මෑත කාලීනව සිදු කළ සියලු ඉල්ලීම් තවමත් නෑසූ කනින් පවතී.
ජනපති ට්‍රම්ප්, මෙම සතියේ, දකුණු කොරියාවේ සංචාරයක නිරත වීමට සූදානමින් සිටී.
උතුරු කොරියාවේ රාජ්‍ය හොරණෑව, එරට ගුවන් විදුලිය මේ දිනවල අනපේක්ෂිත නිහඬතාවක පසුවේ. එහෙත්, එක්සත් ජනපද ජනපතිගේ දකුණු කොරියානු සංචාරය සැළ වීමත් සමග, උතුරු කොරියාව නොබෝදා හයිපර්සොනික් බැලස්ටික් මිසයිලයක් අත්හදා බැලුවේය.
ජනපති ට්‍රම්ප්, උතුරු කොරියා නායකයා හමුවීමේ නොතිත් ආශාවෙන් පෙළේ. මීට පෙර, සිය ප්‍රථම ධුර කාලයේ නම්, ඔහු කිහිප වතාවක්ම උතුරු කොරියා නායක, කිම් ජොඞ් උන් හමු විය. වරමක් ලදොත්, මෙවර, ඊට දකුණු කොරියා නියෝජිතයින් ද සම්බන්ධ කරගැනීම, ඔහුගේ අපේක්ෂාවයි.
"අපි දෙන්නා අතර හොඳ සම්බන්ධයක් තිබුණා. මම හරිම කැමැත්තෙන් ඉන්නෙ, ආයෙත් ඔහු හමුවන්න, හැබැයි, ඔහුත් කැමතිනම්.... මම හිතනවා පණිවුඩේ ඔහුට ලැබෙයි කියලා," ජනපති ට්‍රම්ප් ඊයේ (27), මාධ්‍යවේදීන් හමුවේ පැවසීය.
"අපි මේ ගැන නිල වශයෙන් මොකුත් කියල නෑ.. එත්, මම දකුණු කොරියාවට එනවා කියල ඔහු දන්නවා. එයා කැමති නම්, මාත් කැමතියි," ඔහු කියා සිටියේය.
"හරි, උතුරු කොරියානු නායකයාව සාකච්ඡා මේසෙට ගේන්න බැරි වුණොත්?" ට්‍රම්ප්ට සවන් දී සිටි මාධ්‍ය වේදියකු පැනයක් නැගීය.
"බැරි වුණොත්....ඒකට තමා 'සම්බාධක' කියල ජාතියක් තියෙන්නෙ. හැබැයි, ඒ, බැරිම තැන, හරිය... ඒත් මේ වෙලාවෙ, ඒක බර වැඩියි. අපි ඒ ගැන දැන්ම නොහිතා ඉමු," ජනපති ට්‍රම්ප් එසේ පිළිතුරු දුන්නේය.
උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි සංචිත පිලිබඳ සාකච්ඡා බිඳ වැටීමට පෙර, 2018 සහ 2019 වසරවල, දෙරට නායක දෙපළ අතර සමුළු වට කිහිපයක්ම පැවැත්විණි. එම අවි සංචිත පවත්වාගැනීම සහ සිය බැලස්ටික් මිසයිල සම්බන්ධයෙන්, උතුරු කොරියාව මේ වන විට, ජාත්‍යන්තර සම්බාධක රැසකින් පීඩාවට පත්ව සිටී.
මෑත කාලීනව, උතුරු කොරියා නායකයා දුර්ලභ විවෘත භාවයක් ද විදහා දැක්වීය. ඒ, එක්සත් ජනපදයේ ඉල්ලීම්, ඉල්ලා අස් කරගන්නේ නම්, ජනපති ට්‍රම්ප් හමුවී සාකච්ඡා කිරීමට සූදානම් බව පවසමිනි. එහෙත්, දකුණු කොරියාව සමග කිසිදු සාකච්ඡාවක් නැතැයි, ඔහු අවධාරණය කළේය.
"පෞද්ගලිකවම, තවමත් ජනපති ට්‍රම්ප් සමග සුන්දර මතකයන් මා සතුයි," මෑත, එක් කථාවක දී ඔහු එසේ පැවසීය.
"අපව, න්‍යෂ්ටික නිරායුධකරණය කිරීමේ අභූත උමතුවෙන් එක්සත් ජනපදය අත් මිදීමට කැමැත්තේ නම්, ඒ වගේම, සත්‍යය තේරුම් ගන්නේ නම්, සහ සත්‍ය වශයෙන්ම, අප හා සාමකාමී සහජීවනයට සූදානම් නම්, එක්සත් ජනපදය සමග එකට හිඳ ගැනීමේ අහේතුක වරදක් නොදක්නේ" යැයි, නායක කිම් කියා සිටියේය.
ඉකුත් ජුනි මස, ධුරයේ වැඩ භාරගත්, දකුණු කොරියානු ජනපති, ලී ජේ ම්යුඞ් ( Lee Jae Myung ), උතුරු කොරියාව සමග යහ සබඳතා වර්ධනය කිරීමේ අභිලාෂයෙන් පසුවේ. දකුණු කොරියානු සංචාරය අතරවාරයේ උතුරු කොරියානු නායකයා හමු වන ලෙස, ජනපති ට්‍රම්ප් ට යෝජනා කළේ ඔහු ය.
උතුරු කොරියාව හා සාකච්ඡා කිරීමේ ජනපති ට්‍රම්ප්ගේ අපේක්ෂාව පිලිබඳ අද හෝ හෙට, උතුරු කොරියාවෙන් යමක් අසන්නට ලැබෙනු ඇතැයි, ඒකාබද්ධ කටයුතු අමාත්‍ය, චන්ග් ඩොඞ්-යන්ග් ( Chung Dong-young) පවසයි. දකුණේ සිට, උතුර - දකුණ යා කරන්නේ ඔහුය.
ඊයේ, පාර්ලිමේන්තුව ඇමතූ දකුණු කොරියානු විදේශ අමාත්‍ය, චෝ හ්යුන් (Cho Hyun), ජනපති ට්‍රම්ප් විසින් උතුරු කොරියාව න්‍යෂ්ටික බලවතකු ලෙස හැඳින්වීම සහ සම්බාධක ලිහිල් කිරීම පිලිබඳ ඉඟි කිරීම, නායක කිම්, සාකච්ඡා මේසයට රැගෙන ඒමේ ප්‍රයත්නය උදෙසා වූ ඉතා හොඳ දිරි ගැන්වීමක් බව කියා සිටියේය.
කෙසේ වෙතත්, 2017 සහ 2018 කාල වකවානු හා සංසන්දනය කිරීමේදී, වත්මන් උතුරු කොරියාව, චීනය හා ද්වීපාර්ශ්වීය සබඳතා තර කර, රුසියාව හා හමුදා සන්ධානයේ පසුවන බව තරයේ මතක තබා ගත යුතු යැයි ද, ඔහු අවධාරණය කළේය.
සඳුදා (27), උතුරු කොරියානු විදේශ අමාත්‍යවරයා, රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් (Vladimir Putin) හමු විය.
පසුගිය වසරේ උතුරු කොරියාව හා රුසියාව අතර උපාය මාර්ගික සහයෝගිතා ප්‍රඥප්තියක් අත්සන් තැබිණි. දෙරට අතර අන්‍යොන්‍ය ආරක්ෂක ගිවිසුමක් ද ඊට ඇතුළත් ය. ඒ අනුව, රුසියානු-යුක්‍රේන ගැටුමේ, රුසියාවට සහාය පිණිස උතුරු කොරියාව සෙබළුන්, යුද අවි, පුපුරන ද්‍රව්‍ය, උණ්ඩ සහ මිසයිල ද යැවීය.
ඊයේ, ජපානයේ, තෝකියෝ අගනුවරට ගිය ජනපති ට්‍රම්ප්, දශක ගණනකට පෙර, උතුරු කොරියාව විසින් පැහැර ගත්, ජපන් ජාතිකයින්ගේ පවුල් සාමාජිකයින් හමු විය.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(harshaprs@yahoo.com)
10/28/2025
මුලාශ්‍රය :
Trump would 'love' to meet Kim Jong Un again, but no word from North Korea




