වසර අවසන් වීමට ප්‍රථම, එය ඊශ්‍රායල හමුදා ක්‍රියාන්විත පිණිස එක් කිරීමට නියමිතය.
"අයන් බීම්" (Iron Beam) යනුවෙන් නම් කර ඇති එම පද්ධතිය, රෆායෙල් ඇඩ්වාන්ස් ඩිෆෙන්ස් සිස්ටම්ස් (Rafael Advance Defense Systems) සමාගම විසින් නිෂ්පාදනය කර තිබේ.
ගාසා තීරයේ හමාස්, ලෙබනනයේ හිස්බුල්ලා සහ යේමනයේ හුති ත්‍රස්ත සංවිධාන විසින්, ඊශ්‍රායලය වෙත එල්ල කළ දහස් සංඛ්‍යාත මිසයිල සහ රොකට් ප්‍රහාර විනාශ කිරීමට මෙතෙක් භාවිතා කෙරුණේ, එරට ස්ථාපිත අයන් ඩෝම් (Iron Dome), ඩේවිඩ්ස් ස්ලිංග් (David's Sling) සහ ඇරෝ (Arrow) ප්‍රති-මිසයිල නාශක පද්ධතීන් වේ.
එම සියලු පද්ධතීන් අභිභවා යන සුවිශේෂී හැකියාවක් මිසයිල නාශක නව ලේසර් පද්ධතිය සතු බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
වත්මන, එරට ස්ථාපිත එක් එක් මිසයිල නාශක පද්ධති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන්, වෙන් වශයෙන් ඇමෙරිකානු ඩොලර් 50,000කට අධික මුදලක් වැය වෙතැයි, ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරයි. එහෙත්, නව පද්ධතියේ කාර්යක්ෂමතාව හමුවේ, එම මෙහෙයුම් පිරිවැය ප්‍රශස්ත ලෙස අඩු වී ඇති බව අමාත්‍යංශය පෙන්වාදෙයි. නව පද්ධතිය, දිගු දුර මිසයිල නාශක පද්ධතියක් ලෙස ක්‍රියාත්මකය.
එහි අත්හදා බැලීම්, දකුණු ඊශ්‍රයලයෙදී සිදු කෙරිණි. ඒ සඳහා සති කිහිපයක් ගත වූ බව වාර්තා වේ.
"අයන් බීම්" පද්ධතිය, ඊශ්‍රායලය වෙත ඉලක්ක කෙරෙන රොකට්, මෝටාර්, සතුරු ගුවන්යානා සහ ඩ්‍රෝන ප්‍රහාර විනාශ කිරීමේ අද්විතීය හැකියාවෙන්ද යුක්ත නවීන මිසයිල නාශක පද්ධතියකි.
දැනටමත් එරට වෙනත් කෙටි දුර ලේසර් ගුවන් ආරක්ෂක පද්ධතීන් ක්‍රියාත්මකය.
"අයන් බීම්" පද්ධතිය යනු දැනට ලොව භාවිතා වන පූර්ණ ක්‍රියාකාරී ශක්‍යතාවෙන් යුත් ප්‍රථම සහ එකම අධි බල ලේසර් මිසයිල නාශක පද්ධතිය බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශ අධ්‍යක්ෂ, ජෙනරාල් අමීර් බැරම් (Amir Baram) පවසයි. එය ලොව මෙතෙක් ක්‍රියාත්මක සියලු සංග්‍රාම උපක්‍රම උඩු යටිකුරු කරනු ඇතැයි, ඔහු කියා සිටී.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
9/24/2025
මුලාශ්‍රය :
Israeli anti-missile laser system 'Iron Beam' ready for military use this year




