BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

දෙවසරක් නොසැලී - තණ අගෙක පණ රැකී

T

The Leader Desk

October 9, 2025 • 12:24 PM

දෙවසරක් නොසැලී - තණ අගෙක පණ රැකී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පුරා දෙවසරක ගාසා යුද්ධයෙන් මිය ගිය පිරිස 67,000කට අධිකය. ඉන් 22,000කට අධික පිරිසක් කුඩා දරුවන් ඇතුළු ළමුන් ය.
  • එක්සත් ජනපද ජනපති විසින් කෙටුම්පත් කරන ලද, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය, බෙන්ජමින් නෙතන්යාහු ගේ නවතම සාම සැලැස්ම, කවදා, කෙසේ ගාසා යුද්ධය අවසන් කරත් දැයි තවමත් ඇත්තේ දෙගිඩියාවෙකි.
  • 2023, ඔක්තෝබර්  07 දා, ඊශ්‍රායලයේ සිදු වූ හමාස් ප්‍රහාරයෙන් පසු ඇරඹි ගාසා යුද්ධය අවසන් කිරීමට මීට පෙර ගත් සාම ප්‍රයත්නය ද අතර මග බිඳ වැටිණි.
  • ප්‍රහාරයෙන් මිය ගිය සිය සොයුරියගේ පස් හැවිරිදි දියණියගේ නිසල සිරුර නාසෙර් (Nasser) රෝහල් මෘත ශරීරාගාරයේදී ඇකයට ගෙන නලවමින් සිටි මාමාර්, රොයිටර්ස් කැමරාවට හසු වූයේ, 2023 ඔක්තෝබර් 17 දිනය.
අකුරු ප්‍රමාණය (Font Size):

අනුන්ගේ කරුමයකට ජීවිතයෙන්  වන්දි  ගෙවන මිලියන සංඛ්‍යාත ගාසා වාසීන් අතර පලස්තීන ජාතික ඉනාස් අබු මාමාර්  (Inas Abu Maamar) ගේ කතාව එහි තවත් එක් පරිච්ඡේදයක් පමණි.

එහෙත්, එය සමස්ත ගාසා වාසීන් මේ වන විටත් විඳවමින් සිටින අපා දුක පිලිබඳ සංකේතාත්මක පිළිබිඹුවකි. එය ගාසා තීරයේ හැමගේ ම කතාවට වෙනස් වන්නේ ඊට මඳක් අඩු-වැඩි වශයෙන් පමණි.

 

mi2

ගාසා යුද්ධය ඇවිළී ගිය  මුල් වකවානුවේම, ඉනාස් අබු මාමාර්ට සිය සොයුරියගේ පස් හැවිරිදි දියණිය 'සැලී' (Saly) අහිමි විය. රෙදි කඩකින් වැසූ 'සැලී' ගේ නිසල සිරුර, රෝහලක මෘත ශරීරාගාරය තුළ, සිය ඇකයට ගෙන නලවමින් සිටි මාමාර්, රොයිටර්ස් පුවත් සේවයේ කැමරා කාචයට හසු විය.

එතැන්සිට, ඊශ්‍රායල ප්‍රහාරවලට මැදි  වී දිනෙන් දින, දිගින් දිගටම ඇයට සිය සමීපතමයන්, අහිමි වන්නට විය. අවසන, ඇයට ඉතිරි වූයේ, ඇය සේම අනාථ භාවයට පත් සිය සොයුරියගේ කුඩා පුතු, අහ්මෙඩ් (Ahmed) පමණි. කුස ගින්නට මැදි වෙමින්, නිවෙස් හැර පලා යන්නන් අතරට එක් වීමට ඔවුන් දෙදෙනාට ද සිදු විය.

එක්සත් ජනපද ජනපති විසින් කෙටුම්පත් කරන ලද, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය, බෙන්ජමින් නෙතන්යාහු ගේ නවතම සාම සැලැස්ම, කවදා, කෙසේ ගාසා යුද්ධය අවසන් කරත් දැයි තවමත් ඇත්තේ දෙගිඩියාවෙකි. 2023, ඔක්තෝබර්  07 දා, ඊශ්‍රායලයේ සිදු වූ හමාස් ප්‍රහාරයෙන් පසු ඇරඹි ගාසා යුද්ධය අවසන් කිරීමට මීට පෙර ගත් සාම ප්‍රයත්නය ද අතර මග බිඳ වැටිණි.  

 

mi1
'සැලී' ගේ මරණය

කුඩා 'සැලී' මිය ගියේ. දකුණු ගාසා තීරයේ ඛාන් යුනිස් (Khan Younis) හි නිවාස සංකීර්ණයක් වෙත එල්ල කෙරුණු ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයකිනි. ප්‍රහාරයෙන් මිය ගිය සිය සොයුරියගේ පස් හැවිරිදි දියණියගේ නිසල සිරුර නාසෙර් (Nasser) රෝහල් මෘත ශරීරාගාරයේදී ඇකයට ගෙන නලවමින් සිටි මාමාර්, රොයිටර්ස් කැමරාවට හසු වූයේ, 2023 ඔක්තෝබර් 17 දිනය.

එම ඊශ්‍රායල ප්‍රහාරයෙන් ඇයට සිය මාමණ්ඩිය, නැන්දනිය, නෑනා, ඥාති සොයුරන් මෙන්ම, සැලීගේ සිඟිති නැගණිය 'සෙබා' (Seba) ද අහිමි විය.

ඉකුත් ගිම්හානයේ දිනෙක, කෑමට කිසිත් නොවූයෙන්, ආහාර රැගෙන ඒම පිණිස නිවෙසින් බැහැර ගිය ඇගේ පියා සහ සොයුරා, එනම්, මිය ගිය කුඩා 'සැලී' ගේ පියාද ඊශ්‍රායල හමුදා විසින් වෙඩි තබා ඝාතනය කෙරිණි. ගාසා යුද්ධයෙන් මළවුන් අතරට එක් වීමට ඔවුන්ට ද එතරම් කලක් ගත නොවීය.

මේ වන විටත් ඉන් මිය ගොස් ඇති බවට ගණන් බලා ඇති 67,000ක ගාසා වාසීන්ට අමතරව තවත් දහස් ගණනකගේ මළ සිරුරු, සමස්ත ගාසා තීරය පුරා විසිරි කොන්ක්‍රීට් සුන්බුන් වලට යටවී ඇතැයි අනුමාන කරන බව, ගාසා සෞඛ්‍ය බලධාරීහු පවසති.

mi3

 

"පවුලේ පාපතරයෙක් මුල් වී ආදරණීය පවුලක් කඩා විසිරුවා හළ සේ, යුද්ධය, අප සියල්ලන්ම විනාශ කළා. යුද්ධය අපට අපේ පවුල නැති කළා, එය අපේ නිවෙස් අපට අහිමි කළා. යුද්ධය අපට ඉතිරි කළේ අහිමි වීම සහ අප හදවත් හි සදා නොමැකෙන වේදනාව පමණයි," 38 වන වියට පා තබන මාමාර් පවසයි.

හමාස් සංවිධානය මුලිනුපුටා දමන තෙක් ගාසා යුද්ධය අවසන් නොකරන බව අග්‍රාමාත්‍ය නෙතන්යාහු විසින් සපථ කර තිබේ. ඊශ්‍රායල හමුදා උතුරේ ගාසා නගරයද අත්පත් කර ගැනීමට "ඔන්න මෙන්න" ය. හැකි තාක් සිවිල් පුරවැසියන් මගහැර, හමාස් ඉලක්ක වෙත පමණක් ප්‍රහාර එල්ල කරන බව, ඊශ්‍රායල හමුදා පවසති. හමාස් ත්‍රස්තයින්, සිවිල් ප්‍රජාව අතර සැඟව සිට ප්‍රහාර එල්ල කරන බව ඊශ්‍රායල හමුදා චෝදනා කරති. හමාස් සංවිධානය එම චෝදනා ප්‍රතික්ෂේප කර සිටී.

කඳවුරු ජීවිතය ආනන්දනීය නොවේ

අබු මාමාර් සහ ඇගේ රැහේ ඉතිරි නෑසියෝ, ඉකුත් දෙවසර තිස්සෙම අඛණ්ඩව වට ඊශ්‍රායල බෝම්බ වැස්සෙන් සහ අතොරක් නොමැති භූමි ප්‍රහාරයන්ගෙන් දිවි ගලවා ගැනීමට දිවා රෑ නොතකා පලා ගියහ. අවසන, ඔවුන්ට ඉසිඹු ළෑමට සිදු වුයේ, වෙරළාසන්න කඳවුරු බිමෙක හිස් පොලව මත තැනූ තාවකාලික කූඩාරමකය. ඒ, ගාසා යුද්ධයෙන් ඔවුන් සේම, දිනූ බිම විතැන්  වූවන් රැඳි අනාථ කඳවුරෙකය. එය දැන් අවතැන් වූවන්ගෙන් පිරී ඉතිරී ගොස් ය.

කඳවුරු  බිම පරිසරය නම්, සෑම අතින්ම අයහපත් ය. එය මිහිපිට අපායෙකි. කඳවුරු බිම  සීග්‍රයෙන් රෝගාබාධ ව්‍යාප්ත වෙමින් පවතී. කුසට නිසි අහර සහ පානීය ජලය අල්ප මාත්‍රයෙන්වත් සොයා ගැනීම අතිශය උගහට ය. ළඟ-ළඟ ඇසෙන නිරන්තර ඊශ්‍රායල බෝම්බ පිපිරීම් හඬ කඳවුරු වාසීන් අඛණ්ඩ කම්පනයෙන් පෙලන්නේය.

දැන් අබු මාමාර්ගේ එකම බලාපොරොත්තුව සිය නැගණියගේ එකම  පුතු, එනම්, මිය ගිය 'සැලී' ගේ කණිටු සොයුරා, අහ්මෙඩ් ජීවත් කරවීමය. එය ඇගේ එකම සැනසීමය.

mi4
යුද්ධයේ පළමු දින දහය තුළ දීම අහ්මෙඩ් හට සිය මව, නැගෙණියන් දෙදෙනා සහ මව් පස සීයා සහ ආත්තම්මා ද අහිමි විය. ඉන් පසු, ඉකුත් ජුනි මස   නිවෙසට ආහාර රැගෙන ඒමට නික්ම ගිය පියාත්, පිය පස සීයාත්,  අහිමි විය. පියා ජීවතුන් අතර සිටියදී කුඩා අහ්මෙඩ් නිරන්තරව එහෙ මෙහෙ ගියේ ඔහු කැටුවය. ඔහු, අහ්මෙඩ් හා ක්‍රීඩාවේ යෙදෙන්නේය. ඔහුව මුහුදු වෙරළට කැටුව යන්නේය. ඒ අතීතය, ප්‍රීතිමත්ව ගත කළ කාලයක් විය.

දැන් ඔහුගේ  ජීවිතය මුළුමනින්ම වෙනස්ව ඇතැයි මාමර් පවසන්නීය.  ඔහු දැන් දවසේ පැය 24ම ගත කරන්නේ කූඩාරම තුළය. සිය පියාගේ මරණයෙන් පසු, අහ්මෙඩ් ගේ හුදෙකලාව මැකුවේ කුඩා බළල් පටවෙකි. ඔහු සිය සුරතලාට 'ලොස්' (Loz) යැයි නම් තැබීය. මීට දෙමසකට පෙර ඊශ්‍රායල ප්‍රහාර හමුවේ 'ලොස්' ද මිය ගියේය.

mi5

මේ, අවසානයේ ඇරඹුමද?  

" ගාසා තීරය පුරා යුද්ධයෙන් ගලන රුහිරු ගංගා දැන්-දැන් වියලේවායි මම දෙවියන් යදිමි. මම ඒ වෙනුවෙන්, තත්පර, මොහොතින් මොහොත, පැය, දින, සති, මාස ගණන් අපේක්ෂා දල්වා සිටියෙමි. තව දුරටත් එසේම සිටිනෙමි. මෙවර ප්‍රයත්නය ද පෙර සේම අපේක්ෂා භංගත්වය පමණම දැයි තවමත් නොහඳුනමි.

යුද්ධය නතර කරන්නැයි ඊශ්‍රායලයට  සියලු වැර යොදා බල කරන ලෙස  ජනපති ට්‍රම්ප් ගෙන් උදක්ම ඉල්ලමි. දැන් නම්, හොඳටම ඇති ය. අපට අහිමි වූ සියල්ල ද හොඳටම ඇති ය.


අප හා සතුටින් ගතකළ, අප ආදරය කළ සියල්ලෝ ඉතා කෙටි කලක් තුළ එකා පිට එකා වැටෙමින් අප හැර ගොස් ය. අපට ඔවුන් අහිමි වී හමාරය. ඔවුන් සහ එම ආදරණීය මතක  එහි තනි කර, නිවෙස් ද හැර දමා දිවි ගලවා ගැනීමට අපි මෙහි පලා ආවෙමු. යුද්ධයෙන් පසු අපට  ආපසු මෙයින් නික්ම යන්නට වන්නේ ද ඒ කිසිවකු නොමැති හුදෙකලාවකට ය.

 

ne57i67

යුද්ධය තවත් දිග්ගැස්සේ දැයි,  මම බිය වෙමි. අපට අවශ්‍ය අවසානය මිස අවසානයේ ඇරඹුම නොවන්නේය. මා පමණක් නොව, මේ සෑම අහිංසක ජීවිතයක් වෙනුවෙන්ම, යුද්ධය දැන් දැන්ම අවසන් විය යුතුමය," මාමාර් යදින්නේ ඇය වෙනුවෙන්ම නොව විපතින් විපතට පත් සමස්ත ගාසා වාසීන් වෙනුවෙන්මය. එහි සහකම්පනය ඔබටත් මටත් නොදැනෙන්නට හේතු නැත්තේමය.  


(අනුවර්තනය | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
10/9/2025

සබැඳි පුවත් :

Two years after she was pictured in grief, Gaza woman faces more misery

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

දෙවසරක් නොසැලී - තණ අගෙක පණ රැකී | The Leader