වසර 20කට පසු වියට්නාමයේ ප්‍රධාන පෙළ දේශපාලන නායකයකු උතුරු කොරියාවේ සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙයයි. දෙරට අතර සමීප රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පැවතිය ද, වෙළඳ ගිවිසුම් කිසිත් ක්‍රියාත්මක නොවේ.
සිය නිල සංචාරයේදී, වියට්නාම කොමියුනිස්ට් පක්ෂ නායකයා, උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් ( Kim Jong Un) හමු වීමට නියමිතය.

වියට්නාම නායකයකු මීට පෙර අවසන් වරට උතුරු කොරියාවේ නිල සංචාරයක යෙදුනේ 2007 වසරේදීය. ඒ, එවක වියට්නාම කොමියුනිස්ට් පක්ෂ නායක නොන්ග් ඩක් මැන් (Nong Duc Manh) ගේ උතුරු කොරියානු සංචාරයයි. එය, 1957, වියට්නාම පාලක පක්ෂ නායක හෝ චි මින් (Ho Chi Minh) ගේ සංචාරයෙන් පසු සිදු කළ පළමු උතුරු කොරියානු සංචාරය සේ සැලකේ.
උතුරු කොරියානු නායකයා 2019 වසරේදී වියට්නාම අගනුවර, හැනොයි (Hanoi) හි දුර්ලභ නිල සංචාරයක නිරත විය. ඔහු, එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) ද හමු වූ සංචාරයක් අතර තුර එය සිදු කෙරිණි. ඒ, ජනපති ට්‍රම්ප් ගේ ප්‍රථම ධුර කාලයේදී ය.
පසු කාලීනව වියට්නාමයේ සහ උතුරු කොරියාවේ පහළ මට්ටමේ නිලධාරීන් අතර වියට්නාම අගනුවර සහ උතුරු කොරියාවේ ප්යොන්ග්යැන්ග් ( Pyongyang) අගනුවර නිරන්තර සාකච්ඡා සිදු කෙරිණි. එහෙත් පස් වසරක නිහැඬියාවකින් අනතුරුව එම ද්වීපාර්ශ්වීය සාකච්ඡා යළි ආරම්භ කෙරුනේ පසුගිය වසරේදී ය.
දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා හි 75 වන සංවත්සරය මෙම වසරේ යෙදී තිබේ.
වියට්නාම කොමියුනිස්ට් පක්ෂ නායකයා පසු ගිය අගෝස්තු මස දකුණු කොරියාවේ ද නිල සංචාරයක නිරත විය.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
9/25/2025
මුලාශ්‍රය :
Vietnam's top leader to pay rare visit to North Korea in October, sources say




