සිය ධුර සමයේ සිදු කරන ලදැයි පැවසෙන ඇමෙරිකානු ඩොලර් බිලියන ගණනක මුදල් වංචාවක් සම්බන්ධයෙන් අධිකරණයෙන් වරදකරු වූ රසාක් හට 2022 දී වසර 12 ක සිර දඬුවම් නියම විය. හිටපු රජු ගේ සභාපතිත්වයෙන් යුත් සමා මණ්ඩලයක දී, පසු ගිය වසරේ එම දඬුවම වසර හයකට ලිහිල් කෙරිණි.
රජු විසින් එම දඬුවම, "නිවාස අඩස්සියට පත් කරන ලෙස" දන්වා අතුරු නියෝගයක් ද නිකුත් කළ බව රසාක් උදක්ම කියා සිටී. එම ලිඛිත නියෝගය රජය සතුව පවතින බවට සහතික කර, එහි අන්තගතය බලාත්මක කරන ලෙස නියෝග කරන මෙන්, ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එවැනි ලිඛිත නියෝගයක් සම්බන්ධයෙන් කිසිදු අවබෝධයක් නැතැයි, සමා මණ්ඩලය ඇතුළු රාජ්‍ය නිලධාරීහු ඉකුත් මාස කිහිපය තිස්සෙම කියා සිටියහ. එහෙත්, රජුගේ තීන්දුව පිලිබඳ රාජකීය ලේඛනය නිකුත් කර ඇතැයි, එම කාර්යාලය පවසයි.
මැලේසියා රජු කිරීටය පිලිබඳ එරට නාමික සම්ප්‍රදායය නියෝජනය කරන්නේය. එහෙත්, ෆෙඩරල් ව්‍යවස්ථාවට අනුව, වරදකරුවන්ට සමාව ප්‍රදානය කිරීමේ අභිමත බලය ඔහු සතුව පවතී.

රජු විසින් නිකුත් කරන ලද ලිපිය අවිවාදිත මුත්, එය ව්‍යවස්ථාවෙන් ඉල්ලා සිටින පරිදි, එරට සමා මණ්ඩලයේ උපදේශන යටතේ පැවතිය යුත්තේය. එහෙත්, අතුරු නියෝගය එම උපදේශනයෙන් තොරව පැවතීමෙන්, නෛතිකව බලාත්මක කළ නොහැකි බව, රසාක් ගේ ඉල්ලීම සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශ කරමින් ක්වාලා ලම්පූර් මහාධිකරණය කියා සිටියේය. මැලේසියානු පාලකයින්ට සිය අභිමත බලය පරිදි සමා ප්‍රදානය කළ හැකි වුව, ඊට සීමා නැත්තේ නොවේ යයි, තීන්දුව ප්‍රකාශ කරමින් විනිසුරු ඇලිස් ලෝක් කියා සිටියේය. රසාක් සම්බන්ධයෙන් වූ අතුරු නියෝගය සමා ප්‍රදාන මණ්ඩල රැස්වීමේදී තීරණය නොවූ හෙයින්, එය වලංගු බවින් තොර බව, ඔහු අවධාරණය කළේය.
එම තීන්දුවට එරෙහිව හිටපු අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් අභියාචනා ගොනු කරන බව ඔහුගේ නීතිඥයෝ ප්‍රකාශ කළහ.
රසාක් විසින් සිය ධුර කාලයේ, රාජ්‍ය ගිණුමකින් ඇමෙරිකානු ඩොලර් බිලියන 4.5ක අධික මුදලක් අවභාවිත කළ බවට, එක්සත් ජනපද විමර්ශනයකදී අනාවරණය විය. ඒ යටතේ ඔහුගේ නමට ඇමෙරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් අයථා ලෙස ගිණුම් ගතව ඇතැයි ද හෙළි විය.
අධිකරණයකින් වරදකරුව සිර දඬුවම් නියම වූ මැලේසියාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා ඔහු වේ.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලාශ්‍රය :
Malaysia denies ex-PM Najib's house arrest bid ahead of key 1MDB verdict




