ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ සාකච්ඡා කිරීම සඳහා යුක්රේන ජනාධිපතිවරයා මෙලෙස ඇමෙරිකාවට පැමිණි අතර, ඔහුගේ සහාය සඳහා යුරෝපා නායකයෝ කිහිපදෙනෙක් ද ඇමෙරිකාවට පැමිණියහ.
යුක්රේන ජනාධිපතිවරයා සහ ඇමෙරිකානු ජනාධිපතිවරයා අවසන් වරට ධවල මන්දිරයේ දී මුණ ගැසුණු අවස්ථාවේ දී එම හමුව ‘හොඳින්’ අවසන් නොවීය.

රුසියානු-යුක්රේන යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඇමෙරිකානු ජනාධිපතිවරයා සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර හමුවක් පසුගිය සිකුරාදා ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇලස්කා ජනපදයේ දී සිදුවිණි. යුක්රේනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේදී සහ තීන්දු තීරණ ගැනීමේදී යුක්රේනය ද ඒවායේ පාර්ශවකරුවකු විය යුතු බව යුක්රේන ජනාධිපතිවරයා එම අවස්ථාවේදී අවධාරණය කළේ ය. යුරෝපා නායකයෝ ද එම අදහස ම පළ කළහ.
ඇමෙරිකානු-රුසියානු ජනාධිපතිවරුන් ඔවුන්ගේ හමුවෙන් පසු සාකච්ඡා ඵලදායී යැයි ප්‍රකාශ කළ ද, එම සාකච්ඡාවේ දී ද සටන් විරාමයක් ඇති කරගැනීමට නොහැකි විය. ‘වැඩකට නැති හමුවක්’ යැයි යුක්රේනය චෝදනා කළේ ය.
කෙසේ නමුත් ඩොනෙට්ස්ක් ඇතුළුව රුසියාව අල්ලාගෙන ඇති ප්‍රදේශ, රුසියානු පාලනයේ තබාගන්නට හැකි නම් සටන් විරාමයකට කැමැති බව රුසියානු පාර්ශවයෙන් කියැවුණු බව මේ අතරමැද සති අන්තයේ දී වාර්තා විය.
යුක්රේන ජනාධිපතිවරයා, ඇමෙරිකා එක්සත් ජනපදයට පැමිණ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ සාකච්ඡා පැවැත්වූයේ මේ අතරවාරයේදී ය.

යුක්රේනයේ ආරක්ෂාව තහවුරු කරන බවත්, සාම ගිවිසුමක් සඳහා ගමන් කරන බවත් ඇමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණ ද, ඒ සම්බන්ධයෙන් විශ්වාසනීය සහ ස්ථීර පියවරක් ඊයේ දිනයේ දී නොගැනුණු බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්විණි.
යුරෝපා නායකයන් සටන් විරාමයක් අවශ්‍ය යැයි යන ස්ථාවරයේ පසුවුව ද එවැන්නක් අවශ්‍ය නොවන බව ඇමෙරිකානු ජනාධිපතිවරයා පැවැසීය.
යුක්රේන ජනාධිපතිවරයා සහ යුරෝපීය නායකයන්ගේ හමුවීම්වලින් පසුව, තමන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට දුරකතන ඇමතුමක් ලබාදුන් බවත්, රුසියානු නායකයා සහ යුක්රේන නායකයා අතර ද්විපාර්ශවීය සාකච්ඡා ආරම්භ කිරීම සඳහා කටයුතු සූදානම් කළ බවත් ඇමෙරිකානු ජනාධිපතිවරයා සිය ටෘත් සෝෂල් සමාජ මාධ්‍යයේ ජාලයේ පණිවුඩයක් තබමින් සඳහන් කළේ ය.
යුක්රේන-රුසියානු නායකයන්ගේ සාකච්ඡාවලින් අනතුරුව, ඔවුන් දෙදෙනා සහ ඇමෙරිකානු නායකයාගේ සහභාගීත්වයෙන් තවත් සාකච්ඡාවක් පැවැත්වෙනු ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇමෙරිකානු ජනාධිපතිවරයා සහ රුසියානු ජනාධිපතිවරයා මිනිත්තු 40කට ආසන්න කාලයක් දුරකතනයෙන් කතා බහ කළ බව, ව්ලැදිමීර් පුටින්ගේ උපදේශකයකු උපුටා දක්වමින් බී.බී.සී. පුවත් සේවය වාර්තා කර තිබිණි.




