උසස් අධ්‍යාපනය දේශපාලනීකරණය කිරීම සම්බන්ධයෙන් රජයට චෝදනා එල්ල කරමින් බොස්නියැක් මුස්ලිම් බහුතරයක් වෙසෙන නොවී පසාර් (Novi Pazar) හි එම උද්ඝෝෂණ පැවතියේ එරට ප්‍රථම වරට වීම විශේෂත්වයකි.

පසු ගිය වසරේ උතුරුකර නගරයක් වන නොවී සාද් (Novi Sad) හි දුම්රිය ස්ථානයක වහල කඩා වැටීමත් සමග රජයට එරෙහි දැවැන්ත විරෝධතා ආරම්භ විය. අනතුරින් පුද්ගලයින් 16 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. එම අනතුරේ පළමු වසර සැමරුම පිණිස පසු ගිය මස 1 දා සුවිසල් ජන උද්ඝෝෂණයක් සංවිධානය කර තිබිණි. ඊට සහභාගී වීම පිණිස නොවී පසාර් හි සිට දහස් සංඛ්‍යාත විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ දින ගණනක් පා ගමනේ පැමිණියහ.

පසුව, විශ්ව විද්‍යාල පරිපාලනය විසින් එම සිසුන්ගේ නිත්‍ය ශිෂ්‍ය භාවය අහෝසි කිරීමට පියවර ගැනිණි. අනුබල දුන් සහ විරෝධතාවන්ට එක්වූ විශ්වවිද්‍යාල දේශකයින් රැසක් ද සේවයෙන් පහ කිරීමට කටයුතු කෙරිණි. ඊයේ විරෝධතා ඇරඹියේ රජයේ එම අදූරදර්ශී පියවර කෙරෙහි දැඩි ජනතා විරෝධය ඉස්මතු කරමිනි.
විශ්වවිද්‍යාල කළමනාකරණ මණ්ඩලය විසුරුවා හැර විකල්ප කාර්ය මණ්ඩලයක් තෝරා පත් කර ගන්නා ලෙස උද්ඝෝෂකයෝ බල කර සිටියහ. සර්බියාවේ විශ්වවිද්‍යාල පධතිය උදෙසා අන්තර්වාර කළමනාකරණ මණ්ඩලයක් පත් කර ගන්නා ලෙස රජයට බල කිරීමේ සහ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය ආරක්ෂා කර ගැනීමේ පොදු අරමුණට සහාය පිණිස ඊට එක් වූ බව, ශිෂ්‍ය ක්‍රියාකාරීහු පැවසූහ.

විරෝධතා ඇරඹීමට පෙර දුම්රිය ස්ථානයේ වහල හිස මත කඩා වැටීමෙන් ජීවිතක්ෂයට පත්වූවන් සිහි කර මොහොතක නිශ්ශබ්දතාවක් පැවැත්විණි. ඔවුන් නියෝජනය කළ නගර සහ විශ්විද්‍යාල වලට අයත් කොඩි ලෙලවමින් ඔවුහු උද්ඝෝෂණයේ නිරත වූහ.
ශිෂ්‍ය ක්‍රියාකාරීන්, අධ්‍යයන කාර්‍ය මණ්ඩල සහ විපක්ෂ දේශපාලනඥයින් නායකත්වය දුන් එම විරෝධතා හිදී සර්බියානු ජනපති අලෙක්සන්ඩාර් වූසික් (Aleksandar Vucic) සහ ඔහුගේ ජනතාවාදී ජාතිකවාදී පක්ෂය සෘජු චෝදනාවට ලක් විය. දූෂණ ප්‍රවර්ධනය, අතිශය දුර්වල පොදු සේවා, ඥාති සංග්‍රහය සහ මාධ්‍ය නිදහස සීමා කිරීම පිළිබඳව ඔවුහු ජනපතිවරයාට සහ එම පක්ෂයට චෝදනා එල්ල කර සිටියහ. වූසික් එම සියලු චෝදනා ප්‍රතික්ෂේප කර සිටී.
නොවී පසාර් යනු ජන විකාශ වශයෙන් සර්බියාවේ පිහිටි ලාබාලතම නගරයයි. එහි 60%ක බහුතරය මුස්ලිම් ජනයාගෙන් සමන්විතය. සර්බියාව මීට දශක තුනකට පමණ පෙර යුගොස්ලෝවියාවෙන් කැඩී වෙන් වුව, අසල්වැසි ඔර්තඩොක්ස් ජනයා සමග කිසිදු ජනවාර්ගික අර්බුදයක් හට නොගැනිණි.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලාශ්‍රය :
Serbia's students protest against university pressure after railway station tragedy




