1979 වසරේ ඉරාන විප්ලවයෙන් පසු ක්‍රියාත්මක එරට දවන්තතම මහජන විරෝධතාවට එක්වන්නේ කෙසේ දැයි එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් මාන බලමින් සිටී. අවශ්‍ය වුවහොත්, ඊට හමුදාමය මැදිහත් වීමක් සිදු කිරීම ඔහුගේ පළමු අපේක්ෂාවය.
ප්‍රධාන ගෝලීය තෙල් නිෂ්පාදකයකු වන ඉරානය සමග ගනුදෙනු කරන කවර රජයකින් වුව, එක්සත් ජනපදය වෙත එහි අපනයන මත 25% ක නව බද්දක් අය කරන බව, ජනපති, ට්‍රම්ප් ඊයේ (12) පැවසීය. එය අවසන් සහ තීරණාත්මක නියෝගයක් බව ද ඔහු කියා සිටියේය. ඉරානය මත දැනටමත් අධික එක්සත් ජනපද සම්බාධක පනවා තිබේ.
ඉරානයේ විශාලතම තෙල් ගැනුම්කරුවා චීනයයි. තුර්කිය, ඉරාකය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඉන්දියාව ද එහි ඉහළ පෙළ වෙළඳ හවුල්කරුවෝ වෙති.
ට්‍රම්ප් ගේ නව තීරණය සම්බන්ධයෙන් වොෂින්ටනයේ චීන තානාපති කාර්යාලයේ විරෝධය පළ කර තිබේ. සිය අභිලාෂයන් සුරක්ෂා කිරීම පිණිස චීන රජය හැකි සෑම පියවරක්ම ගන්නා බවත්, සියලු ආකාරයේ ඒක-පාර්ශ්වීය සම්බාධක සහ දේශසීමා අතික්‍රමණය කළ අනීතික අධිකරණ බලය හෙළා දකින බවත්, චීන තානාපති කාර්යාල නිවේදනය දැක්වේ.
ඉරාන අරගලකරුවන් වෙත වෙඩි තැබීම් සිදු කළහොත්, එක්සත් ජනපදය ද පෙරළා පහර දෙන බව, ජනපති ට්‍රම්ප් විසිත් අනතුරු අඟවා තිබේ. ඉරාන රාජ්‍යයට එරෙහිව ක්‍රියාකරන්නන් සහ ඊට අනුබල දෙන්නන් මරණීය දණ්ඩනයට හා අත්-පා කපා දැමීමට ලක් කරන බව, උත්තරීතර නායකත්වය කියා සිටී.
ඉරාන ජන අරගලයෙන් මේ වන විට පුද්ගල මරණ 646ක් වාර්තා වේ. ඉන් 505ක් විරෝධතා කරුවන් වන අතර 113ක් හමුදා සහ ආරක්ෂක නිලධාරීහු වෙති.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
1/13/2026
(harshaprs@yahoo.com)
මුලාශ්‍රය :
Trump weighs response to Iran crackdown, Tehran says communication open with US




