BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
විදේශ

බොන්ඩි වෙරළ ප්‍රහාරකයෝ පිය-පුතු දෙපළක්; ඕස්ට්‍රේලියානු අගමැතිට ඊශ්‍රායලයෙන් දොස්

T

The Leader Desk

December 15, 2025 • 11:12 AM

බොන්ඩි වෙරළ ප්‍රහාරකයෝ පිය-පුතු දෙපළක්; ඕස්ට්‍රේලියානු අගමැතිට ඊශ්‍රායලයෙන් දොස්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සුප්‍රකට බොන්ඩි වෙරළේ ඊශ්‍රායල සැමරුම් උත්සවයක් ඉලක්ක කර ඊයේ (14) එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයෙන් මේ වන විට මිය ගිය සංඛ්‍යාව 15ක් බව, එරට අද (15) නිවේදනය කළේය.
  • වසර 30කට පසු එරට සිදු වූ අති බිහිසුණු මිනිස් ඝාතනය මෙය වේ.
  •   පොලිස් වෙඩි පහරින් එක් ප්‍රහාරකයකු වූ 50 හැවිරිදි පියා, එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් විය.
  • ඒ සමග සිද්ධියෙන් මියගිය පුද්ගල සංඛ්‍යාව 16කි.
අකුරු ප්‍රමාණය (Font Size):


ප්‍රහාරකයින් පිය -  පුතු දෙපළක් බව ද අනාවරණය කර තිබේ.

වසර 30කට පසු එරට සිදු වූ අති බිහිසුණු මිනිස් ඝාතනය මෙය වේ.

 

bondi 3

පොලිස් වෙඩි පහරින් එක් ප්‍රහාරකයකු වූ 50 හැවිරිදි පියා, එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් විය. ඒ සමග සිද්ධියෙන් මියගිය පුද්ගල සංඛ්‍යාව 16කි. ඔහුගේ පුත්‍රයා වූ 24 හැවිරිදි අනෙක් ප්‍රහාරකයා බරපතල තුවාල සහිතව රෝහල් ගත කර සිටී. ප්‍රහාරක පියා සජිඩ් අක්‍රම් (Sajid Akram) ලෙසත්,  පුත්‍රයා නවීඩ් අක්‍රම් (Naveed Akram) ලෙසත් හඳුනාගෙන තිබේ.

ප්‍රහාරය, ඕස්ට්‍රේලියාවේ යුදෙව් වැසියන් ඉලක්ක කළ ත්‍රස්ත ක්‍රියාවක් බව රජය නිවේදනය කළේය.

 

Emergency workers transport a person on a stretcher after a reported shooting at Bondi Beach in Sydney, Sunday, Dec. 14, 2025. (AP Photo/Mark Baker)
ප්‍රහාරයෙන් තුවාල ලත් පුද්ගලයින් 40 දෙනෙක් ද මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටිති. ඉන්, පොලිස් නිලධාරීන් දෙදෙනකුගේ තත්ත්වය බරපතල බව සඳහන්ය. මිය ගිය සියල්ලෝ වයස අවුරදු 10ත්, 87ත් අතර පසුවෙති.

ත්‍රස්ත ප්‍රහාරය මිනිත්තු 10ක පමණ කාලයක් පැවති බව, සිද්ධිය ඇසින් දුටුවෝ පැවසූහ. ප්‍රහාරයත් සමග උත්සවයට සහභාගී වෙමින් සහ වෙරළේ සිටි පිරිස් මුවාවක් සොයා අසල වීදි තෙක් හිස් ලූ ලූ අත දිව ගියහ.

යුදෙව්වන්ගේ එම හනුකා (Hanukkah) උළෙලට 1000කට අධික පිරිසක් සහභාගී ව සිටි බව, පොලිසිය සඳහන් කළේය. එය, වෙරළ අද්දර, විශේෂයෙන් වෙන් කළ කුඩා උද්‍යානයක පැවතියේය.

 

අසල සිටි සිවිල් වැසියෙක් වෙඩි පහර එල්ල කරමින් සිටි එක් ප්‍රහාරකයකු පිටුපසින් ගොස් පොර බදා, ඔහු මෙල්ල කර, එම ප්‍රහාරකයා අත වූ ගිනි අවිය පැහැර ගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ. අසල පළතුරු වෙළඳ සැලක හිමිකරුවකු බව පැවසෙන ඔහු,  40 හැවිරිදි, අහ්මෙඩ් අල් අහ්මෙඩ් (Ahmed al Ahmed) නම් පුද්ගලයකු බව, රොයිටර්ස් පුවත් සේවය පවසයි. ඔහු ද වෙඩි ප්‍රහාර දෙකකට ලක් ව රෝහල් ශල්‍යකර්මයකට භාජනයව සිටී. ඔහු කළ ක්‍රියාව ඇගයීමට ලක් කරමින්, ඔහු වෙනුවෙන් සමාජ ආධාර එකතු කිරීමක් ද සිදු කර තිබේ. එරට වේලාවෙන් අද මධ්‍යහනය වන විට, එම අරමුදලට ඕස්ට්‍රේලියානු ඩොලර් 350,000ක මුදලක් එකතු වී ඇත. එහි  වටිනාකම ඇමෙරිකානු ඩොලර් 233,000කි.

 

ප්‍රහාරක පියා 2015 සිට ඕස්ට්‍රේලියානු ගිනි අවි බලපත්‍ර ලාභියකු බවත්, බලපත්‍ර ගිනි අවි හයක් ඔහු සන්තකයේ පැවති බවත් පොලිසිය පැවසීය. ඔහු,1998 වසරේ ශිෂ්‍ය වීසා මත ඔස්ට්‍රේලියාවට පැමිණියෙකි. ඔහුට දාව ප්‍රහාරක පුත්‍රයා ඕස්ට්‍රේලියානු පුරවැසියෙකි.

ප්‍රහාරකයන්ගේ ඉතිහාසය සොයා විමර්ශන ක්‍රියාත්මකය. නගරාශ්‍රිතව පිහිටි ඔවුන් පදිංචි පරිශ්‍රය සහ අවට නිවෙස් කිහිපයක් පීරා පොලිසිය අදත් විශේෂ සෝදිසි මෙහෙයුම් හි නිරත විය.  

870d9a94 1d40 4a6e bd47 f0e6813ebe25
අද උදෑසන බොන්ඩි වෙරළ ට පැමිණි අග්‍රාමාත්‍ය ඇන්තනී අල්බනීස්, එහි මල් කළඹ තබා ශෝකය ප්‍රකාශ කරන්නන් අතරට එක් විය. ඊයේ ප්‍රහාරය, ඕස්ට්‍රේලියානු වෙරළ තීරයේ දී යුදෙව්වන්ට එරෙහිව සිදු කළ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයක් බව, ඔහු පැවසීය.

එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ප්‍රංශ ජනපති, එම්මානුවෙල් මැක්‍රන් ද සිද්ධිය සම්බන්ධයෙන් ශෝකය ප්‍රකාශ කළහ. ඊයේ ඕස්ට්‍රේලියාවේ සිදු වූ ප්‍රහාරය 2023 ගාසා යුද්ධය ඇරඹීමෙන් පසු, යුදෙව් ස්මාරක, ඉදි කිරීම් සහ මෝටර් රථ ඉලක්ක කර විදෙස් රටවල සිදු කළ දරුණුතම ප්‍රහාරයන්ගෙන් එකක් බව විදෙස් මාධ්‍ය සඳහන්  කරයි.

 

ප්‍රහාරය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය, බෙන්ජමින් නෙතන්යාහුගේ දැඩි දෝෂ දර්ශනයට පාත්‍ර විය. පලස්තීන රාජ්‍යයක් උදෙසා ඔස්ට්‍රේලියාව සහාය පල කිරීම යුදෙව් විරෝධයට උල්පන්දම් දීමක් බව, අගමැති නෙතන්යාහු අනතුරු ඇඟවීය.

ඉකුත් අගෝස්තු මස යුදෙව් විරෝධී ප්‍රහාර දෙකක් 'අධ්‍යක්ෂණය' කිරීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු රජය, ඉරානයට චෝදනා එල්ල කළේය. එරට ඉරාන තානාපතිවරයාට සතියක කාලයකට රටින් පිටවන ලෙස ද නියෝග කළේය.  

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...