වෙනිසියුලාවේ දේශපාලන අනාගතය දැන් පවතින්නේ ට්‍රම්ප් අතේය. ඉන් උපරිම ඵල නෙලා ගැනීමට මචාඩෝ අපේක්ෂා කරනු පෙනේ.
පදක්කම තමා සන්තකයේ තබා ගැනීමට ජනපති ට්‍රම්ප් අදහස් කරන්නේ යැයි, ධවල මන්දිර ප්‍රකාශකයකු රොයිටර්ස් පුවත් සේවයට පැවසීය.
"මම කළ දේ දැනගෙන, මාරියා ඇගේ නොබෙල් සාම තෑග්ග මට දුන්නා. ඒක අන්‍යොන්‍ය වශයෙන් කොච්චර අගනා, ගෞරවාන්විත ක්‍රියාවක්ද? ඔබට ස්තුතියි මාරියා," ජනපතිවරයා සමාජ මාධ්‍යයේ එසේ සටහන් තැබීය.

ඊයේ ජනපති ට්‍රම්ප් හමුව, "අති විශිෂ්ට" යැයි මචාඩෝ පැවසුවාය. වෙනිසියුලා ජනතාවගේ ස්වෛරී බව උදෙසා ජනපති ට්‍රම්ප් සිදු කළ වෙසෙස් මෙහෙවර අගයනු වස්, සිය නොබෙල් සාම ත්‍යාගය ඔහුට පිරිනැමූ බව ඇය කියා සිටියාය.
නිකොලස් මදුරෝ රටින් පිටමං කිරීමෙන් පසු එහි නායකත්වයට මචාඩෝ පත් කිරීමට ට්‍රම්ප් මැලි විය. ඇයට පසු ගිය මස නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීමට පෙර සිටම ඔහු ඒ වෙනුවෙන් ප්‍රසිද්ධියේම 'සටන්' කළේය. පැරදුණු තැන ඔහු 'තිත්ත' වචනයෙන් ඒ පිලිබඳ දෝෂාරෝපණය කළේය.
මචාඩෝ, ඔහුට සිය නොබෙල් ත්‍යාගය පිරිනැමුවද, එය හිමි කර ගැනීමේ ගෞරවය ඇය සතු යැයි නෝර්වීජියානු නොබෙල් ආයතනය කියා සිටී. එය අන්සතු කිරීම, බෙදා ගැනීම හෝ අවලංගු කිරීම තහනම් බව එම ආයතනය පවසයි.

ජනපතිවරයා ඇගෙන් නොබෙල් ත්‍යාගය ඉල්ලා සිටියේදැයි මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දුන් ට්‍රම්ප්, "නෑ, ඒක දිනා ගත්තෙ මම නෙවේ, එයානෙ," යි පැවසීය.
මචාඩෝ පිළිගනිමින් ධවල මන්දිරයේ පැවති දිවා ආහාර සාදය පැයකට පමණ සීමා විය. එය, මචාඩෝ සහ ජනපති ට්‍රම්ප් එකිනෙකා හමුවූ මුල්ම අවස්ථාව ද විය. එහිදී මචාඩෝ ට දෙපසේම සෙනෙට් සභිකයින් රැසක් ද හමු විය.
වත්මන් වෙනිසියුලාවේ කෙටිකාලීන අන්තර්වාර පාලන සමයේ බහුතර සහාය මචාඩෝ සතුව නොමැති බව, ජනපති ට්‍රම්ප් ගේ අදහසයි. පසුගිය දෙසැම්බරයේ, ඇය නැව් නැග වෙනිසියුලාවෙන් පලා ගියාය. ඇය දැන් 'ලක ලැහැස්ති' වන්නේ, ට්‍රම්ප්ගේ බහට අවනතව වෙනිසියුලාව ඉදිරියට රැගෙන යාමට නායකත්වය දීමටය.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
1/16/2026
(harshaprs@yahoo.com)
මුලාශ්‍රය :
Trump accepts Nobel medal from Venezuelan opposition leader Machado
Venezuelan Nobel Peace Prize winner presents her medal to Trump




