ගාසා තීරයේ එම සිවිල්-හමුදා සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පසු ගිය ඔක්තෝබරයේ ස්ථාපිත කෙරිණි. පශ්චාත් යුධ සමයේ ගාසා තීරයේ සංවර්ධනය ඉලක්ක කර එය ක්‍රියාත්මකය. ඊශානදිග ගාසා තීරයේ කී ර් යැ ට් ගැට් හි එම මධ්‍යස්ථානය පිහිටා තිබේ. එක්සත් ජනපද සහ ඊශ්‍රායල නිලධාරීන් යටතේ තවත් රටවල් කිහිපයක සිවිල් සහ හමුදා කාර්ය මණ්ඩල එහි සේවයේ නිරතව සිටිති.
විදෙස් රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන 60ක් පමණ එම මධ්‍යස්ථානය නියෝජනය කරති. ගාසා තීරයට මානුෂීය ආධාර ඇතුළු කිරීමට ද එමගින් පහසුකම් සැලසේ.

එම මධ්‍යස්ථානය වහා විසුරුවා හැරීමට කාලය එළඹ ඇතැයි ස්මොට්‍රිච් පැවසීය. ඔහු ඊශ්‍රායල සන්ධාන රජයේ අන්ත දක්ෂිණාංශික කැබිනට් අමාත්‍යවරයෙකි. ඊශ්‍රායලයට පස මිතුරු බ්‍රිතාන්‍යය, ඊජිප්තුව සහ වෙනත් රටවල් එම මධ්‍යස්ථානය වෙතින් වහා ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස ද ඔහු බල කර සිටී.
ඊශ්‍රායලය විසින් අත්පත් කරගත් බටහිර ඉවුරේ නව යුදෙව් ජනාවාසයක් ස්ථාපිත කිරීමේ අවස්ථාවකට එක්වෙමින් මුදල් අමාත්‍යවරයා එම අදහස් පල කළේය. අවි බිම තැබීමට හමාස් සංවිධානයට ලබා දිය යුත්තේ ඉතා කෙටි කලක් පමණක් බවත්, වහා එම සංවිධානය පිටුවහල් කළ යුතු බවත් ඔහු එහිදී වැඩි දුරටත් අවධාරණය කළේය.
"ගරු අග්‍රාමාත්‍ය තුමනි, එක්කෝ අපි, එහෙම නැත්තං උන්...!" ගාසා තීරයේ පූර්ණ ඊශ්‍රායල පාලනයක්..! හමාස් සහමුලින් විනාශ කර ත්‍රස්තවාදය තිරසරව මර්ධනය කර, සතුරා පිටුවහල් කළ යුතුයි. අනතුරුව ස්ථිරසාර ඊශ්‍රායල පාලනයකට යා යුතුයි," ඔහු දැඩි ස්වරයෙන් කියා සිටියේය.
ගාසා යුද්ධයේ අවසන් කිරීමේ ජනපති ට්‍රම්ප්ගේ සැලැස්මේ දෙවන අදියර වෙත ප්‍රවේශ වන බව එක්සත් ජනපද රජය පසුගිය සතියේ නිවේදනය කළේය.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
1/20/2026
(harshaprs@yahoo.com)
මුලාශ්‍රය :
Influential Israeli minister Smotrich calls for US-led centre for Gaza to be shuttered




