්මෙන්ඩෝෆ්-රිචඩ්සන් ඒකාබද්ධ හමුදා කඳවුරේදී නායකයන් දෙදෙනා හමු වූ අතර රුසියානු ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා රතු පළස එළා තිබිණි. රුසියානු ජනාධිපතිවරයා, පැමිණෙන විට ඇමෙරිකානු ජනාධිපතිවරයා අත්පොළසන් දුන් අතර දෙදෙනා ටික වේලාවක් අතට අත දෙමින්, අදහස් හවුමාරු කරගත්හ.
ඇලස්කාව යනු, ඇමෙරිකා එක්සත් ජනපදයට, අයත් ජනපදයකි. කෙසේ නමුත් ඇමෙරිකා එක්සත් ජනපදයේ, ප්‍රධාන භූමි ප්‍රදේශයට, ඇලස්කාව සම්බන්ධ නොවේ. යුරෝපයටත්, යුක්රේනයටත් බොහෝ දුරින් පිහිටි ඇලස්කාව, ඇමෙරිකානු ප්‍රධාන භූමියටත් වඩා රුසියාවට සමීප ය.
ජනාධිපතිවරුන් දෙදෙනා අතර මෙම හමුව වට දෙකකින් සමන්විත බව මුලදී වාර්තා වූ නමුත්, අපේක්ෂා කළ වේලාවට කලියෙන් හමුව හා සාකච්ඡා අවසන් විය.
නායකයන් දෙදෙනා සහ දෙරටේ ඉහළ පෙළේ පිරිස් අතර පැවැති සාකච්ඡාවලින් පසුව ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුණු, අතර දෙදෙනාගේ ප්‍රකාශවලට සීමා වූ එම සාකච්ඡාව මිනිත්තු 12කින් අවසන් විය. එකඟතාවකට පැමිණි බව රුසියානු ජනාධිපතිවරයා එහිදි ප්‍රකාශ කළ නමුදු, ‘ගිවිසුමකට’ එළැඹුණේ නැතැයි ඇමෙරිකානු ජනාධිපතිවරයා එහිදි කීවේ ය. ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන්ට ප්‍රශ්න අසන්නට අවස්ථාවක් ද නොලැබුණි.
රුසියානු ජනාධිපතිවරයා යුද්ධය අවසන් කිරීමට සූදානම් බවත්, දෙදෙනා අතර සාකච්ඡාවලට ලකුණු 10න් 10ම දිය හැකි බවත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුව ප්‍රකාශ කර තිබිණි.
මෙම සාකච්ඡා සඳහා යුරෝපය හෝ යුක්රේනය හෝ සම්බන්ධ කර නොගැනීම සම්බන්ධයෙන් ඇමෙරිකාවේ මිත්‍ර පාර්ශවවලින් චෝදනා එල්ල වූ අතර, සාකච්ඡාව කිසිදු ඵලකට නැති එකක් යැයි යුක්රේනය පසුව චෝදනා කළේ ය.
යුක්රේනය සම්බන්ධයෙන් ගන්නා තීන්දු තීරණවලට යුක්රේනය සම්බන්ධ කරගත යුතු යැයි සාකච්ඡාවලට පෙරත් පසුවත්, යුරෝපා නායකයෝ අවධාරණය කළහ.
ට්‍රම්ප්-පුටින් හමුවෙන් අනතුරුව රුසියාව ඩ්‍රෝන සහ බැලිස්ටික් මිසයිල යෝදාගනිමින් ප්‍රහාර 85කට වඩා වැඩි ප්‍රමාණයක් එල්ල කර ඇතැයි යුක්රේන ගුවන් හමුදාව සෙනසුරාදා ප්‍රකාශ කළේ ය.
නායකයන් දෙදෙනාගේ සාකච්ඡාවලදී සාකච්ඡා කෙරුණු හෝ ඇති කරගත් එකඟතා හෝ සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු කිසිවක් වාර්තා නොවන අතර, ඇමෙරිකානු ජනාධිපතිවරයා මුණ ගැසීම සඳහා සඳුදා, වොෂින්ටනයට යන බව යුක්රේන ජනාධිපති ව්ලෝදිමීර් සෙලෙන්ස්කි පවසා ඇත.
පුටින් හමුවීමෙන් පසු, ඇමෙරිකානු ජනාධිපතිවරයා යුක්රේන ජනාධිපතිවරයාටත්, උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ (නේටෝ) නායකයන්ටත් දුරකතන ඇමතුම් ලබා දී තිබේ.
මෙම යුද්ධය නවතා දැමිය හැක්කේ ‘ඍජු සාම ගිවිසුමකින්’ බව නායකයන් සියලු දෙනාම පිළිගත් බව පැය කිහිපයකට පසු සිය ටෘත් සෝෂල් සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
ඇමෙරිකානු ජනාධිපතිවරයා හමුවීමෙන් පසු, නිවේදනයක් නිකුත් කරමින් යුද්ධය අවසන් කිරීමට විසඳුමක් සෙවීමට ආරම්භයක් ලැබුණු බව සඳහන් කළ අතර යුක්රේනය සහ යුරෝපය සාකච්ඡා ‘කඩාකප්පල්’ නොකළ යුතු යැයි අනතුරු ඇඟවීය.
- විදෙස් වාර්තා ඇසුරිනි




