එවන් මොහොතක චීන විදේශ අමාත්‍ය Wang Yi ඉන්දියාවේ සංචාරයකට එක් වීමත් විශේෂත්වයක්. එහිදී ඉන්දීය විදේශ අමාත්‍ය Subrahmanyam Jaishankar සමග පැවති සාකච්ඡාවට ද වැඩි අවධානයක් යොමු වී තිබෙනවා. එම සාකච්ඡාවේදී චීන-ඉන්දියා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට දෙපාර්ශ්වය එකඟත්වය පළ කර තිබීම සුවිශේෂ වනවා.
එම ද්විපාර්ශ්වික සාකච්ඡාවේදී Wang Yi පැවසුවේ දෙරට නායකයින්ගේ වැදගත් එකඟතා ක්‍රියාත්මක කරමින් සියලුම මට්ටමේ සංවාද මෙන්ම හුවමාරු සබඳතා ක්‍රමයෙන් යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි. එමෙන්ම දේශසීමා ප්‍රදේශවල සාමය තහවුරු වෙමින් පවතින අතර ඉන්දියානු බැතිමතුන්ට චීනයේ Xizang ජාතික ස්වායත්තයේ පූජනීය ස්ථාන වන්දනා ගමන් යළි ඇරඹීමට සහයෝගය ලබා දෙන බව ද හෙතෙම සඳහන් කර තිබෙනවා.
මේ වනවිට චීන-ඉන්දියා සබඳතා ශක්තිමත් වෙමින් ධනාත්මක ප්‍රවණතාවක් පෙන්නුම් කරමින් තිබෙනවා. එමෙන්ම මෙම වසර චීනය සහ ඉන්දියාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 75 වන සංවත්සර වසරයි. අතීත පාඩම් සිහිපත් කර, නිවැරදි උපායමාර්ගික දැක්මක් සහිතව තරඟකරුවන් හෝ තර්ජන ලෙස නොව හවුල්කරුවන් සහ අවස්ථා ලෙස එකිනෙකා පිළිබඳ අවබෝධයෙන් කටයුතු කිරීමට දෙපාර්ශ්වය එකඟ වී ඇති බවයි වාර්තා වන්නේ.
අසල්වැසි විශාල රටවල් එකිනෙකා පිළිබඳ ගරුත්වයෙන් විශ්වාසය පවත්වා ගනිමින් පොදු සංවර්ධනය සහ ජයග්‍රාහී සහයෝගීතාවය සාක්ෂාත් කර ගැනීමට නම් නිවැරදි මාර්ගයකට පිවිසිය යුතු බව චීන විදේශ අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා. ඒ සඳහා චීනය අසල්වැසි රටවල් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බව සිටිනවා.
මේ අතර Subrahmanyam Jaishankar සඳහන් කළේ දෙරට නායකයින්ගේ මඟපෙන්වීම යටතේ ද්විපාර්ශ්වික සබඳතා අඛණ්ඩව වැඩිදියුණු වන බවත්, සියලු අංශවල සහයෝගීතා සාමාන්‍යකරණය වෙමින් පවතින බවයි. එමෙන්ම චීනය සමග දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය ශක්තිමත් කර ගනිමින්, ආර්ථික සහ වෙළඳ කටයුතු ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට ඉන්දියාව අපේක්ෂා කරන බව ඔහු ප්‍රකාශ කළා. මානව සබඳතා ශක්තිමත් කර දේශසීමා ප්‍රදේශයේ සාමය සහතික කිරීමට එක්ව කටයුතු කළ යුතු බව ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා සඳහන් කළ බවයි වාර්තා වන්නේ.




